අඞ්ගුත්තරනිකායො

දසම නිපාතය

4. චතුත්‍ථ පණ්ණාසකය

(17) 2. යමක වර්‍ගය

6. අධම්මා ධම්ම සූත්‍රය

’’මහණෙනි, අධර්මයද දතයුතුය. ධර්මයද, අනර්ත්‍ථයද දතයුතුය. අර්ත්‍ථයද, අධර්මයද දැන, ධර්මයද, අනර්ත්‍ථයද දැන, අර්ත්‍ථයද දැන, අර්ත්‍ථය යම්සේද, ධර්මය යම්සේද, එසේ පිළිපැදිය යුතුය. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සුගතයන් වහන්සේ මෙය වදාරා, හුනස්නෙන් නැගිට වෙහෙරට වැඩි සේක.

ඉක්බිති මේ ආයුෂ්මත් මහාකච්චාන ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේ විසින්මද මනාව වර්ණනා කරන ලද්දේය. සම්භාවනා කරණ ලද්දේය. භාග්‍යවතුන් වහන්සේ විසින් විස්තර වශයෙන් අන්‍ර්‍ථය නොබෙදන ලද, කොටින් වදාරණ ලද ධර්‍මයෙහි විස්තර වශයෙන් නුවණැති සබ්‍රම්සරුන්ට අර්ථය බෙදා දක්වන්නට සුදුසුය. ඒකාන්තයෙන් අපි ආයුෂ්මත් මහාකච්චාන ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණෙන්නමු. පැමිණ, ආයුෂ්මත් මහාකච්චාන ස්ථවිරයන් වහන්සේගෙන් මේ කාරණය විචාරන්නෙමු නම් යෙහෙකැයි සිතූහ. අපට ආයුෂ්මත් මහාකච්චාන ස්ථවිරයන් වහන්සේ යම්සේ ප්‍රකාශ කරන්නේද, එසේ අපි දරන්නෙමු’ යි කීවාහුය.

’’ඉක්බිති ඒ භික්‍ෂූහු ආයුෂ්මත් මහාකච්චාන ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියාහුය. පැමිණ, ආයුෂ්මත් මහාකච්චාන ස්ථවිරයන් වහන්සේ සමග සතුටුවූවාහුය. සතුටුවියයුතුවූ, සිහිකටයුතුවූ, කථාව කොට නිමවා එකත්පසෙක සිටියාහුය. එකත්පසෙක සිටි ඒ භික්‍ෂූහු, ආයුෂ්මත් මහාකච්චාන ස්ථවිරයන් වහන්සේට, ’’ඇවැත්නි, මහාකච්චානයෙනි, අපට භාග්‍යවතුන් වහන්සේ, ’මහණෙනි, අධර්මයද දතයුතුය. ධර්මයද දතයුතුය. අනර්ථයද, අර්ථයද දතයුතුය. අධර්මයද, ධර්මයද දැන, අනර්ථයද, අර්ථයද දැන, ධර්මය, අර්ථය යම්සේද, එසේ පිළිපැදිය යුතුයයි කොටින් වදාරා වදාරා විස්තර වශයෙන් අර්ථය නොබෙදා, ආසනයෙන් නැගිට විහාරයට ඇතුළුවූ සේකැ’’ යි කීවාහුය.

’’ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ වැඩ නොබෝ වේලාවකින් අපට, ’’ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ ධර්මයද, අධර්මයද දතයුතුයයි කොටින් වදාරා විස්තර වශයෙන් අර්ථය බෙදා නොදී, අස්නෙන් නැගිට, විහාරයට ඇතුළුවූ සේක. භාග්‍යවතුන් වහන්සේ විසින් කොටින් වදාරණ ලද, විස්තර වශයෙන් නොබෙදන ලද, මෙහි අර්ථය කවරෙක් විස්තර වශයෙන් බෙදන්නේදැ’’ යි මේ සිත විය.

