අඞ්ගුත්තරනිකායො

දසම නිපාතය

1. පඨම පණ්ණාසකය

2. නාථ වර්‍ගය

10. විත්‍ථත සූත්‍රය

එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කුරු රටෙහි කල්මාෂ්‍යදම්‍ය නම් කුරුන්ගේ නියම් ගමක් වේද, එහි වාසය කරණ සේක. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන්ට ආමන්ත්‍රණය කළ සේක. භික්‍ෂූහු, ’ස්වාමීනි’ යි භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ, ’මහණෙනි, යමෙක්හි ආර්‍ය්‍යයෝ විසුවාහුද, වසත්ද, වසන්නාහුද, මේ ආර්‍ය්‍ය වාසයෝ දසයෙකැ’යි වදාළ සේක.

’’කවර දසයක් වෙත්ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම කරුණු පසකින් දුරුවූයේ වේද, අඞ්ග සයකින් යුක්තවූයේ වේද, එක් ආරක්‍ෂාවක් ඇත්තේද, විමසීම් සතරක් ඇත්තේද, වෙන වෙන ඇත්තයයි කියාගත් දේ විශෙෂයෙන් ප්‍රහීන කළේද නැත්තේද, බැහැර කරණ ලද සියලු සෙවීම් ඇත්තේද, අවුල් නොවූ කල්පනා ඇත්තේ වේද, සංසිදුණු කාය සංස්කාර ඇත්තේ වේද, කෙලෙසුන්ගෙන් මිදුණු සිත් ඇත්තේද, කෙලෙසුන්ගෙන් මිදුණු ප්‍රඥා ඇත්තේ වේද,

’’මහණෙනි, කෙසේ මහණ තෙම අඞ්ග පසකින් දුරුවූයේ වේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණහට කාමයෙහි ආශාව ප්‍රහීණවූයේ වේ. ව්‍යාපාදය, නිදිබර ගතිය, සිතේ ඇවිස්සිම, කුකුස, සැකය ප්‍රහීනවූයේ වේද, මහණෙනි, මෙසේ මහණතෙම අඞ්ග පසකින් යුක්තවූයේ වේ.

’’කෙසේ මහණතෙම අඞ්ග සයකින් යුක්තවූයේ වේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම ඇසින් රූපයක් දැක, සතුටුත් නොවේ, අසතුටුත් නොවේද, සිහි ඇත්තේ, සම්‍යක් ප්‍රඥාවෙන් යුක්තවුයේ, උපෙක්‍ෂා ඇතිව වාසය කරයි. කනින් ශබ්දයක් අසා සතුටුත් නොවේ, අසතුටුත් නොවේද, සිහි ඇත්තේ, සම්‍යක් ප්‍රඥාවෙන් යුක්තවුයේ, උපෙක්‍ෂා ඇතිව වාසය කරයි. නාසයෙන් ගඳ සුවඳක් ආඝ්‍රාණය කොට සතුටුත් නොවේ, අසතුටුත් නොවේද, සිහි ඇත්තේ, සම්‍යක් ප්‍රඥාවෙන් යුක්තවුයේ, උපෙක්‍ෂා ඇතිව වාසය කරයි. දිවින් රසයක් විඳ සතුටුත් නොවේ, අසතුටුත් නොවේද, සිහි ඇත්තේ, සම්‍යක් ප්‍රඥාවෙන් යුක්තවුයේ, උපෙක්‍ෂා ඇතිව වාසය කරයි. කයින් ස්පර්‍ශයක් ලබා සතුටුත් නොවේ, අසතුටුත් නොවේද, සිහි ඇත්තේ, සම්‍යක් ප්‍රඥාවෙන් යුක්තවුයේ, උපෙක්‍ෂා ඇතිව වාසය කරයි. සිතින් ධර්‍මයක් දැන සතුටුත් නොවේ, අසතුටුත් නොවේද, සිහි ඇත්තේ, සම්‍යක් ප්‍රඥාවෙන් යුක්තවුයේ, උපෙක්‍ෂා ඇතිව වාසය කරයි. මහණෙනි, මෙසේ වනාහි මහණතෙම අඞ්ග පසකින් යුක්තවූයේ වේ.

’’මහණෙනි, කෙසේ මහණතෙම එකම ආරක්‍ෂාවක් ඇත්තේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම සිහියෙන් ආරක්‍ෂාවූ සිතින් යුක්තව වාසය කරයි. මහණෙනි, මෙසේ වනාහි මහණතෙම එකම ආරක්‍ෂාවක් ඇත්තේ වේ.

’’මහණෙනි, කෙසේ මහණතෙම විමසීම් සතරකින් යුක්තවේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විමසා බලා එකක් පරිභෝග කරයි. විමසා බලා එකක් ඉවසයි. විමසා බලා එකක් දුරු කරයි. මහණෙනි, මෙසේ මහණතෙම විමසීම් සතරක් ඇත්තේය.

