අඞ්ගුත්තරනිකායො

දසම නිපාතය

2. දුතිය පණ්ණාසකය

(10) 5. උපාසක වර්‍ගය

7. දස ආහුණෙය්‍ය ධම්ම සූත්‍රය

’’මහණෙනි, දස ධර්‍මයකින් යුක්තවූ මහණතෙම ආහුණෙය්‍යවේ. පාහුණෙය්‍යවේ. දක්ඛිණෙය්‍යවේ. අඤජලිකරණීයවේ. ලෝකයාගේ නිරුත්තර පින් කෙත වේ.

’’කවර දස ධර්‍මයකින්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම සිල්වත් වේද, ප්‍රාතිමොක්‍ෂ සංවර ශීලයෙන් සංවරව වාසය කරයිද, හැසිරීමෙන් හා සෙවීමෙන් යුක්තවූයේද, ස්වල්පමාත්‍ර වරදෙහි බිය දක්නා සුළුවූයේ, ශික්‍ෂා පදයන් සමාදන්ව හික්මෙයි. ඇසූ දේ දරණ, ඇසූ දේ රැස්කරණ බහුශ්‍රුතයෙක් වේ.

’’යම් ඒ ධර්‍ම කෙනෙක් මුල යහපත්ද, මැද යහපත්ද, අග යහපත්ද, අර්ත්‍ථ සහිතද, ව්‍යඤ්ජන සහිතද, හාත්පසින් සම්පූර්‍ණද, පිරිසිදු බ්‍රහ්මචර්‍ය්‍යාව කියත්ද, එබදු ධර්‍මයෝ බොහෝ අසන ලද්දාහු වෙත්. දරණ ලද්දාහු වෙත්. වචනයෙන් පුරුදුවූවාහු වෙත්. සිතින් බලන ලද්දාහු වෙත්. දෘෂ්ටියෙන් අවබෝධ කරණ ලද්දාහු වෙත්.

’’යහපත් මිත්‍රයන් සහායකොට ඇති, යහපත් මිත්‍රයන්ට නැමෙන්නාවූ කල්‍යාණ මිත්‍රයෙක් වේ. යහපත් දැකීමෙන් යුක්තවූ සම්‍යක් දෘෂ්ටිකයෙක් වේ. නානාප්‍රකාර ඎද්‍ධි ප්‍රභේදයන් විඳියි. එකෙක්ව බොහෝ වෙයි. බොහෝව එකෙක් වෙයි. අහසෙහි මෙන් ප්‍රකට භාවයට, සරසට, බිත්තියෙන් පිටතට, ප්‍රාකාරයෙන් පිටතට, පර්‍වතයෙන් පිටතට නොගැටෙමින් යයි. ජලයෙහි සේම පෘථුවියෙහිද මතුවීම, ගැලීම කරයි. පෘථිවියෙහි සේම ජලයෙහිද නොබිඳෙමින් යයි. පියාපත් ඇති කුරුල්ලන් මෙන් අහසෙහිද පර්‍ය්‍යඞ්කයෙන් යයි. මෙසේ මහත් ඎද්‍ධි ඇති, මහත් ආනුභාව ඇති, මේ චන්‍ද්‍ර සූර්‍ය්‍යයන්ද අතින් ස්පර්‍ශ කරයි. පිරිමදී. බ්‍රහ්මලෝකය දක්වා කයින් වසඟයට පමුණුවයි.

’’පිරිසිදුවූ මිනිසැස ඉක්ම පවත්නාවූ දිව කණින් දිව්‍යමයවූද, මනුෂ්‍යවූද, ඈත්වූද, ළංවූද දේ ශබ්දයන් අසයි. තමන් සිතින් අන්‍ය සත්ත්‍වයන්ගේ අන්‍ය පුද්ගලයන්ගේ සිත පිරිසිඳ දනියි. රාග සහිත සිත, රාග සහිත සිතයයි දනියි. පහවූ රාග ඇති සිත, පහවූ රාග ඇති සිතයයි දනියි. ද්වේෂ සහිත සිත, ද්වේෂ සහිත සිතයයි දනියි. පහවූ ද්වේෂ සහිත සිත, පහවූ ද්වේෂ සහිත සිතයයි දනියි. මොහ සහිත සිත, මොහ සහිත සිතයයි දනියි. පහවූ මොහ සහිත සිත, පහවූ මොහ සහිත සිතයයි දනී. හැකුළුනු සිත, හැකුළුනු සිතයයි දනියි. විසුරුණු සිත, විසුරුණු සිතයයි දනියි. මහත් බවට නොපැමිණි සිත, මහත් බවට නොපැමිණි සිතයයි දනියි. මහත්ත්‍වයට පැමිණි සිත, මහත්ත්‍වයට පැමිණි සිතයයි දනියි. වැඩියක් සහිත සිත, වැඩියක් සහිත සිතයයි දනියි. වැඩියක් රහිත සිත, වැඩියක් රහිත සිතයයි දනියි. එකඟ නොවූ සිත, එකඟ නොවූ සිතයයි දනියි. එකඟවූ සිත, එකඟවූ සිතයයි දනියි. නොමිදුනු සිත, නොමිදුනු සිතයයි දනියි. මිදුනු සිත, මිදුනු සිතයයි දනී.

