අඞ්ගුත්තරනිකායො

දසම නිපාතය

1. පඨම පණ්ණාසකය

3. මහා වර්‍ගය

9. කාසිකොසල සූත්‍රය

’’මහණෙනි, කාසිකොසල දනව් වැස්සෝ යම්තාක්ද, පසේනදි කොසොල් රජහුගේ රටෙහි රජවරු යම්තාක්ද, එහි පසේනදි කොසොල් රජ අග්‍රයයි කියනු ලැබේ. මහණෙනි, පසේනදි කොසොල් රජුගේ වෙනස්වීමක් ඇත්තේමය. මරණයක්ද ඇත්තේමය. මහණෙනි, මෙසේ දන්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම ඒ සම්පතෙහිද කළකිරෙයි. අග්‍ර රජකමෙහිද නොඇළෙයි. පහත් දෙයෙහි කියනුම කවරේද?

’’මහණෙනි, දහසක් ලෝකය හැම තැනම යම්තාක් වන්‍ද්‍ර සූර්‍ය්‍යයෝ පරිහරණය කෙරෙත්ද, බැබලීමෙන් දිශාවන් හොබවත්ද, ඒ දහසක් ප්‍රමාණ ලෝකයෙහි, චන්‍ද්‍රයන් දහසෙක, සූර්‍ය්‍යයන් දහසෙක, මහමෙර දහසෙක, දඹදිව් දහසෙක, අපරගොයාන දහසෙක, උතුරුකුරු දිවයින් දහසෙක, පූර්‍වවිදෙහ දහසෙක, මහා සමුද්‍ර සාර දහසෙක, මහරජවරු සාර දහසෙක, චාතුර්මහාරාජික දහසෙක, තව්තිසා දහසෙක, යාම දහසෙක, තුෂිත දහසෙක, නිර්‍මාණරතී දහසෙක, පරනිර්මිත වසවර්ති දහසෙක, බ්‍රහ්මලෝක දහසෙක, මහණෙනි, සහශ්‍රී ලෝක ධාතුව යම්තාක්ද, මහා බ්‍රහ්ම තෙම එහි අග්‍රයයි කියනු ලැබේ. මහණෙනි, මහා බ්‍රහ්මයාගේද වෙනස්විමක් ඇත. මරණයක්ද ඇත. මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම එහිද කළකිරෙයි. එහි කළකිරෙන්නේ, අග්‍ර පදවියෙහි කළකිරෙයි. ලාමක දෙය ගැන කියනුම කවරේද?’’

’’මහණෙනි, යම් හෙයකින් මේ ලොකය නැසේද, මහණෙනි, ලෝකය නැසෙන කල්හි සත්ත්‍වයෝ බොහෝ සෙයින් ආභස්සරයෙහි උපදින්නාහු වෙත්. ඔවුහු එහි ඉබේ දිලිසෙන්නාහු, අහස හැසිරෙන්නාහු, සුභ ස්ථානගතවූවාහු, සිතින් උපදවා ගත් ප්‍රීතිය අනුභව කරන්නාහු, බොහෝ වැඩි කාලයක් සිටිත්. මහණෙනි, ලෝකය නැසෙන කල්හි ආභසස්ර දෙවියෝ අග්‍රයයි කියනු ලැබෙත්. මහණෙනි, ආභස්සර දෙවියන්ගේද වෙනස්වීමක් ඇත. මරණයක් ඇත. මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම එහිද කළකිරෙයි. එහි කළකිරෙන්නේ, අග්‍ර පදවියෙහි කළකිරෙයි. ලාමක දෙය ගැන කියනුම කවරේද?’’

