අඞ්ගුත්තරනිකායො

දසම නිපාතය

2. දුතිය පණ්ණාසකය

(10) 5. උපාසක වර්‍ගය

4. සබ්බගරහන වජ්ජියමහිත සූත්‍රය

එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ චම්පානුවර, ගග්ගරා පොකුණුතෙර වාසය කරණ සේක. ඉක්බිති ’වජ්ජියමහිත’ නම් ගෘහපතිතෙම කල් ඇතුවම භාග්‍යවතුන් වහන්සේ දැකීමට චම්පානුවරින් පිටත්වූයේය. ඉක්බිති වජ්ජියමහිත ගෘහපතියාට, ’තවම භාග්‍යවතුන් වහන්සේ දක්නට යාමට නොකල්ය. භාග්‍යවතුන් ඵල සමවතට සමවැදුනේය. සිත වඩන (භාවනා කරන) භික්‍ෂූන් ලඟට යාමටද නොකල්ය. සිත වඩන භික්‍ෂූහු ඵල සමවතට සමවැදුනාහ. අන්‍ය තීර්ත්‍ථක පරිබ්‍රාජකයන්ගේ ආරාමය යම් තැනෙක්හිද, එහි පැමිණෙන්නෙමු නම් යෙහෙකැයි සිතූහ.

ඉක්බිත්තෙන් වනාහි වජ්ජියමහිත ගෘහපතිතෙම තීර්ත්‍ථකයන්ගේ ආරාමයට ගියේය. ඉක්බිති වජ්ජියමහිත ගෘහපතිතෙම ඒ පරිබ්‍රාජකයෝ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ ඒ අන්‍යතීර්ත්‍ථක පරිබ්‍රාජකයන් සමග සතුටුවිය. සතුටු විය යුතුවූ, සිහි කටයුතුවූ, කථාව කොට නිමවා එකත්පසෙක සිටියේය.

’’ගෘහපතිය, ශ්‍රමණ ගෞතමතෙම සියලු තපස්කම්වලට ගරහයි. දුකසේ ජීවත්වන සියලු තපස් ඇත්තන්ට ඒකාන්තයෙන් නින්‍දාකරයි. දොස් කියයි යන මෙය ඇත්තදැ’ යි ඇසීය. ’’ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ සියලු තපස් නොගරහයි. සියලු රූක්‍ෂව ජීවත්වන තපස් ඇත්තන්ට ඒකාන්තයෙන් නින්‍දා නොකරයි. දොස් නොකියයි. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ ගැරහියයුත්තාට ගරහයි. පැසසියයුත්තාට පසසයි. ස්වාමීනි, ගැරහියයුත්තාට ගරහන්නාවූ, පැසසියයුත්තාට පසසන්නාවූ, භාග්‍යවතුන් වහන්සේ විභජ්ජවාදීය. ඒ භාග්‍යවතුන් වහන්සේ මේ කරුණහිලා ඒකාන්තවාදියෙක් නොවෙති’ යි මෙසේ කීවේය.

මෙසේ කීකල්හි එක්තරා පරිබ්‍රාජකයෙක්, වජ්ජියමහිත ගෘහපතියාට, ’ගෘහපතිය, ඔබ පහවෙව. ඔබ යම්බඳුවූ ශ්‍රමණ ගෞතමයන්ගේ ගුණ කියන්නෙහිද, ඒ ශ්‍රමණගෞතමතෙමේ නාස්තිවාදියෙකි. පැණවීමක් නැත්තෙකි’ යි කීයේය. ’ස්වාමීනි, මම මෙහිලා ආයුෂ්මතුන්ට කරුණු සහිතව කියමි. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මෙය කුශලයයි පණවන ලදී. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මෙය අකුශලයයි පණවන ලදී. මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් කුශලය හා අකුශලය පණවනු ලබන්නේ භාග්‍යවතුන් වහන්සේ පැණවීම් සහිතය. භාග්‍යවතුන් වහන්සේ නාස්තිවාදියෙක් නොවේ. පැනවීම් නැත්තෙක් නොවේය’’ යි කීයේය.

මෙසේ කීකල්හි ඒ පරිබ්‍රාජකයෝ තූෂ්ණීම්භූතවූවාහු, මුහුණ හැකුලුණාහු, නැමුණු පිට ඇත්තාහු, යටිකුරුවූ මුහුණ ඇත්තාහු, සිතමින්, නොවැටහෙමින් සිටියාහුය. ඉක්බිති වජ්ජියමහිත ගෘහපතිතෙම තූෂ්ණීම්භූතවූ, මුහුණ හැකුලුණු, නැමුණු පිට ඇති, යටිකුරුවූ මුව ඇති, සිතමින් හුන්, නොවැටහුණු ඒ පරිබ්‍රාජකයන් දැක, හුනස්නෙන් නැගිට, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටි වජ්ජියමහිත ගෘහපතිතෙම ඒ අන්‍ය තීර්ත්‍ථක පරිබ්‍රාජකයන් සමග යම්තාක් කථා සල්ලාපයක් වූයේද, ඒ සියල්ල භාග්‍යවතුන් වහන්සේට සැළකෙළේය.

