අඞ්ගුත්තරනිකායො

දසම නිපාතය

2. දුතිය පණ්ණාසකය

(10) 5. උපාසක වර්‍ගය

8. දසථෙරධම්ම සූත්‍රය

’’මහණෙනි, ධර්ම දහයකින් යුක්තවූ ස්ථවිර භික්‍ෂුව යම් යම් දිශාවක වාසය කරයිද, සුවසේ වාසය කරයි.

’’කවර දසයකින්ද යත්, බොහෝ කල් දන්නා (වැඩි වයස්වූ), පැවිදිවූ බොහෝ කල් ඇති සිල්වතෙක් වේ. ශික්‍ෂාපදයන් සමාදන්ව රකී. බොහෝ ඇසූ පිරූ තැන් ඇත්තේ වේ. දෘෂ්ටියෙන් ප්‍රතිවෙධ කළාහු වෙත්. ප්‍රාතිමොක්‍ෂ දෙක, සූත්‍ර වශයෙන්, අකුරු වශයෙන්, විස්තරව පාඩම් කළාහු වෙත්. බෙදන ලද්දාහු, පවත්වන ලද්දාහු, විනිශ්චය කරණ ලද්දාහු වෙත්. ඇතිවන නඩු සංසිඳුවීමේ දක්‍ෂ වේ. ප්‍රිය වචන කථා කරණ ධර්මකාමියෙක් වේ. ශ්‍රේෂ්ඨ ධර්මයෙහි, ශ්‍රෙෂ්ඨ විනයෙහි මහත් සතුට ඇත්තේ වේ. එක් එක් සිවුරු, පිඬු, සෙනසුන්, ගිලන්පස, බෙහෙත් පිරිකරින් සතුටුවූයේ වේ. ඉදිරියට යාමෙහි, ආපසු ඊමෙහි, ප්‍රසාද එළවන්නේ වේ. ඇතුළුනුවර හිඳීමෙහිද සංවර වූයේ වේ. ශ්‍රෙෂ්ඨ සිතට අයත් මේ ආත්මයෙහි සැප විහරණ ඇති, ධ්‍යාන සතර ඉබේ ලබන්නේ වේ. පහසුවෙන් ලබන්නේ වේ. නිදුකින් ලබන්නේ වේ. ආශ්‍රවයන්ගේ ක්‍ෂයවීමෙන්, ආශ්‍රව රහිත සිතින් කෙලෙසුන්ගෙන් මිදීමද, ප්‍රඥාවෙන් මිදීමද, මෙලොවම තෙමේ විශිෂ්ඨ ඥානයෙන් දැන අත්දැකීමට, උසස්බවට පැමිණ, වාසය කරයි. මහණෙනි, දස ධර්‍මයකින් යුක්තවූ මහණතෙම ආහුණෙය්‍යවේ. පාහුණෙය්‍යවේ. දක්ඛිණෙය්‍යවේ. අඤජලිකරණීයවේ. ලෝකයාගේ නිරුත්තර පින් කෙත වේ.