අඞ්ගුත්තරනිකායො

දසම නිපාතය

4. චතුත්‍ථ පණ්ණාසකය

(21) 1. කරජකාය වර්‍ගය

10. අධම්ම ධම්ම චරිය සූත්‍රය

ඉක්බිති එක්තරා බ්‍රාහ්මණයෙක් භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටි ඒ බ්‍රාහ්මණ තෙම භාග්‍යවතුන් වහන්සේට, ’’පින්වත් ගෞතමයන් වහන්ස, යම් කරුණකින් මේ ලෝකයෙහි ඇතැම් සත්ත්‍වයෝ (ශරීරයාගේ) බිඳීමෙන් මරණින් මතු සැප නැති, දුගතිවූ, නපුරුව ඇද වැටෙන නරකයෙහි උපදිත්ද, ඊට හේතු කවරේද? ඊට ප්‍රත්‍යය කවරේදැ’’ යි ඇසීය.

’’බමුණ, අධර්ම හැසිරීමෙන්, විෂම හැසිීරීමෙන් මෙසේ මේ ලෝකයෙහි ඇතැම් සත්ත්‍වයෝ (ශරීරයාගේ) බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ, නපුරු ගති ඇති, නපුරුව ඇද වැටෙන නරකයෙහි උපදිත්.’’

’’පින්වත් ගෞතමයන් වහන්ස, යම් කාරණයකින් මේ ලෝකයෙහි ඇතැම් සත්ත්‍වයෝ ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති, ස්වර්‍ග ලෝකයෙහි උපදිත්ද, ඊට හේතු කවරේද? ඊට ප්‍රත්‍යය කවරේද?’’

’බමුණ, ධර්මචර්යාව, සමචර්‍ය්‍යාව හේතුකොටගෙන මේ ලෝකයෙහි ඇතැම් සත්ත්‍වයෝ ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති, ස්වර්‍ග ලෝකයෙහි උපදිත්.

’’පින්වත් ගෞතමයන් වහන්සේ විසින් සංක්‍ෂෙපයෙන් වදාරණ ලද මේ කියමනේ විස්තරාර්ත්‍ථ නොදනිමි. භවත් ගෞතමයන් වහන්සේ මට යම් මේ පින්වත් ගෞතමයන් වහන්සේ විසින් සංක්‍ෂෙපයෙන් වදාරණ ලද මේ භාෂිතයාගේ විස්තර අර්ත්‍ථය දනිම්ද, එසේ බණ වදාරණ සේක්වා.’’

’’බමුණ, එසේ නම් අසව. යහපත්ව මෙනෙහි කරව. කියන්නෙමි’’ යි වදාළ සේක. ’’පින්වතුන් වහන්ස, එසේය’’ යි ඒ බමුණුතෙම භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