’’මහණෙනි, කෙසේ මහණතෙම වෙන වෙන බැසගත් සත්‍ය ඇත්තේ වේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණහට බොහෝ ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ යම් ඒ බොහෝ වෙන්වූ සත්‍යයෝ ඇද්ද්, ඒ කවරහුද? ලෝකය ශාස්වතයයි කියාද, ලෝකය අශාස්වතයයි කියාද, ලෝකය කෙළවරක් ඇතැයිද, ලෝකය කෙළවරක් නැතැයිද, එයම ජීවය එයම ශරීරයයිද, ජීවය අනිකක ශරීරය අනිකකැයිද, සත්ත්‍වයා මරණින් මතු වේයයිද, සත්ත්‍වයා මරණින් මතු නොවේයයිද, සත්ත්‍වයා මරණින් මතු වේයයිද නොවේයයි කියාද, සත්ත්‍වයා මරණින් මතු නොද වෙයි නොද නොවෙයි කියාද, ඒ සියල්ල දුරු කළාහු, විශෙෂයෙන් දුරු කළාහු වෙත්. අත්හැරියාහු වෙත්ද, වමාරා දැමුවාහු වෙත්ද, මුදන ලද්දාහු වෙත්ද, ප්‍රහීණ වූවාහු වෙත්ද, දුරුකරණ ලද්දාහු වෙත්ද, මහණෙනි, මෙසේ වනාහි මහණතෙම දුරු කරණ ලද ’මෙම සත්‍යයි’ යන අදහස් ඇත්තේ වේ.

’’මහණෙනි, කෙසේ මහණතෙම හරනා ලද සියලු සෙවීම් ඇත්තේ වේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණහට කාම වස්තූන් සෙවීම ප්‍රහීන වූයේ වේ. භවය සෙවිම ප්‍රහීන වූයේ වේ. බ්‍රහ්මචර්‍ය්‍යය සෙවීම සංසිඳුනේ වේද, මහණෙනි, මෙසේ මහණතෙම අත්හළ සියලු සෙවිම් ඇත්තේ වේ.

’’මහණෙනි, කෙසේ මහණතෙම අවුල් නොවූ අදහස් ඇත්තේ වේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණහට කාම අදහස ප්‍රහීන වූයේ වේද, ව්‍යාපාද අදහස, හිංසා කිරීමේ අදහස ප්‍රහීන වුයේ වේද, මහණෙනි, මෙසේ මහණතෙම අවුල් නොවූ කල්පනා ඇත්තේ වේ.

’’මහණෙනි, කෙසේ මහණතෙම සංසිඳුනු කාය සංස්කාරයෝ අත්තේ වේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම සැපද ප්‍රහාණයෙන්, දුක්ද ප්‍රහාණයෙන්, සොම්නස් දොම්නස් දෙදෙනාගේ අස්තයට යාමට පෙරම, දුක්, සැප නැති, උපෙක්‍ෂා ස්මෘති දෙදෙනාගේ පිරිසිදු බව ඇති, සතරවෙනි ධ්‍යානයට පැමිණ වාසය කරයි. මහණෙනි, මෙසේ වනාහි මහණතෙම සංසිඳුණු කාය සංස්කාර ඇත්තේ වේ.

’’මහණෙනි, කෙසේ මහණතෙම අතිශයින් මිදුන සිත් ඇත්තේ වේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණහුගේ සිත රාගයෙන් මිදුනේ වේ. ද්වේෂයෙන් සිත මිදුනේ වේ. මොහයෙන් සිත මිදුනේ වේ. මහණෙනි, මෙසේ මහණතෙම අතිශයින් මිදුනු සිත් ඇත්තේ වේ.

’’මහණෙනි, කෙසේ මහණතෙම අතිශයින් මිදුනු නුවණ ඇත්තේ වේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම, ’මාගේ රාගය නැත. මුලිනුදුරණ ලදී. අක් සිඳි තල් ගසක් මෙනි. අභාවය කළේය. මතු නූපදින ස්වභාව ඇත්තේයයි දනී. මාගේ ද්වේෂය නැත. මුලිනුදුරණ ලදී. අක් සිඳි තල් ගසක් මෙනි. අභාවය කළේය. මතු නූපදින ස්වභාව ඇත්තේයයි දනී. මාගේ මොහය නැත. මුලිනුදුරණ ලදී. අක් සිඳි තල් ගසක් මෙනි. අභාවය කළේය. මතු නූපදින ස්වභාව ඇත්තේයයි දනී. මහණෙනි, මෙසේ මහණතෙම මිදුන ප්‍රඥා ඇත්තේ වේ.

’’මහණෙනි, ඉකුත් කාලයෙහි යම්කිසි ආර්‍ය්‍ය කෙනෙක් ආර්‍ය්‍ය වාසයෙහි විසුවාහුද, ඒ සියල්ලෝ මේ ආර්‍ය්‍ය වාස දසයෙහිම විසුවාහුය. අනාගතයෙහිත්, දැනුත් එසේය.

නාථ වර්‍ගය නිමි.