අඞ්ගුත්තරනිකායො

දසම නිපාතය

2. දුතිය පණ්ණාසකය

(6) 1. සචිත්ත වර්‍ගය

5. පරිහානධම්ම සූත්‍රය

එකල්හි වනාහි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ, ’ඇවැත්නි, මහණෙනි,’ යි කියා භික්‍ෂූන් ආමන්ත්‍රණය කළ සේක. ඒ භික්‍ෂූහු, ’ඇවැත්නි’ යි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේට ප්‍රතිවචන දුන්හ. ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ මෙසේ වදාළ සේක.

’’ඇවැත්නි, පිරිහෙන ස්වභාව ඇති පුද්ගලයායයි, පිරිහෙන ස්වභාව ඇති පුද්ගලයායයි කියනු ලැබේ. ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින් කොපමණකින් පිරිහෙන ස්වභාව ඇති පුද්ගලයා වදාරණ ලද්දේද? භාග්‍යවතුන් වහන්සේ විසින් කොපමණකින් නොපිරිහෙන ස්වභාව ඇති පුද්ගලයා වදාරණ ලද්දේද?

’’ඇවැත්නි, අපි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් සමීපයෙන් මේ කියමනේ තේරුම දැනගන්නට දුර සිට එන්නෙමු. මේ කියමනේ තේරුම ආයුෂ්මත් ශාරීපුත්‍රයන්ටම වැටහේවා. ආයුෂ්මත් ශාරීපුත්‍රයන් වහන්සේ වෙතින් අසා භික්‍ෂූහු දරත්ය’’ යි කීවාහුය. ’’ඇවැත්නි, එසේ නම් අසව්. මනාකොට මෙනෙහි කරව්. කියන්නෙමි’’ යි කීහ. ’’ඇවැත්නි, එසේය’’ යි ඒ භික්‍ෂූහු ආයුෂ්මත් ශාරීපුත්‍රයන් වහන්සේට උත්තර දුන්හ. ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ මෙසේ වදාළ සේක.

’’ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින් කොපමණකින් පිරිහීමට යන පුද්ගලයා වදාරණ ලදද? ඇවැත්නි, මේ ශාසනයෙහි මහණතෙම නොඇසූ ධර්‍මය නොඅසයිද, ඔහු විසින් ඇසූ ධර්‍මයෝ සිහි නැති බවට යෙත්ද, යම් ධර්ම කෙනෙක් පෙර සිතට ස්පර්‍ශවූයේද, ඔවුන්ද භාවිත නොකරත්. නොදන්නා ලද්දද නොදනියි. ඇවැත්නි, මෙපමණකින් භාග්‍යවතුන් වහන්සේ විසින් පිරිහෙන ස්වභාවය ඇති පුද්ගලයා වදාරණ ලදී.

’’ඇවැත්නි, කොපමණකින් භාග්‍යවතුන් වහන්සේ විසින් නොපිරිහෙන ස්වභාව ඇති පුද්ගලයා වදාරණ ලද්දේද? ඇවැත්නි, මේ ශාසනයෙහි මහණතෙම නොඅසන ලද්දාවූම ධර්‍මය අසයි. ඔහු විසින් අසන ලද ධර්‍මයෝ සිහි නැති බවට නොයත්. ඔහු විසින් යම් ධර්‍ම කෙනෙක් පෙර සිතින් ස්පර්‍ශ කරණ ලද්දාහුද, ඔවුන්ද හසුරුවත්. නොදන්නා දෙයද දනී. ඇවැත්නි, මෙපමණකින් භාග්‍යවතුන් වහන්සේ විසින් නොපිරිහෙණ ස්වභාව ඇති පුද්ගලයා වදාරණ ලදී.