’’මහණෙනි, මේ කසින ක්‍ෂෙත්‍රයෝ දසයකි. මෙය කවර දසයක්ද යත්? එකෙක් උඩ, යට, සරස දෙකක් නැති, අප්‍රමාණ පෘථුවියම දක්නා පෘථුවි කසිනය හඳුනයි. ඇතැම් කෙනෙක් ආපො කසිනය හඳුනයි. තෙජො, වායො, නීල, පීත, ලොහිත, ඔදාත, ආකාශ, විඤ්ඤාණ, උඩ, යට, සරස දෙකක් නැති අප්‍රමාණවූ විඤ්ඤාණ කසිනය ඇතැම් කෙනෙක් හඳුනයි. මහණෙනි, මේ දස කසිනායතනයෝයි. මහණෙනි, මේ කසින ක්‍ෂෙත්‍ර දසයෙන් එකෙක් උඩ, යට, සරස දෙකක් නැති, අප්‍රමාණවූ යම් මේ විඤ්ඤාණ කසිනයක් අඳුනයිද, මහණෙනි, මෙසේ සංඥා ඇත්තාවූ බොහෝ සත්ත්‍වයෝ ඇත්තාහ. මහණෙනි, මෙබඳු සංඥා ඇති සත්ත්‍වයන්ට වෙනස්වීමක් ඇත. අනිත්‍යයක් ඇත. මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම එහිද කළකිරෙයි. එහි කළකිරෙන්නේ, අග්‍ර පදවියෙහි කළකිරෙයි. ලාමක දෙය ගැන කියනුම කවරේද?’’

’’මහණෙනි, මැඩ පවත්වන කරුණු අටක් වෙත්. කවර අටක්ද යත්? කෙනෙක් තමා තුළවූ රූපය නිමිති කොට භාවනාව බොහෝ පුරුදු කරන්නේද, පිටත දෙය නිමිති කොට හොඳට පුරුදු කළ, භාවනාවන් වශයෙන් නොවැඩූ, මනා වර්‍ණ ඇති හෝ රූපයන් දකී. ඔවුන් මැඩ පවත්වා දනිමි, දකිමියි මෙබඳු සංඥා ඇත්තේ වේ. මේ ප්‍රථම අභිභායතනයයි. කෙනෙක් තමා තුළවූ රූපයෙහි පරිකර්‍ම කරන්නේ, පිටත දුවර්‍ණ වශයෙන් මහත්වූ, මනා වර්‍ණ ඇති හෝ රූපයන් දකී. ඔවුන් මැඩ පවත්වා දනිමි, දකිමියි මෙබඳු සංඥා ඇත්තේ වේ. මේ දෙවෙනි අභිභායතනයයි. කෙනෙක් තමා තුළවූ අරූපයෙහි පරිකර්‍ම කරන්නේ, පිටත අර්‍පණා වශයෙන් නොවැඩූ, මනා වර්‍ණ ඇති හෝ දුවර්‍ණ ඔවුන් මැඩ පවත්වා දනිමි, දකිමියි මෙබඳු සංඥා ඇත්තේ වේ. මේ තුන්වෙනි අභිභායතනයයයි.

’’කෙනෙක් තමා තුළවූ අරූපයෙහි පරිකර්‍ම කරන්නේ, පිටත අර්‍පණා වශයෙන් අප්‍රමාණවූ මනා වර්‍ණ හෝ දුවර්‍ණවූ රූපයන් දකී. ඔවුන් මැඩ පවත්වා දනිමි, දකිමියි මෙබඳු සංඥා ඇත්තේ වේ. මේ සතරවෙනි අභිභායතනයයයි.

’’කෙනෙක් තමා තුළවූ අරූප පරිකර්‍ම කරන්නේ, පිටත අර්‍පණා වශයෙන් නිල්වූ, නීලවර්‍ණවූ, නිල් පෙනීම ඇති, නිලට බබලන රූපයන් දකී. උම්මා පුෂ්පය යම්සේ නිල්ද, නිල්පාටද, නිලට උදාහරණද, නිලෙන් බබලාද, ඒ බරණැස වස්ත්‍රය යම් සේ දෙපාර්‍ශවයෙන් මදිනා ලද්දේද, නිල්ද, නිල් පාටද, නිලට නිදර්‍ශනද, නිලින් බබලාද, එසේම අධ්‍යාත්මයෙහි කෙනෙක් අරූප පරිකර්‍ම කරන්නේ, නිල්වූ, නිල්පාටවූ, නිලට නිදර්‍ශනවූ, නිලින් බබලන්නාවූ රූපයන් දකී. ඔවුන් මැඩ පවත්වා දනිමි, දකිමියි මෙබඳු සංඥා ඇති වේ. මේ පස්වෙනි අභිභායතනයයයි.