’’බමුණ, කයින් ත්‍රිවිධ අධර්ම චරියාව, විෂම චරියාව වේ. වචනයෙන් සිවු වැදෑරුම් අධර්මචරියාව, විෂමචරියාව වේ. සිතින් තුන් වැදෑරුම් අධර්මචරියාව, විෂමචරියාව වේ. බමුණ, කයින් ත්‍රිවිධවූ අධර්ම චරියාව කෙසේ විෂමචර්‍ය්‍යාව වේද, සියලු සතුන් කෙරෙහි රෞද්‍රවූයේ, ලේ වැකුණු අත්ල ඇත්තේ, ගැටීමෙහි, ගැලීමෙහි ඇළුනේ, දයාවට නොපැමුණුනේ, සතුන් මරන්නේ වෙයි. ගමට අයත්වූද, වනයට අයත්වූද, අනුන්ගේ යම් වස්තුවක්, උපකරණයක් වේද, නොදෙනලද්දේ, එය සොර සිතින් ගනියිද, නුදුන් දෙය ගන්නේ වේ. මව රක්නා, පියා රක්නා, සහෝදරයා රක්නා, සහෝදරිය රක්නා, ඤාතීන් රක්නා, ධර්‍මය රක්නා, ස්වාමියන් ඇති, දඬුවම් නියම කළ, යටත් පිරිසෙයින් මල් වැල නමුත් පළඳවන ලද, යම් ඒ තැනැත්තියක් වේද, එබඳුවූවන් කෙරෙහි හැසිරීමට පැමිණෙන්නේ, කාමයන්හි වැරදි හැසිරීම් ඇත්තේ වේද, බමුණ, මෙසේ වනාහි කයින් ත්‍රිවිධවූ අධර්ම චරියාව විෂමචර්‍ය්‍යාව වේ. බමුණ, වචනයෙන් සතර වැදෑරුම්වූ අධර්ම චරියාව කෙසේ විෂමචර්‍ය්‍යාව වේද, සභාවකට ගියේ හෝ, පිරිසකට ගියේ හෝ, නෑයන් මැදකට ගියේ හෝ, පිරිස් මැදකට ගියේ හෝ, රජ කුලයක් මැදට ගියේ හෝ, පමුණුවන ලද්දේ හෝ, ’’එම්බා පුරුෂය, එව, යමක් දන්නෙහි නම් එය කියන්නෙහිය’’ යි කියයි. හෙතෙම නොදන්නේ හෝ දනිමියි කියයි. දන්නේ හෝ නොදනිමියි කියයි. නොදක්නේ හෝ දකිමියි කියයි. දන්නේ හෝ නොදන්නෙමියි කියයි. මෙසේ තමන් හේතුකොටගෙන හෝ, අන්‍යයන් හේතුකොටගෙන හෝ, ආමිසාදී කිසිවක් බලාපොරොත්තුවෙන් හෝ, දැන දැන බොරු කීවා වේද, පිසුණු කියන්නේ වේද. මොවුන්ගේ බිඳීම පිණිස මෙයින් අසා අසවල් තැන කියන්නේ වේ. ඔවුන්ගේ බිඳීම පිණිස, අසවල් තැන අසා මොවුන්ට කියන්නේ වේ. මෙසේ සමගිවූවන් බිඳුවන්නේ, බිඳුනවුන්ට උදවු දෙන්නේ, කොටස් කිරීමෙහි නියුක්තවූයේ, කොටස් කිරීමෙහි ඇලුනේ, කොටස් කරණ වචන කියන්නේ වේ. ඵරුෂ වචන කියන්නේ වේ. යම් ඒ වචනයක් ගැට සහිතද, අනුන්ට කටුකද, අනුන් ගැටෙන්නේද, ක්‍රෝධයට කිට්ටුද, එකඟකමට විරුද්‍ධද, එබඳු වචන කියන්නේ වේ. ප්‍රලාප දොඩන්නේ වේ. නොකල්හි කියන්නේ, නොවූ දේ කියන්නේ, අයහපතින් කියන්නේ, අධර්‍මයෙන් කියන්නේ, නොහික්මීමෙන් කියන්නේ. සිතේ තබා නොගතයතු, නොකල්හි කරුණු රහිතව සීමාවක් නැති, අයහපත හා මිශ්‍ර වචන කියන්නේ වේ. බමුණ, මෙසේ වනාහි වචනයෙන් සතර වැදෑරුම් අධර්ම චරියාව විෂමචර්‍ය්‍යාව වේ. බමුණ, සිතින් තුන් වැදෑරුම්වූ අධර්ම චරියාව කෙසේ විෂමචර්‍ය්‍යාව වේද, මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් තද තෘෂ්ණා ඇත්තේ නොවේද, අනුන්ගේ යම් ඒ වස්තූපකරණයක් වේද, යම් හෙයකින් අනුන්ගේ එය, ’මට වන්නේ නම් යහපතැ’ යි එය දැඩි ලෙස ආශා නොකරණ ලද්දේ වේද, මේ සත්ත්‍වයෝ නසිත්වා, බඳිත්වා, නැතිවෙත්වා, විනාශ වෙත්වායි නොවෙන්නාහු හෝ වෙත්වායි දූෂිතවූ චිත්ත සංකල්පනා නැත්තේ, පෙරළුනු සිත් නැත්තේ වේ. දුන් දෙයෙහි විපාක නැත. පුදන ලද්දේ විපාක නැත. හෝම කරණ ලද්දේ විපාක නැත. යහපත්කොට කරණ ලද, නපුරුකොට කරණ ලද, කර්‍මයන්ගේ ඵලයක් විපාකයක් නැත. මෙලොව නැත. පරලොව නැත. මවු නැත. පියා නැත. ඕපපාතික සත්ත්‍වයෝ නැත. යමෙක් මෙලොවද, පරලොවද, තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන, ප්‍රත්‍යක්‍ෂකොට දන්වත්ද, එබඳු ලෝකයෙහි යහපත් මාර්‍ගයට ගියාවූ, යහපත් මාර්‍ගයට පැමිණි, ශ්‍රමණ බ්‍රාහ්මණයන් නැතැයි පෙරළුනු දැකීම් ඇති, මිත්‍ථ්‍යාදෘෂ්ටිකයෙක් නොවේද, මෙසේ වනාහි සිතින් ත්‍රිවිධවූ අධර්ම චරියාව විෂමචර්‍ය්‍යාව වේ. බමුණ, මෙසේ අධර්මචර්‍ය්‍යා, විෂමචර්‍ය්‍යා හේතුවෙන් මේ ලෝකයෙහි ඇතැම් සත්ත්‍වයෝ කායයාගේ බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ, නපුරු ගති ඇති, නපුරුව ඇද වැටෙන නරකයෙහි උපදිත්.