’’ඇවැත්නි, ඉදින් අනුන්ගේ සිත්හි ක්‍රමය නොදක්නේද, නැවත තමාගේ සිතේ ක්‍රමය දැනීමෙහි දක්‍ෂවෙමියි මෙසේ තොප විසින් හික්මිය යුතුයි. ඇවැත්නි, කෙසේ මහණතෙම තමාගේ සිතෙහි ආකාරය දැනීමේ දක්‍ෂවේද, ඇවැත්නි, යම්සේ සැරසීමට ප්‍රිය බාල තරුණයෙක් කන්නාඩියක හෝ පිරිසිදු බබලන, පැහැදුන දිය බඳුනක හෝ, තමාගේ මුව මඬල බලන්නේ, ඉදින් එහි දූවිල්ලක් හෝ, කිලුටක් හෝ, දකීද, ඒ දූවිල්ල හෝ කිලුට නැතිකිරීම පිණිස වෑයම් කරයි. එහි දූවීල්ලක් හෝ, කිලුටක් හෝ, ඉදින් නොදකීද, එයින්ම සම්පූර්‍ණවූ කල්පනා ඇත්තේ, ’ඒකාන්තයෙන් මට ලාභයක. ඒකාන්තයෙන් මා පිරිසිදුය’ යි සතුටුවූයේ වේ.

’’ඇවැත්නි, එසේම මහණහට කුශල ධර්මයන්හි බොහෝ සේ දැඩි ලෝභ නැතිව වාසය කරම්ද, මා කෙරෙහි මේ ධර්‍මය විද්‍යමාන වේද, නැත්නම් නොවේද, ’බොහෝ සේ කොප නොවූ සිතින් වාසය කරම්ද, මා කෙරෙහි මේ ධර්‍මය විද්‍යමාන වේද, නැත්නම් නොවේද, බොහෝ සේ පහවූ සිත කය දෙකේ මැලි ගතියෙන් මඩනා ලද්දේ වාසය කරම්ද, මා කෙරෙහි මේ ධර්‍මය විද්‍යමාන වේද, නැත්නම් නොවේද, නොවිසුරුණු සිතින් බොහෝ සේ වාසය කරම්ද, මා කෙරෙහි මේ ධර්‍මය විද්‍යමාන වේද, නැත්නම් නොවේද, බොහෝ සේ පහවූ සැක ඇතිව වාසය කරම්ද, මා කෙරෙහි මේ ධර්‍මය විද්‍යමාන වේද, නැත්නම් නොවේද, බොහෝ සේ ක්‍රොධ නොකරණ සුළුව වාසය කරම්ද, මා කෙරෙහි මේ ධර්‍මය විද්‍යමාන වේද, නැත්නම් නොවේද, බොහෝ සේ නොකිලිටි සිතින් වාසයකරම්ද, මා කෙරෙහි මේ ධර්‍මය විද්‍යමාන වේද, නැත්නම් නොවේද, අධ්‍යාත්මයෙහි ධර්‍ම ප්‍රබෝධය ලබන්නෙක් වන්නෙම්ද, මා කෙරෙහි මේ ධර්‍මය විද්‍යමාන වේද, නැත්නම් නොවේද, අධ්‍යාත්මයෙහි සිතේ එකඟකම ලබන්නෙම්ද, මා කෙරෙහි මේ ධර්‍මය විද්‍යමාන වේද, නැත්නම් නොවේද, ශ්‍රෙෂ්ඨ ප්‍රඥාවෙන් ධර්‍මයන් බැලීමට ලබන්නෙම්ද, මා කෙරෙහි මේ ධර්‍ම විද්‍යමාන වේද, නොහොත් නොවේදැයි නුවණින් සිහිකිරීම බොහෝ උපකාර වන්නේය.

’’ඉදින් ඇවැත්නි, මහණතෙම නුවණින් සිහි කරණු ලබන්නේ මේ සියලු කුශල ධර්‍මයන් තමා කෙරහි ලා දකීද, ඇවැත්නි, ඒ මහණ විසින් මේ සියලු කුශල ධර්මයන් ලැබීම පිණිස මහත් කැමැත්තක්ද, වෑයමක්ද, උත්සාහයක්ද, දැඩි උත්සාහයක්ද, නොනැවැත්මක්ද, සිහියක්ද, සම්‍යක් ප්‍රඥාවක්ද කටයුතුයි.