’’කෙනෙක් තමා තුළවූ අරූපයෙහි පරිකර්‍ම කරන්නේ, කහවූ, කහපාටවූ, කහට නිදර්‍ශනවූ, කහෙන් බබලන පිටත අර්‍පණා වශයෙන් රූප දකිත්ද, කිණිහිරි මල් යම්සේ කහද, කහපාටද, කහට නිදර්‍ශනද, කහෙන් බබලාද, බරණැස් වස්ත්‍රය හෝ යම් සේ දෙපාර්‍ශවයෙන් මදිනා ලද්දේද, කහද, කහපාටද, කහට නිදර්‍ශනද, කහෙන් බබලාද, එසේම කෙනෙක් තමා තුළ අරූපයෙහි පරිකර්‍ම කරන්නේ, කහවූ, කහපාට ඇති, කහට නිදර්‍ශනවූ, කහෙන් බබලන, පිටත රූපයන් දකී. ඔවුන් මැඩ පවත්වා දනිමි, දකිමියි මෙබඳු සංඥා ඇත්තේ වේ. මේ සවෙනි අභිභායතනයයයි.

’’කෙනෙක් තමා තුළවූ අරූපයෙහි පරිකර්‍ම කරන්නේ, රතුවූ, රතුපාටවූ, රතට නිදර්‍ශනවූ, රතින් බබලන රූපයන් දකී. බඳුවද මල් යම්සේ ලෙයද, රතුපාටද, ලෙයට නිදර්‍ශනද, ලෙයින් බබලාද, බරණැස වස්ත්‍රයක් යම් සේ දෙපාර්‍ශවයෙන් මදිනා ලද්දේ, රතුද, ලේපාටද, ලෙයට නිදර්‍ශනද, ලෙයින් බබලාද, එසේම කෙනෙක් තමා තුළ අරූපයෙහි පරිකර්‍ම කරන්නේ, රතුවූ, රතුපාට ඇති, ලෙයට නිදර්‍ශනවූ, ලෙයින් බබලන රූපයන් දකීද. ඔවුන් මැඩ පවත්වා දනිමි, දකිමියි මෙසේ සංඥා ඇත්තේ වේ. මේ සත්වෙනි අභිභායතනයයයි.

’’කෙනෙක් තමා තුළවූ අරූපයෙහි පරිකර්‍ම කරන්නේ, සුදුවූ, සුදුපාට ඇති, සුදට නිදර්‍ශනවූ, සුදින් බබලන පිටත රූපයන් දකියි. යම්සේ දහවත් තරුව (ඔසධි තාරකාව) සුදුද, සුදුපාටද, සුදට නිදර්‍ශනද, සුදින් බබලාද, බරණැස් වස්ත්‍රය හෝ යම් සේ දෙපාර්‍ශවයෙන් මදිනා ලද්දේද, සුදුද, සුදුපාටද, සුදට නිදර්‍ශනද, සුදින් බබලාද, එසේම කෙනෙක් අධ්‍යාත්මයෙහි අරූප යන සංඥා ඇත්තේ, සුදුවූ, සුදුපාට ඇති, සුදට නිදර්‍ශනවූ, සුදින් බබලන, රූපයන් දකී. ඔවුන් මැඩ පවත්වා දනිමි, දකිමියි යන සංඥා ඇත්තේ වේ. මේ අට අභිභායතනයයයි.