’’ඇවැත්නි, අපට මේ ආයුෂ්මත් මහාකච්චාන ස්ථවිර තෙමේ, භාග්‍යවතුන් වහන්සේ විසින්මද වර්ණනා කරණ ලදී. ප්‍රශංසා කරණ ලදී. භාග්‍යවතුන් වහන්සේ විසින් කොටින් දේශනා කරණ ලද, විස්තර වශයෙන් අර්ථය නොබෙදන ලද, ධර්මයෙහි අර්ථය නුවණැති සබ්‍රම්සරුන්ට විස්තර වශයෙන් බෙදන්නට සුදුසුය. ඒකාන්තයෙන් අපි ආයුෂ්මත් මහාකච්චාන ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණෙන්නෙමු. පැමිණ, ආයුෂ්මත් මහාකච්චාන ස්ථවිරයන් වහන්සේගෙන් මේ කාරණය විචාරන්නෙමු නම් යෙහෙකැ’’ යි සිතූහ. ’’ආයුෂ්මත් මහාකච්චාන ස්ථවිරයන් වහන්සේ අපට ප්‍රකාශ කරන්නේ යම්සේද, එසේ අපි දරන්නෙමු’ යි කීවාහුය. ආයුෂ්මත් මහාකච්චාන ස්ථවිරයන් වහන්සේ බෙදා දක්වන සේක්වා’’ යි කීහ.

’’ඇවැත්නි, හරයෙන් ප්‍රයෝජන ඇති, හරය සොයන පුරුෂයෙක් යම් සේ හරය සෙවීමෙහි හැසිරෙන්නේ පවත්නාවූ, හර ඇත්තාවූ මහත් වෘක්‍ෂයක්හුගේ මුල ඉක්මවා, කඳ ඉක්මවා, අතුකොළ ඉක්මවා හරය සෙවීම යුතුකොට සිතන්නේය. මේ කාරණය එසේ දතයුතුයි. ආයුෂ්මතුන්ට බුදුන් හමුවෙහි ඒ භාග්‍යවතුන් වහන්සේ ඉක්මවා අපගෙන් මේ කාරණය ඇසිය යුතු කොට සිතව්ද. ඇවැත්නි, ඇසවූ, නුවණවූ, ධර්මයවූ, බ්‍රහ්මවූ, වාදීවූ, නියාමකවූ, අර්ථය තීරණය කරන්නාවූ, අමෘතය දෙන්නාවූ, ධර්මයට ස්වාමීවූ, තථාගතවූ, ඒ භාග්‍යවතුන් වහන්සේ දත යුත්ත දනී, දැක්ක යුත්ත දකී, තෙපි භාග්‍යවතුන් වහන්සේ කරාම පැමිණ මෙය විචාරන්නාහු නම්, එයට එම කාලය විය. අපගේ භාග්‍යවතුන් වහන්සේ ඔබහට ප්‍රකාශ කරන්නේ යම්සේද, එසේ එය දරව්’’ යයි කීයේය.

’’ඇවැත්නි, මහාකච්චාන ස්ථවිරයෙනි, ඇසවූ, නුවණවූ, ධර්මයවූ, බ්‍රහ්මවූ, වාදීවූ, නියාමකවූ, අර්ථය තීරණය කරන්නාවූ, අමෘතය දෙන්නාවූ, ධර්ම ස්වාමීවූ, තථාගතවූ, භාග්‍යවතුන් වහන්සේ ඒකාන්තයෙන් දත යුත්ත දනී, දැක්ක යුත්ත දකී, යම්බඳුවූ අපි භාග්‍යවතුන් වහන්සේ කරාම පැමිණ මෙයම විචාරන්නෙමු නම්, එයට මෙම කාලය විය. භාග්‍යවතුන් වහන්සේ අපට ප්‍රකාශ කරන්නේ යම්සේද, එය එසේ දරන්නෙමු.

