අඞ්ගුත්තරනිකායො

දසම නිපාතය

2. දුතිය පණ්ණාසකය

(10) 5. උපාසක වර්‍ගය

9. උපාලිවනපත්‍ථ සූත්‍රය

ඉක්බිති ආයුෂ්මත් උපාලි ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එකත්පසෙක් සිටි ආයුෂ්මත් උපාලි ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට, ’’ස්වාමීනි, මම ඈත වනයෙහි දුර සෙනසුන් ආශ්‍රය කරන්ට කැමැත්තෙමි’ යි කීයේය. උපාලිය, අරණ්‍යයෙහි ඈත වනයෙහි දුර සෙනසුන් නොලැබිය හැකිවෙයි. උතුම් විවේකය දුෂ්කරය. එකඟ බවෙහි නොඇලෙයි. සමාධිය නොලබන භික්‍ෂුවගේ සිත් වනයෝ ගනිත්යයි සිතමි. උපාලිය, යම්කිසි කෙනෙක් මම එකඟකම නොලබමින් අරණ්‍යයෙහි දුර වනයේ, දුර සේනාසන සේවනය කරමියි මෙසේ කියන්නේය, කිඳෙන්නේය, පාවෙන්නේය, යන මෙය ඔහු විසින් කැමතිවිය යුතුයි.

’’උපාලිය, මහ වතුර විලක් යම් සේ වේද, ඉක්බිති සත් රියනක් හෝ අට රියනක් හෝ ඇති ඇත් රජෙක් එන්නේද, ඔහුට මේ දිය විලට බැස කණ සේදීමේ ක්‍රීඩාව කරන්නේ නම්, පිට සෝදන ක්‍රීඩාව කරන්නේ නම් යහපතැයි සිතයි. කණ සේදීමේ, පිට සේදීමේ කෙළි කෙළ, නා, බී, ගොඩවී, යම් තැනක් කැමැත්තේද, යන්නේය. හෙතෙම ඒ දිය විලට බැස කණ, පිට සෝදන කෙළි කෙළින්නේය. කණ, පිට සෝදන කෙළි කෙළ, නා, බී, ගොඩවී, යම තැනක් කැමැත්තේ නම්, එහි යන්නේද, ඊට හේතු කවරේද? උපාලිය, ශරීරය ගැඹුරේ නොගැඹුර විඳියි.’’

’’ඉක්බිති හාවෙක් හෝ බළලෙක් හෝ එන්නේය. ඔහුට ’මම කවරෙක්ද? ඇත් රජා කවරෙක්ද? මම මේ දිය විලට බැස කණ, පිට, සොදන ක්‍රීඩා කෙළින්නෙමි, කණ, පිට, සෝදන ක්‍රීඩා කොට නා, බී, ගොඩවී යම් තැනෙක්හි කැමැත්තේ නම් එහි යන්නේය’ යි මෙබඳු සිතක් වන්නේය. හෙතෙම ඒ දිය විල කරා පැමිණ, වහා කල්පනා නොකර පනින්නේය. ඔහු කිඳෙන්නේය, පාවෙන්නේය, යන මෙය කැමතිවිය යුතුයි. ඊට හේතු කවරේද? උපාලිය, ශරීරය කුඩාය. ගැඹුරෙහි නොගැඹුරු බවක් නොලබයි. උපාලිය, එසේම යමෙක්, ’මම සිතේ එකඟකම නොලබා අරණ්‍යයෙහි ඈත වනයේ දුර සෙනසුන් සේවනය කරන්නෙමියි මෙසේ කියන්නේ නම් කිඳෙන්නේය, පාවෙන්නේය, යන මෙය ඔහු විසින් බලාපොරොත්තු විය යුතුයි.

’’උපාලිය, යම්සේ කුඩාවූ උඩුකුරුව සයනය කරණ ළදරු කුමරෙක් ස්වකීය මල මූත්‍ර සමග කෙළීද, උපාලිය, ඒ කුමකැයි සිතන්නේද? මෙය සම්පූර්‍ණයෙන් පිරුණු ළදරු සෙල්ලමක් නොවේද?’’ ’’ස්වාමීනි, එසේය.’’ ’’උපාලිය, ඒ කුමාරතෙම මෑත භාගයෙහි වැඩීමට පැමිණ ඉන්ද්‍රියයන් මේරීමට පැමිණ කුමරුවන්ගේ සෙල්ලම් බඩු දේ ඇද්ද, ඒ මෙසේයි. බිලීකටුය, කුඩාකලය, රූංපෙත්ත, චිංගුලකය, පත්තාළ්හකය, කුඩා රථය, කුඩා දුන්න යන මෙයින් ක්‍රීඩා කරයි. උපාලිය, ඒ කිමකැයි සිතන්නේද? මේ ක්‍රීඩා පෙර ක්‍රීඩාවලට වඩා අතිශයින් යහපත් නොවේද, අතිශයින් ප්‍රණීත නොවේද?’’ - ’’ස්වාමීනි, එසේය.’’

’’උපාලිය, ඒ කුමාරතෙම මෑත කාලයෙහි වැඩිවිය පැමිණ, ඉඳුරන් මේරීමට පැමිණ, පස්කම් ගුණයෙන් යුක්තවූයේ යෙදුනේ යහපත්වූ, කාන්තවූ, මනවඩන්නාවූ, ප්‍රිය ස්වරූප ඇති, කාමයට හේතුවන, ඇලුම් කටයුතු, ඇසින් දතයුතු රූපයන් පිරිවරයි. නාසයෙන් දතයුතු ගන්‍ධයන්, දිවින් දතයුතු රසයන්, කයින් දතයුතු ස්පර්‍ශයන් පිරිවරයි. උපාලිය, මේ ක්‍රීඩා පෙර ක්‍රීඩාවලට වඩා අතිශයින් යහපත්ද, ප්‍රණීතදැයි සිතන්නෙහිද?’’ - ’’ස්වාමීනි, එසේය.’’