’’ගෘහපතිය, යහපත, යහපත. මෙසේ තොප විසින් ඒ හිස් පුරුෂයෝ කලින් කල කරුණු සහිතව යටත්කළ යුත්තාහ. නිග්‍රහ කළ යුත්තාහ. ගෘහපතිය, මම සියලු තපස් තැවිය යුතුයයි නොකියමි. ගෘහපතිය, මම සියලු තපස් නොතැපිය යුතුයයි නොකියමි. ගෘහපතිය, මම සියලු ගැනීම් ගතයුතුයයි නොකියමි. ගෘහපතිය, මම සියලු ගැනීම් නොගතයුතුයයි නොකියමි. ගෘහපතිය, මම සියලු භාවනාකිරීම් භාවනා කටයුතුයයි නොකියමි. ගෘහපතිය, මම සියලු භාවනාකිරීම් භාවනා නොකටයුතුයයි නොකියමි. ගෘහපතිය, මම සියලු දුරු කිරීම් දුරු කටයුතුයයි නොකියමි. ගෘහපතිය, මම සියලු සියලු දුරු කිරීම් දුරු නොකටයුතුයයි නොකියමි. ගෘහපතිය, මම සියලු මිදීම් මිදිය යුත්තාහයි නොකියමි. ගෘහපතිය, මම මිදීම් නොමිදිය යුත්තාහයිද නොකියමි.

’’ගෘහපතිය, යම් තපසක් තපින්නාහට අකුශල ධර්‍මයෝ වැඩෙත් නම් කුශල ධර්‍මයෝ පිරිහෙත් නම්, මෙබඳු තපස නොතැපිය යුතුයයි කියමි. ගෘහපතිය, යම් තපසක් තපින්නාහට අකුශල ධර්‍මයෝ පිරිහෙත්ද, කුශල ධර්‍මයෝ වැඩෙත්ද, මෙබඳු තපස තැපිය යුතුයයි කියමි.

’’ගෘහපතිය, යම් ගැනීමක් ගන්නාහට අකුශල ධර්‍මයෝ වැඩෙත්ද, කුශල ධර්‍මයෝ පිරිහෙත්ද, එබඳු ගැනීමක් නොගත යුතුයයි කියමි. ගෘහපතිය, යම් ගැනීමක් ගන්නාහට අකුශල් පිරිහෙත්ද, කුසල් වැඩෙත්ද, එබඳු ගැනීමක් ගත යුතුයයි කියමි.

’’ගෘහපතිය, යම් භාවනාවක් වැඩීමෙන් අකුශල ධර්‍මයෝ වැඩෙත්ද, කුශල ධර්‍මයෝ පිරිහෙත්ද, එබඳු භාවනාවක් වැඩිය යුත්තාහයි නොකියමි. ගෘහපතිය, යම් භාවනාවක් වඩන්නාහට අකුශල ධර්මයෝ පිරිහෙත්ද, කුසල ධර්මයෝ වැඩෙත්ද, එබඳු භාවනාවක් වැඩිය යුතුයයි කියමි.

’’ගෘහපතිය, යම් අත්හැරීමක් අත්හරින්නාහට අකුශල ධර්‍මයෝ වැඩෙත්ද, කුශල ධර්‍මයෝ පිරිහෙත්ද, එබඳු දුරුකිරීමක් දුරු නොකටයුතුයයි කියමි. ගෘහපතිය, යම් අත්හැරීමක් අත්හරින්නාහට අකුශල ධර්මයෝ පිරිහෙත්ද, කුසල ධර්මයෝ වැඩෙත්ද, එබඳු අත්හැරීමක් අතහළ යුතුයයි කියමි.

’’ගෘහපතිය, යම් මිදීමකින් මිදෙන්නාහට අකුශල ධර්‍මයෝ වැඩෙත්ද, කුශල ධර්‍මයෝ පිරිහෙත්ද, එබඳු මිදීම් නොමිදිය යුතුයයි කියමි. ගෘහපතිය, යම් මිදීමක් මිදෙන්නාහට අකුශල ධර්මයෝ පිරිහෙත්ද, කුශල ධර්මයෝ වැඩෙත්ද, එබඳු මිදීම මිදිය යුතුයයි කියමි’’ යි වදාළ සේක.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ විසින් දැහැමි කථාවෙන් කරුණු සහිතව දක්වන ලද, සමාදන් කරවන ලද, තෙද ගන්වන ලද, සතුටු කරණ ලද, වජ්ජියමහිත ගෘහපතිතෙම අස්නෙන් නැගිට, බුදුන් වැඳ, පැදකුණුකොට ගියේය.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ වජ්ජියමහිත ගෘහපතියා ගිය නොබෝ වේලාවකින් භික්‍ෂූන් ආමන්ත්‍රණය කළ සේක. ’’මහණෙනි, යම් ඒ මහණෙක් බොහෝ කලක් මේ ධර්‍ම විනයෙහි කෙලෙස් රජස් නැත්තේද, හෙතෙමේ යම්සේ ඒ වජ්ජියමහිත ගෘහපතියා විසින් පෙළන ලද්දේද, මෙසේම අන්‍ය තීර්ත්‍ථක පරිබ්‍රාජකයන් කරුණු සහිතව මනාකොට පෙළන ලද්දවුන් කොට නිග්‍රහ කරන්නේය’’ යි වදාළ සේක.