’’එතකුදු වුවත් ආයුෂ්මත් මහාකච්චාන ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේ විසින්මද මනාව වර්‍ණනා කරණ ලද්දේ, ප්‍රශංසා කරණ ලද්දේය. ආයුෂ්මත් මහාකච්චාන තෙම භාග්‍යවතුන් වහන්සේ විසින් විස්තර වශයෙන්, අර්ථය නොබෙදන ලද, කොටින් වදාරණ ලද, ධර්මයෙහි අර්ථය නුවණැති සබ්‍රම්සරුන්ට විස්තර වශයෙන් බෙදන්නට සුදුසුය. ආයුෂ්මත් මහාකච්චාන ස්ථවිරයන් වහන්සේ බරක්කොට නොගෙන බෙදා දක්වත්වා’’ යි කීවාහුය.

’’ඇවැත්නි, එසේ නම් අසව්. හොඳට මෙනෙහි කරව්. කියන්නෙමි’’ යි වදාළ සේක. ’’ඇවැත්නි, එසේය’’ යි ඒ භික්‍ෂූහු ආයුෂ්මත් මහාකච්චාන ස්ථවිරයන්ට පිළිතුරු දුන්හ.

ආයුෂමත් මහාකච්චාන ස්ථවිර තෙම, ’’ඇවැත්නි, අපගේ භාග්‍යවතුන් වහන්සේ යමක් කොටින් වදාරා විස්තර නොකොට අස්නෙන් නැගිට විහාරයට වැඩි සේක්ද, ’’ඇවැත්නි, අධර්මයද, ධර්‍මයද දත යුතුය. අනර්ත්‍ථයද, අර්ත්‍ථයද දත යුතුය. අධර්මයද, ධර්මයද දැන, අනර්ත්‍ථයද, අර්ත්‍ථයද දැන, ධර්මය අනුව, අර්ත්‍ථය අනුව, එසේ පිළිපැදිය යුතුය.

’’ඇවැත්නි, අධර්මය කවරේද? ධර්මය කවරේද? අනර්ත්‍ථය කවරේද? අර්ත්‍ථය කවරේද? මහණෙනි, වැරදි දැකීම අධර්‍මයයි. නිවැරැදි දැකීම ධර්‍මයමයි. වරදවා දැකීම නිසා නොයෙක් ලාමක අකුශල ධර්‍මයෝ පහළවෙත්. මේ අනර්ත්‍ථයයි. නිවැරැදි දැකීම නිසා නොයෙක් කුශල ධර්මයෝ වැඩීමෙන් සම්පූර්‍ණවීමට යත්. මේ අර්ත්‍ථයයි.

’’ඇවැත්නි, වැරදි සිතීම අධර්‍මයයි. නිවැරැදි සිතීම ධර්‍මයයි. වැරදි සිතීම නිසා නොයෙක් ලාමක අකුශල ධර්‍මයෝ පහළවෙත්. මේ අනර්ත්‍ථයයි. නිවැරැදි සිතීම නිසා නොයෙක් කුශල ධර්මයෝ වැඩීමෙන් සම්පූර්‍ණභාවයට යත්. මේ අර්ත්‍ථයයි.

’’ඇවැත්නි, වැරදි කථාව අධර්‍මයයි. නිවැරැදි කථාව ධර්‍මයයි. වැරදි කථාව නිසා නොයෙක් ලාමක අකුශල ධර්‍මයෝ පහළවෙත්. මේ අනර්ත්‍ථයයි. නිවැරැදි කථාව නිසා නොයෙක් කුශල ධර්මයෝ වැඩීමෙන් සම්පූර්‍ණ බවට යත්. මේ අර්ත්‍ථයයි.

’’ඇවැත්නි, වැරදි ක්‍රියාව අධර්‍මයයි. යහපත් ක්‍රියාව ධර්‍මයමයි. වැරදි ක්‍රියාව නිසා නොයෙක් ලාමක අකුශල ධර්‍මයෝ පහළවෙත්. මේ අනර්ත්‍ථයයි. නිවැරැදි ක්‍රියාව නිසා නොයෙක් කුශල ධර්මයෝ වැඩීමෙන් සම්පූර්‍ණබවට යත්. මේ අර්ත්‍ථයයි.