’’මහණෙනි, මේ අභිභායතන අටින් යම් මේ කෙනෙක් තමා තුල වූ අරූපයෙහි පරිකර්ම කරන්නේ සුදුවූ, සුදු පාට ඇති, සුදට නිදර්‍ශනවූ, සුදින් බබලන, රූපයන් දකීද, ඔවුන් මැඩ පවත්වා දනිමි, දකිමියි යන මෙසේ සංඥා ඇත්තේ වේද, මහණෙනි, මෙබඳු සංඥා ඇත්තාවූ සත්ත්‍වයෝ ඇත්තාහ. මහණෙනි, මෙබඳු සංඥා ඇත්තාවූ සත්ත්‍වයන්ගේ වෙනස්වීමක් ඇත. මරණයක් ඇත. මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම එහිද කළකිරෙයි. එහි කළකිරෙන්නේ, අග්‍ර පදවියෙහි කළකිරෙයි. ලාමක දෙය ගැන කියනුම කවරේද?’’

’’මහණෙනි, මේ ප්‍රතිපදා සතරක් වෙත්. කවර සතරක්ද යත්. දුක් ප්‍රතිපදාව ප්‍රමාද අභිඥාව, දුක් ප්‍රතිපදාව වහා ලැබෙන අභිඥාව, සැප ප්‍රතිපදාව ප්‍රමාදව ලැබෙන අභිඥාව, සැපවූ ප්‍රතිපදාව වහා ලැබෙන අභිඥාව යන, මහණෙනි, මේ සතර ප්‍රතිපදාවෝය. මහණෙනි, මේ සතර ප්‍රතිපදාවන්ගෙන් යම් මේ සැපවූ ප්‍රතිපදාව වහා ලැබෙන අභිඥාය යන යමක් ඇද්ද, මේ සතර ප්‍රතිපදාවන්ගෙන් මෙය ශ්‍රෙෂ්ඨයි. මහණෙනි, මෙසේ පිළිපන් සත්ත්‍වයෝ ඇත්තාහ. මෙසේ පිළිපන්නාවූ සත්ත්‍වයන්ගේද, වෙනස් ස්වභාවයක්, මරණයක් ඇත්තේය. මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම එහිද කළකිරෙයි. එහි කළකිරෙන්නේ, අග්‍ර පදවියෙහි කළකිරෙයි. ලාමක දෙය ගැන කියනුම කවරේද?’’

’’මහණෙනි, මේ සංඥාවෝ සතර දෙනෙක් වෙත්. කවර සතර දෙනෙක්ද යත්, කෙනෙක් කාමාවචරය අඳුනයි. කෙනෙක් රූපාරූපභව අඳුනයි. ලෝකෝත්තරය අඳුනයි. කෙනෙක් කිසිවක් නැතැයි ආකිඤ්චඤ්ඤායතනය හඳුනයි. මහණෙනි, මේ සතර සංඥාවෝය. මහණෙනි, මේ සතර සංඥාවන්ගෙන් යම් මේ කිසිවක් නැතැයි ආකිඤ්චඤ්ඤායතනය හඳුනයිද, මෙය ශ්‍රෙෂ්ඨයි. මහණෙනි, මෙබඳු සංඥා ඇත්තාවූ සත්ත්‍වයෝ ඇත්තාහ. මහණෙනි, මෙබඳු සංඥා ඇති සත්ත්‍වයන්ගේ වෙනස්වීමක් ඇත්තේය. මරණයක් ඇත්තේය. මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම එහිද කළකිරෙයි. එහි කළකිරෙන්නේ, අග්‍ර පදවියෙහි කළකිරෙයි. ලාමක දෙය ගැන කියනුම කවරේද?’’

