අඞ්ගුත්තරනිකායො

දසම නිපාතය

2. දුතිය පණ්ණාසකය

(6) 1. සචිත්ත වර්‍ගය

9. පබ්බජ්ජාපරිචීත සූත්‍රය

’’එහෙයින් මහණෙනි, මෙහි පැවිද්ද යම් සේද, අපගේ සිත පුරුදු කරණ ලද්දක්ද වන්නේය. උපන් ලාමක අකුශල ධර්මයෝ සිත මැඩගෙන නොසිටිත්. අනිත්‍ය සංඥාව පුරුදු කරණ ලද අපගේ සිත වන්නේය. අනාත්ම සංඥාව පුරුදු කරණ ලද අපගේ සිත වන්නේය. අශුභ සංඥාව පුරුදු කරණ ලද අපගේ සිත වන්නේය. දොෂ සංඥාව පුරුදු කරණ ලද අපගේ සිත වන්නේය. ලෝකයාගේ සම තත්ත්‍වයද විෂම තත්ත්‍වයද දැන අපගේ සිත ඒ සංඥාව පුරුදු කරන ලද්දේ වන්නේය. ලෝකයාගේ ඇතිවීමද, නැතිවීමද දැන අපගේ සිත ඒ සංඥාව පුරුදු කළේ වන්නේය. ලෝකයාගේ හටගැනීමද, විනාශයද දැන අපගේ සිත ඒ සංඥාව පුරුදු කරණ ලද්දේ වන්නේය. ප්‍රහාණ සංඥාව පුරුදු කරණ ලද අපගේ සිත වන්නේය. නොඇලෙන සංඥාව පුරුදු කරණ ලද අපගේ සිත වන්නේය. නිවණ යන සංඥාව පුරුදු කරණ ලද අපගේ සිත වන්නේයයි මෙසේ හික්මිය යුතුයි.

’’මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතුයි. මහණෙනි, යම් තැනක සිට මහණහට ප්‍රව්‍රජ්‍යාව පුරුදු කරණ ලද සිත වේද, උපන් ලාමක අකුශල ධර්මයෝ සිත මැඩගෙන සිටිත්ද, අනිත්‍ය සංඥාව පුරුදු කරණ ලද සිත වේද, උපන් ලාමක අකුශල ධර්මයෝ සිත මැඩගෙන සිටිත්ද, අනිත්‍ය සංඥාව, අනාත්ම සංඥාව, අශුභ සංඥාව, දොෂ දක්නා සංඥාව, ලෝකයාගේ සම තත්ත්‍වයද, විෂම තත්ත්‍වයද දැන ඒ සංඥාව පුරුදු කරණ ලද සිත වේද, ලෝකයාගේ හට ගැනීම හා විනාශයද දැන, ඒ සංඥාව පුරුදු කරණ ලද සිත වේද, දුරු කරණ සංඥාව පුරුදු කරණ ලද සිත වේද, නොඇලෙන සංඥාව පුරුදු කරනලද සිත වේද, නිවණ යන සංඥාව පුරුදු කරනලද සිත වේද, ඕහට මෙලොව රහත් ඵලයද, ස්කන්‍ධයන් පැවැත්මෙහි හේතුව ඇති කල්හි අනාගාමී බව හෝ වේ.’’