’’ඇවැත්නි, වැරදි පැවැත්ම අධර්‍මයයි. නිවැරැදි පැවැත්ම ධර්‍මයයි. වැරදි පැවැත්ම නිසා නොයෙක් ලාමක අකුශල ධර්‍මයෝ පහළවෙත්. මේ අනර්ත්‍ථයයි. නිවැරැදි පැවැත්ම නිසා නොයෙක් කුශල ධර්මයෝ වැඩීමෙන් සම්පූර්‍ණවීමට යත්. මේ අර්ත්‍ථයයි.

’’ඇවැත්නි, වැරදි වෑයම අධර්‍මයයි. නිවැරැදි වෑයම ධර්‍මයමයි. වැරදි වෑයම නිසා නොයෙක් ලාමක අකුශල ධර්‍මයෝ පහළවෙත්. මේ අනර්ත්‍ථයයි. නිවැරැදි වෑයම නිසා නොයෙක් කුශල ධර්මයෝ වැඩීමෙන් සම්පූර්‍ණභාවයට යත්. මේ අර්ත්‍ථයයි.

’’ඇවැත්නි, වැරදි සිහිය අධර්‍මයයි. නිවැරැදි සිහිය ධර්‍මයයි. වැරදි සිහිය නිසා නොයෙක් ලාමක අකුශල ධර්‍මයෝ පහළවෙත්. මේ අනර්ත්‍ථයයි. නිවැරැදි සිහිය නිසා නොයෙක් කුශල ධර්මයෝ වැඩීමෙන් සම්පූර්‍ණබවට යත්. මේ අර්ත්‍ථයයි.

’’ඇවැත්නි, වැරදි සිත එකඟකිරීම අධර්‍මයයි. නිවැරැදි සිත එකඟකිරීම ධර්‍මයයි. වැරදි සිත එකඟකිරීම නිසා නොයෙක් ලාමක අකුශල ධර්‍මයෝ පහළවෙත්. මේ අනර්ත්‍ථයයි. නිවැරැදි සිත එකඟකිරීම නිසා නොයෙක් කුශල ධර්මයෝ වැඩීමෙන් සම්පූර්‍ණබවට යත්. මේ අර්ත්‍ථයයි.

’’ඇවැත්නි, වැරදි නුවණ අධර්‍මයයි. නිවැරැදි නුවණ ධර්‍මයයි. වැරදි නුවණ නිසා නොයෙක් ලාමක අකුශල ධර්‍මයෝ උපදිත්. මේ අනර්ත්‍ථයයි. නිවැරැදි නුවණ නිසා නොයෙක් කුශල ධර්මයෝ වැඩීමෙන් සම්පූර්‍ණභාවයට යත්. මේ අර්ත්‍ථයයි.

’’ඇවැත්නි, වැරදි මිදීම අධර්‍මයයි. යහපත් මිදීම ධර්‍මයයි. වැරදි මිදීම නිසා නොයෙක් ලාමක අකුශල ධර්‍මයෝ පහළවෙත්. මේ අනර්ත්‍ථයයි. නිවැරැදි මිදීම නිසා නොයෙක් කුශල ධර්මයෝ පහළවෙත්. මේ අර්ත්‍ථයයි.

