අඞ්ගුත්තරනිකායො

දසම නිපාතය

4. චතුත්‍ථ පණ්ණාසකය

(21) 1. කරජකාය වර්‍ගය

9. කරජකායානුග සූත්‍රය

’’මහණෙනි, මම කරණලද, රැස්කරණලද, දැන දැන කළ, කර්මයන්ගේ විපාක නොදී අවසන්වීමක් නොකියමි. එයද, මෙලොව හෝ, දෙවෙනි ආත්ම භාවයෙහි හෝ, අනික් ආත්ම භාවයෙක්හි හෝ වේ. මහණෙනි, කරණලද, රැස්කරණලද, දැන දැන කළ, කර්මයන්ගේ විපාක නොදී අන් කෙළවර කිරීමක් නොකියමි.

’’මහණෙනි, ඒ මේ ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම මෙසේ පහවූ තද ලෝභකම ඇත්තේ, පහවූ ක්‍රෝධ ඇත්තේ, නොමුළා වූයේ, සම්‍යක් ප්‍රඥාවෙන් යුක්තවූයේ, මෛත්‍රී සහගත සිතින් එක් දිශාවක් පතුරුවා වාසය කරයි. එසේම දෙදිශාවක්, තුන් දිශාවක්, සතර දිශාවක්, මෙසේ උඩ, යට, සරස, හැම තැනම, සර්‍ව ප්‍රකාරයෙන් සියල්ල සහිත ලෝකය මහත්වූ මහත් භාවයට පැමිණි අප්‍රමාණවූ, වෛර නැති, ක්‍රොධ නැති, මෛත්‍රී සහගත සිතින් පතුරුවා වාසය කරයි. හෙතෙම පෙර වනාහි මාගේ මේ සිත ස්වල්පය. දියුණු නැතිවිය. දැන් වනාහි මාගේ සිත උසස්ය. වඩන ලද්දේය. ප්‍රමාණ කරණ ලද යම් කිසි කර්මයක් වේද, එය ඉතිරි නොවේ. එය එහි නොසිටීය’ යි මෙසේ දනී. මහණෙනි, ඒ කුමකැයි හඟින්නේද? මේ කුමාරතෙම ළදරු කාලයේම මෛත්‍රී චිත්ත විමුක්තිය වඩන්නේ නම් කිමෙක්ද? පවුකම් කරන්නේද? ’’ස්වාමීනි, නැත.’’ ’’පවුකම් නොකරන්නේ දුක් ස්පර්‍ශ කරන්නේද?’’ ’’නැත, ස්වාමීනි. පවුකම් නොකරන්නේ දුක් කොයින් ස්පර්‍ශ කරන්නේද?’’

’’මහණෙනි, මේ මෛත්‍රී චිත්ත විමුක්තිය (මෛත්‍රී සිත කරණකොට පවින් මිදීම) ස්ත්‍රියක විසින් හෝ, පුරුෂයකු විසින් වැඩිය යුතුය. මහණෙනි, ස්ත්‍රියක විසින් හෝ, පුරුෂයකු විසින් මේ ශරීරය රැගෙන නොයන සුලුය. මහණෙනි, මේ සත්ත්‍වතෙම යම් හෙයකින් මා විසින් මේ ලෝකයෙහි පෙර මේ ශරීරයෙන් කිසියම් පාපකර්‍මයක් කරණ ලද්දේද, එය මෙහිදී වින්ද යුතය. එය අනුව නොයන්නේයයි මෙසේ දනීද, එය එක්තරා සිතෙකි. මහණෙනි, මේ ශාසනයෙහි මත්තෙහි මිදීම ප්‍රතිවෙධ නොකරන්නාවූ මහණහට මෙසේ වඩනලද මෛත්‍රී චිත්ත විමුක්තිය අනාගාමී බව පිණිස පවතී.

’’කරුණා සහගත සිතින්, මුදිතා සහගත සිතින්, උපෙක්‍ෂා සහගත සිතින් එක් දිශාවක් පතුරුවා වාසය කරයි. එසේ දෙදිශාවක්, තුන් දිශාවක්, සතර දිශාවක්, මෙසේ උඩ, යට, සරස, හැම තැන, සර්‍ව ප්‍රකාරයෙන් සියල්ල සහිත ලෝකය, මහත්වූ මහත් භාවයට පැමිණි අප්‍රමාණවූ, වෛර නැති, ක්‍රොධ නැති, මෛත්‍රී සහගතවූ සිතින් පතුරුවා වාසය කරයි. හෙතෙම පෙර වනාහි මාගේ මේ සිත සුලුය. නොදියුණුය. දැන් වනාහි මාගේ සිත උසස්ය. වඩන ලද්දේය. ප්‍රමාණ කරණ ලද යම් කිසි කර්මයක් වේද, එය එහි ඉතිරි නොවේ. එය එහි නොසිටීය’ යි මෙසේ දනී. මහණෙනි, ඒ කුමකැයි හඟිව්ද? මේ කුමාරතෙම ළදරු කාලයේම උපෙක්‍ෂා චිත්ත විමුක්තිය වැඩූයේ නම් කිමෙක්ද? පවුකම් කරන්නේද?’’ - ’’නැත, ස්වාමීනි,’’ ’’පවුකම් නොකරන්නහු දුක් ස්පර්‍ශ කරන්නේද?’’ ’’ස්වාමීනි, නැත. ස්වාමීනි, පවුකම් නොකරන්නේ දුක් කොයින් ස්පර්‍ශ කරන්නේද?’’

’’මහණෙනි, මේ උපෙක්‍ෂා චිත්ත විමුක්තිය ස්ත්‍රියක විසින් හෝ, පුරුෂයකු විසින් වැඩිය යුතුය. මහණෙනි, ස්ත්‍රියක විසින් හෝ, පුරුෂයකු විසින් මේ ශරීරය රැගෙන නොයන සුලුය. මහණෙනි, මේ සත්ත්‍වතෙම යම් හෙයකින් මා විසින් මේ ලෝකයෙහි පෙර මේ ශරීරයෙන් කිසියම් පාපකර්‍මයක් කරණ ලද්දේද, එය මෙහිදී වින්ද යුතය. එය අනුව නොයන්නේයයි මෙසේ දනීද, එය එක්තරා සිතෙකි. මහණෙනි, මේ ශාසනයෙහි මත්තෙහි මිදීම ප්‍රතිවෙධ නොකරන්නාවූ මහණහට මෙසේ වඩනලද උපෙක්‍ෂා චිත්ත විමුක්තිය අනාගාමී බව පිණිස පවතී.’’