’’නානාප්‍රකාර පූවේනිවාසය එක ජාතියක් - ජාති දෙකක් - ජාති තුනක් - ජාති සතරක් - ජාති පහක් - ජාති දහයක් - ජාති විස්සක් - ජාති තිහක් - ජාති හතලිහක් - ජාති පණහක් - ජාති සීයක් - ජාති දාහක් - ජාති දසදාහක් - නොයෙක් නැසෙන කල්ප - නොයෙක් වැඩෙන කල්ප - නොයෙක් නැසෙන වැඩෙන කල්ප සිහිකරයි. අසවල් තැන මෙබඳු නමක්, ගොත්‍රයක්, මෙබඳු වර්‍ණයක්, මෙබඳු ආහාරයක්, මෙබඳු සැපත්, දුකත් වින්දෙමි. මෙබඳු ආයුෂයක් අවසන්කොට ඇත්තේය. හෙතෙම ඉන් චුතවූයේ, අසවල් තැන ඉපදුනෙමි. එහිද මෙබඳු නමක් වූයේය. මෙබඳු ගොත්‍රයක්, මෙබඳු වර්‍ණයක්, මෙබඳු ආහාරයක්, මෙබඳු සැපක්, දුකක්, විඳින සුළු වූයෙමි. මෙබඳු ආයුෂ ප්‍රමාණයක් වූයේය. හෙතෙම ඉන් චුතවූයේ, මෙහි උපන්නේයයි මෙසේ ආකාර සහිත, නම් කීම් සහිත, නානාප්‍රකාර පූර්‍වෙනිවාසය සිහි කරයි.

’’පිරිසිදුවූ මිනිසැස ඉක්ම සිටි දිවැසින් චුතවන්නාවූ, උපදින්නාවූ, පහත්වූ, උසස්වූ, මනා වර්‍ණ ඇති, දුවර්‍ණ ඇති, යහපත් ගති ඇති, අයහපත් ගති ඇති, කම්වූ පරිදි උපන් සත්ත්‍වයන් දනී. පින්වත්නි, ඒකාන්තයෙන් මේ සත්ත්‍වයෝ කාය සුචරිතයෙන් යුක්තවූවාහුය. වාක් සිත්හි ආර්‍ය්‍යයන්ට දොස් කියන්නාහුය. මිත්‍ථ්‍යා දෘෂ්ටි ඇත්තාහ. මිත්‍ථ්‍යා දෘෂ්ටි කර්ම සමාදන්වූවාහ. ඔවුහු කායයාගේ බිඳීමෙන් මරණින් මතු සැප නැති, නපුරු ගති ඇති, නපුරුකොට ඇද වැටෙන නරකයෙහි උපන්නාහුය. පින්වත්නි, මේ සත්ත්‍වයන් කාය සුචරිතයෙන් යුක්තවුවාහුය. වචනයේ සුචරිතයෙන්, සිතේ සුචරිතයෙන්, යුක්තවූවාහුය. ආර්‍ය්‍යයන්ට දොස් නොකියන්නාහ. සම්‍යක් දෘෂ්ටි ඇත්තාහ. සම්‍යක් දෘෂ්ටික කර්‍ම සමාදන් වූවාහුය. ඔවුහු කායයාගේ බිඳීමෙන් මරණින් මතු, සුගතිවූ ස්වර්‍ග ලොකයෙහි උපන්නාහයි මෙසේ පිරිසිදු මිනිසැස ඉක්ම පවත්නා දිවැසින්, චුතවන, උපදින, පහත්, උසස්, මනා වර්‍ණ ඇති, දුර්‍වර්‍ණ ඇති, යහපත් ගති ඇති, දුගති ඇති, කම්වූ පරිදි උපන් සත්ත්‍වයන් දකී.

’’ආශ්‍රවයන්ගේ ක්‍ෂයවීමෙන් ආශ්‍රව රහිත සිතින් මිදීමද, ප්‍රඥාව කරණකොට මිදීමද, මෙලොවම තෙමේ විශිෂ්ඨ ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂකොට පැමිණ වාසය කරයි. මහණෙනි, දස ධර්‍මයකින් යුක්තවූ මහණතෙම ආහුණෙය්‍යවේ. පාහුණෙය්‍යවේ. දක්ඛිණෙය්‍යවේ. අඤජලිකරණීයවේ. ලෝකයාගේ නිරුත්තර පින් කෙත වේ.