’’ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ, ’මහණෙනි, අධර්මයද දත යුතුය. ධර්මයද දතයුතුය. අනන්‍ර්‍ථයද, අර්ත්‍ථයද දතයුතුය. අධර්‍මයද, ධර්‍මයද දැන, අනන්‍ර්‍ථයද, අන්‍ර්‍ථයද දැන, අධර්‍මය යම්සේද, අන්‍ර්‍ථය යම්සේද, එසේ පිළිපැදිය යුතුය’ යි යන යමක් සංක්‍ෂෙපයෙන් වදාරා, විස්තර වශයෙන් තේරුම්කර නොදී, අස්නෙන් නැගිට විහාරයට වැඩි සේක්ද, භාග්‍යවතුන් වහන්සේ කොටින් වදාළ, විස්තර වශයෙන් අදහස නොබෙදූ මේ දේශනාවේ අර්ථය මෙසේ විස්තර වශයෙන් දනිමි. ඇවැත්නි, බලාපොරොත්තු වන්නාවූ කෙපිද භාග්‍යවතුන් වහන්සේ කරා ගොස් මේ කාරණය අසවු. භාග්‍යවතුන් වහන්සේ යම් සේ විස්තර කරණ සේක්ද, එසේ දරවු.

’’ඇවැත්නි, එසේය’’ යි ඒ භික්‍ෂූහු ආයුෂ්මත් මහාකච්චාන ස්ථවිරයන්ගේ වචනයට සතුටුව, අනුමෝදන්ව, හුන් අසුන්වලින් නැගිට භාග්‍යවතුන් වහන්සේ කරා ගියහ. ගොස් භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය කීහ.

’’ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ, ’මහණෙනි, අධර්මයද දත යුතුය. ධර්මයද දතයුතුය. අනන්‍ර්‍ථයද, අර්ත්‍ථයද දතයුතුය. අධර්‍මයද, ධර්‍මයද දැන, අනන්‍ර්‍ථයද, අන්‍ර්‍ථයද දැන, අධර්‍මය යම්සේද, අන්‍ර්‍ථය යම්සේද, එසේ පිළිපැදිය යුතුය’ යි යන යමක් සංක්‍ෂෙපයෙන් වදාරා, විස්තර වශයෙන් තේරුම්කර නොදී, අස්නෙන් නැගිට විහාරයට වැඩි සේක්ද, ඉක්බිති මේ ආයුෂ්මත් මහාකච්චාන ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේ විසින්මද මනාව වර්ණනා කරන ලද්දේය. සම්භාවනා කරණ ලද්දේය. භාග්‍යවතුන් වහන්සේ විසින් විස්තර වශයෙන් අන්‍ර්‍ථය නොබෙදන ලද, කොටින් වදාරණ ලද ධර්‍මයෙහි විස්තර වශයෙන් නුවණැති සබ්‍රම්සරුන්ට අර්ථය බෙදා දක්වන්නට සුදුසුය. ඒකාන්තයෙන් අපි ආයුෂ්මත් මහාකච්චාන ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණෙන්නමු. පැමිණ, ආයුෂ්මත් මහාකච්චාන ස්ථවිරයන් වහන්සේගෙන් මේ කාරණය විචාරන්නෙමු නම් යෙහෙකැයි සිතූහ. අපට ආයුෂ්මත් මහාකච්චාන ස්ථවිරයන් වහන්සේ යම්සේ ප්‍රකාශ කරන්නේද, එසේ අපි දරන්නෙමු’ යි කීවාහුය.

’’ස්වාමීනි, ඉක්බිත්තෙන් වනාහි අපි, ආයුෂ්මත් මහාකච්චානයන් කරා ගොස් මේ කාරණය විචාළෙමු. ස්වාමීනි, ඒ අපට ආයුෂ්මත් මහාකච්චානයන් විසින් මේ ආකාරයෙන්, මේ පදයෙන්, මේ අකුරින් අදහස මනාව බෙදන ලද්දේය.

’’මහණෙනි, යහපත. මහණෙනි, යහපත. මහණෙනි, මහාකච්චාන තෙමේ පණ්ඩිතය. මහාකච්චාන තෙමේ මහත් ප්‍රඥා ඇත්තේය. මහණෙනි, තෙපි මා කරා පැමිණ විචාළාහු නම් මමද මේ කාරණය මහාකච්චානයන් ප්‍රකාශ කළා සේ ප්‍රකාශ කරන්නෙමි. මෙහි අදහස මෙය මය. මෙය එසේ දරවු’’ යැයි වදාළ සේක.