’’බමුණ, කයින් ත්‍රිවිධවූ ධර්මචර්‍ය්‍යාව සමචර්‍ය්‍යාව වේ. වචනයෙන් සතරවැදෑරුම් ධර්මචර්‍ය්‍යාව සමචර්‍ය්‍යාව වේ. සිතින් තුන් වැදෑරුම් ධර්මචර්‍ය්‍යාව සමචර්‍ය්‍යාව වේ. බමුණ කෙසේ වනාහි කයින් ත්‍රිවිධ ධර්මචර්‍ය්‍යාව සමචර්‍ය්‍යාව වේද, මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් සතුන් මැරීම අත්හැර, සතුන් මැරීමෙන් වෙන්වූයේ වේ. බහා තබන ලද දඬු ඇත්තේ, බහා තබන ලද ආයුධ ඇත්තේ, පාපයට බිය ඇත්තේ, දයාවට පැමිණියේ, සියළු ප්‍රාණීන් කෙරෙහි හිතවත් අනුකම්පාවෙන් වාසය කරයි. නුදුන් දෙය ගැනීම අත්හැර, නුදුන් දෙය ගැනීමෙන් වෙන්වූයේ වේ. ගමෙහි හෝ, අරණ්‍යයෙහි හෝ, අනුන්ගේ යම් තමා නොඅයත් වස්තුවක් හෝ උපකරණයක් හෝ වේද, නුදුන්, සොරකම් කළ යුතු එය නොගන්නේ වේ. කාම මිත්‍ථ්‍යාචාරය අත්හැර, කාම මිත්‍ථ්‍යාචාරයෙන් වෙන්වූයේ වේ. යම් ඒ මව විසින් රකින, පියා විසින් රකින, ස්ත්‍රිය, සහෝදරයා විසින්, සහෝදරිය විසින්, ඤාතීන් විසින් රකින ස්ත්‍රිය, ධර්‍මයා රකින ස්ත්‍රිය, ස්වාමියා ඇති ස්ත්‍රිය, දඬුවම් කළ ස්ත්‍රිය, යටත් පිරිසෙයින් මල්මාලාවකින් වෙන්කළ ස්ත්‍රිය යන එබඳු ස්ත්‍රීන් කෙරෙහි හැසිරීමට නොපැමිණියේ වේ. බමුණ මෙසේ වනාහි කයින් ත්‍රිවිධ ධර්මචර්‍ය්‍යාව සමචර්‍ය්‍යාව වේ. බමුණ කෙසේ වනාහි වචනයෙන් සතර වැදෑරුම් ධර්මචර්‍ය්‍යාව සමචර්‍ය්‍යාව වේද? මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් බොරු නොකියන්නේ වේද, සභාවකට ගියේ හෝ, පිරිසකට ගියේ හෝ, නෑයන් මැදකට ගියේ හෝ, පිරිස් මැදකට ගියේ හෝ, රජ කුලයක් මැදට ගියේ හෝ, පමුණුවන ලද්දේ හෝ, ’’එම්බා පුරුෂය, එව, යමක් දන්නෙහි නම් එය කියන්නෙහිය’’ යි කියයි. හෙතෙම නොදන්නේ හෝ නොදනිමියි කියයි. දන්නේ හෝ දනිමියි කියයි. නොදක්නේ හෝ නොදකිමියි කියයි. දක්නේ හෝ දක්නෙමියි කියයි. මෙසේ තමන් හේතුකොටගෙන හෝ, අන්‍යයන් හේතුකොටගෙන හෝ, ආමිසාදී කිසිවක් බලාපොරොත්තුවෙන් හෝ, දැන දැන බොරු නොකියන්නේ වේද? පිසුණු නොකියන්නේ වේද. මොවුන්ගේ බිඳීම පිණිස මෙයින් අසා අසවල් තැන නොකියන්නේ වේ. ඔවුන්ගේ බිඳීම පිණිස, අසවල් තැන අසා මොවුන්ට නොකියන්නේ වේ. මෙසේ සමගිවූවන් නොබිඳුවන්නේ, බිඳුනවුන්ට