’’මහණෙනි, බුද්‍ධ ශාසනයෙන් බැහැරවූ දෘෂ්ටීන්ගේ යම් මේ ’නොදවන්නෙමි. මාගේ නොවන්නේය. නොවන්නෙමි. මට නොවන්නේය’ යි යන මෙය ශ්‍රෙෂ්ඨය. මහණෙනි, මෙබඳු දෘෂ්ඨි ඇත්තේ, භවයෙහි යම් මේ නොපිළිකුල් කමක් වේද, ඒ ඔහුට නොවේයයි භවයාගේ නිරුද්‍ධවීමෙහි යම් පිළිකුල් බවක් වේද, ඔහුට එය නොවන්නේයයි කැමතිවිය යුතුයි. මහණෙනි, මෙබඳු දෘෂ්ඨි ඇත්තාවූ සත්ත්‍වයෝ ඇත්තාහ. මහණෙනි, මෙබඳු දෘෂ්ඨි ඇති සත්ත්‍වයන්ට වෙනස්වීමක්, මරණයක් ඇත්තේය. මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම එහිද කළකිරෙයි. එහි කළකිරෙන්නේ, අග්‍ර පදවියෙහි කළකිරෙයි. ලාමක දෙය ගැන කියනුම කවරේද?’’

’’මහණෙනි, ඉතා උසස් ශුද්ධිය පනවන ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඇත්තාහ. ඉතා උසස් ශුද්ධිය පනවන්නවුන් අතුරෙන් යම් මේ සර්‍වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්ම නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණ වාසය කරයිද, මෙය ශ්‍රෙෂ්ඨයි. ඔවහු එය විශිෂ්ඨ ඥානයෙන් දැන එය ප්‍රත්‍යක්‍ෂ කිරීම පිණිස බණ කියයි. මහණෙනි, මෙසේ කියන්නාවූ සත්ත්‍වයෝ ඇත. මහණෙනි, මෙසේ කියන්නාවූ සත්ත්‍වයන්ට වෙනස්වීමක් ඇත්තේය. මරණයක් ඇත්තේය. මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම එහිද කළකිරෙයි. එහි කළකිරෙන්නේ, අග්‍ර පදවියෙහි කළකිරෙයි. ලාමක දෙය ගැන කියනුම කවරේද?’’

’’මහණෙනි, මේ ආත්මයෙහිම ශ්‍රෙෂ්ඨ නිර්‍වාණය පණවන ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඇත්තාහ. ඔවුහු මේ ආත්මයෙහිම ශ්‍රෙෂ්ඨ නිර්‍වාණය පණවත්. මහණෙනි, මේ ආත්මයෙහිම ශ්‍රෙෂ්ඨ නිර්‍වාණය පනවන්නන් අතුරෙන් යම් මේ සය වැදෑරුම් ස්පර්‍ශයන්ගේ පහළවීමද, විනාශයද, ආශ්වාදයද, දොෂයද, නික්මීමද, තත්ත්වූ පරිද්දෙන් දැන, තෘෂ්ණා, මාන, දෘෂ්ඨි වශයෙන් දැඩි කොට නොගෙන, යම් මිදීමක් ඇද්ද, මෙය ශ්‍රෙෂ්ඨයි. මහණෙනි, මා මෙසේ කියුම් ඇත්තේ, මෙසේ කීයේයයි ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ නොවූ හිස් බොරු නොවූ දෙයින් ශ්‍රමණ ගෞතමයන් වහන්සේ කාමයන්ගේ විශෙෂ දැනීම නොපනවයි. රූපයන්ගේ විශෙෂ දැනීම නොපණවයි. වේදනාවන්ගේ විශෙෂ දැනීම නොපණවයි’ යයි මා අභිබවා කියත්. මහණෙනි, මම කාමයන්ගේ විශෙෂ දැනීම කියමි. රූපයන්ගේ විෂෙශ දැනීම කියමි. වේදනාවන්ගේද විශෙෂ දැනීම කියමි. මේ ආත්මයෙහිම තෘෂ්ණාව දුරු කළේ, නිවුනේ, සිහිල් වූයේ, කෙලෙස් අල්වා ගැනීම නැති පිරිනිවීම පණවමියි වදාළ සේක’’