’’ඇවැත්නි, යම් සේ ගිනිගත් වස්ත්‍රයක් ඇති ගිනිගත් හිස ඇති, කෙනෙක් යම්සේද, ඔහුගේ වස්ත්‍රය හෝ හිස නිවීම පිණිස මහත් කැමැත්තක්ද, වෑයමක්ද, උත්සාහයක්ද, අධික උත්සාහයක්ද, නොනැවැත්මක්ද, සිහියක්ද, සම්‍යක් ප්‍රඥාවක්ද කරන්නේය.

’’ඇවැත්නි, එසේම ඒ භික්‍ෂුව විසින් සියලු මේ කුශල ධර්මයන් ලැබීම පිණිස ගිනිගත් හිස ඇති, කෙනෙක් යම්සේද, ඔහුගේ වස්ත්‍රය හෝ හිස නිවීම පිණිස මහත් කැමැත්තක්ද, වෑයමක්ද, උත්සාහයක්ද, අධික උත්සාහයක්ද, නොනැවැත්මක්ද, සිහියක්ද, සම්‍යක් ප්‍රඥාවක්ද කරන්නේය.

’’ඉදින් ඇවැත්නි, මහණතෙම නුවණින් සිහි කරණු දකියි. ඇතැම් කුශල ධර්මයක් තමන් කෙරෙහි නොදකියි. ඇවැත්නි, ඒ මහණ විසින් යම් කුශල ධර්මයක් තමා කෙරෙහි දකීද, ඒ කුශල ධර්මයන්හි පිහිටා යම් කුශල ධර්මයක් තමා කෙරෙහි නොදකීද, ඒ කුශල ධර්මයන් ලැබීම පිණිස ගිනිගත් හිස ඇති, කෙනෙක් යම්සේද, ඔහුගේ වස්ත්‍රය හෝ හිස නිවීම පිණිස මහත් කැමැත්තක්ද, වෑයමක්ද, උත්සාහයක්ද, අධික උත්සාහයක්ද, නොනැවැත්මක්ද, සිහියක්ද, සම්‍යක් ප්‍රඥාවක්ද කරන්නේය.

’’ඇවැත්නි, යම් සේ ගිනිගත් වස්ත්‍ර ඇති, ගිනිගත් හිස ඇති කෙනෙක් ඒ වස්ත්‍රයාගේ හෝ හිසේ නිවිමට මහත්වූ කැමැත්තක්, වෑයමක්, උත්සාහයක්, මහත් උත්සාහයක්, නොනැවැත්මක්, සිහියක්, සම්‍යක් ප්‍රඥාවක් කරන්නේය. ඇවැත්නි, එසේම ඒ මහණ විසින් යම් කුශල ධර්මයක් තමා කෙරෙහි ලා දකීද, ඒ කුශල ධර්මයන්හි පිහිටා යම් කුශල ධර්මයක් තමා කෙරෙහි නොදකීද, ඒ කුශල ධර්මයන් ඉපදවීම පිණිස, ගිනිගත් හිස ඇති, කෙනෙක් යම්සේද, ඔහුගේ වස්ත්‍රය හෝ හිස නිවීම පිණිස මහත් කැමැත්තක්ද, වෑයමක්ද, උත්සාහයක්ද, අධික උත්සාහයක්ද, නොනැවැත්මක්ද, සිහියක්ද, සම්‍යක් ප්‍රඥාවක්ද කරන්නේය. ඇවැත්නි, ඉදින් මහණතෙම නුවණින් සිහි කරන්නේ මේ සියලු කුශල ධර්මයන් තමා කෙරෙහි ලා දකීද, ඇවැත්නි, ඒ මහණ විසින් මේ සියලු කුශල ධර්මයන්හි පිහිටා මත්තෙහි ආශ්‍රවයන් ක්‍ෂයවීම පිණිස භාවනා කටයුතුයි.’’