උදවු නොදෙන්නේ, කොටස් කිරීමෙහි නොඇලුනේ, කොටස් කිරීමෙහි යුක්ත නුවූයේ, කොටස් කිරීමෙහි නොඇලුනේ, කොටස් කරණ වචන නොකියන්නේ වේ. ඵරුෂ වචන නොකියන්නේ වේ. යම් ඒ වචනයක් ගැට සහිතද, අනුන්ට කටුකද, අනුන් ගැටෙන්නේද, ක්‍රෝධයට කිට්ටුද, එකඟකමට විරුද්‍ධද, එබඳු වචන නොකියන්නේ වේ. ප්‍රලාප දොඩන්නේ නොවේ. නොකල්හි නොකියන්නේ, නොවූ දේ නොකියන්නේ, අයහපතින් නොකියන්නේ, අධර්‍මයෙන් නොකියන්නේ, නොහික්මීමට නොකියන්නේ. සිතේ තබා නොගතයතු, නොකල්හි කරුණු රහිතව සීමාවක් නැති, අයහපත හා මිශ්‍ර වචන නොකියන්නේ වේ. මෙසේ වනාහි වචනයෙන් සතර වැදෑරුම් ධර්මයෙහි හැසිරීම සමව හැසිරීම වේ. බමුණ, කෙසේ නම් සිතින් ත්‍රිවිධවූ ධර්මයෙහි හැසිරීම සමව හැසිරීම වේද? මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් තද තෘෂ්ණා ඇත්තේ නොවේද, අනුන්ගේ යම් ඒ වස්තූපකරණයක් වේද, යම් හෙයකින් අනුන්ගේ එය, ’මට වන්නේ නම් යහපතැ’ යි එය දැඩි ලෙස ආශා නොකරණ ලද්දේ වේද, මේ සත්ත්‍වයෝ නසිත්වා, බඳිත්වා, නැතිවෙත්වා, විනාශ වෙත්වායි නොවෙන්නාහු හෝ වෙත්වායි දූෂිතවූ චිත්ත සංකල්පනා නැත්තේ, පෙරළුනු සිත් නැත්තේ වේ. දුන් දෙයෙහි විපාක නැත. පුදන ලද්දේ විපාක නැත. හෝම කරණ ලද්දේ විපාක නැත. යහපත්කොට කරණ ලද, නපුරුකොට කරණ ලද, කර්‍මයන්ගේ ඵලයක් විපාකයක් නැත. මෙලොව නැත. පරලොව නැත. මවු නැත. පියා නැත. ඕපපාතික සත්ත්‍වයෝ නැත. යමෙක් මෙලොවද, පරලොවද, තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන, ප්‍රත්‍යක්‍ෂකොට දන්වත්ද, එබඳු ලෝකයෙහි යහපත් මාර්‍ගයට ගියාවූ, යහපත් මාර්‍ගයට පැමිණි, ශ්‍රමණ බ්‍රාහ්මණයන් නැතැයි පෙරළුනු දැකීම් ඇති, මිත්‍ථ්‍යාදෘෂ්ටිකයෙක් නොවේද, බමුණ මෙසේ වනාහි සිතින් තුන් වැදෑරුම් ධර්මචර්‍ය්‍යාව සමචර්‍ය්‍යාව වේ.

’’බමුණ, මෙසේ ධර්මවර්‍ය්‍යා සමචර්‍ය්‍යා හේතුවෙන් මේ ලෝකයෙහි ඇතැම් සත්ත්‍වයෝ කායයාගේ බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්‍ග ලෝකයෙහි උපදිත්ය’’ යි වදාළ සේක.

’’පින්වත් ගෞතමයන් වහන්ස, ( මෙහි 3 අඞ්ගුත්තර නිකායේ 7 නිපාතයේ, 7 වර්‍ගයේ 13 සූත්‍රයේ, 27 ඡේදය යෙදිය යුතුයි. )

කරජකාය වර්‍ගය නිමි.