’’උපාලිය, මේ ලෝකයෙහි නව අරහාදී බුදු ගුණයෙන් යුත් තථාගතයන් වහන්සේ ලෝකයෙහි උපදී. උන්වහන්සේ මාරයා සහිත, බ්‍රහ්මයා සහිත, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දෙවි මිනිසුන් සහිත ප්‍රජාව විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂකොට බණ කියයි. හෙතෙම මුල, මැද, අග යහපත් තේරුම් සහිත, අකුරු සහිත, හාත්පසින් සම්පූර්‍ණ ධර්‍මය දේශනා කරයි. පිරිසිදු බ්‍රහ්මචර්‍ය්‍යය ප්‍රකාශ කරයි.

ගෘහපතියෙක් හෝ, ගෘහපති පුත්‍රයෙක් හෝ, එක්තරා කුලයක උපන්නෙක් හෝ, ඒ ධර්‍මය අසයි. හෙතෙම ඒ ධර්‍මය අසා තථාගතයන් වහන්සේ කෙරෙහි ඇදහීම ලබයි. හෙතෙම ඒ ඇදහීමෙන් ගිහිගෙයි විසීම හිරිහැර සහිතය, පව්වලට මගය, පැවිද්ද එලිමහනෙකි, ගිහිගෙයි වසන්නහු විසින් ඒකාන්තයෙන් සම්පූර්‍ණ, ඒකාන්තයෙන් පිරිසිදු, ලියවන ලද සක්ගෙඩියක් මෙන් පිරිසිදු බ්‍රහ්මචර්‍ය්‍යයෙහි හැසිරෙන්නට නොහැකියයි මෙසේ කල්පනා කරයි. ’මම කෙස්, රැවුල් බා, කහ රෙදි හැඳ, ගිහිගෙන් නික්ම අනගාරික සස්නෙහි පැවිදිවන්නේ නම් හොඳය’ යි සිතයි.

’’හෙතෙම මෑත භාගයෙහි ස්වල්පවූ හෝ වස්තුව හැර, මහත්වූ හෝ වස්තුව හැර, ස්වල්පවූ හෝ ඤාති සමූහයා අත්හැර, මහත්වූ හෝ ඤාති සමුහයා අත්හැර, හිසකෙස්, රැවුල් බා, කහ රෙදි හැඳ, ගිහිගෙන් නික්ම, අනගාරිය නම් ශාසනයෙහි පැවිදිවෙයි. හෙතෙම මෙසේ පැවිදිවූයේම (මෙතැනට ගතයුතු චුල්ල-මධ්‍යම-මහා ශීලයන් දික්සඟි සාමඤ්ඤඵල සූත්‍රයේ 102 පිටේ 30 ඡේදය යෙදිය යුතුයි.)

’’හෙතෙම කයින් පරිහරණය කරණ සිවුරින්, කුසින් පරිහරණය කරණ පිණ්ඩපාතයෙන් සතුටුවූයේ වේ. යම් යම් තැනකට යන්නේ, පාත්‍ර සිවුරු රැගෙනම යයි. යම් සේ පියාපත් ඇති පක්‍ෂිතෙම යම් යම් තැනකට පියාඹයිද, පියාපත් බර ඇත්තේම පියාඹා යේද, එසේ (පාත්‍ර සිවුරු) රැගෙනම යයි. මහණතෙම එසේම කයින් පරිහරණය කරණ සිවුරෙන්ද, කුසින් පරිහරණය කරණ පිණ්ඩපාතයෙන් සතුටුවූයේ වේ. යම් යම් තැනකට යයිද, රැගෙනම යයි. හෙතෙම මේ ආර්‍ය්‍ය ශීල රාශියෙන් යුක්තවූයේ වේ. අධ්‍යාත්මයෙහි නිවැරදි සැපක් විඳියි. ( මෙතැනට සාමඤ්ඤඵල සූත්‍රයේ 45, 46 ඡේද යොදාගන්න.)

’’හෙතෙම මේ ආර්‍ය්‍ය ශීලස්ඛන්‍ධයෙන් යුක්තවූයේ, මේ ආර්‍ය්‍ය ඉන්ද්‍රිය සංවරයෙන් යුක්තවූයේ, මේ ආර්‍ය්‍ය සිහියෙන් හා සම්‍යක් ප්‍රඥාවෙන් යුක්තවූයේ, වනයක්, රුක් මුලක්, පර්‍වතයක්, කඳුරක්, පර්‍වත ගුහාවක්, සොහොනක්, වනබිමක්, එළිමහනක්, පිදුරු ගොඩක් යන විවේක සෙනසුනක් ආශ්‍රය කරයි. හෙතෙම අරණ්‍යයට ගියේ හෝ, වෘක්‍ෂමූලයකට ගියේ හෝ, හිස් ගෙයකට ගියේ හෝ පලක් බැඳ, ශරීරය ඎජුව තබා සිහිය ඉදිරිපත්කොට පලක් බැඳ වාඩි වෙයි.

හෙතෙම පඤ්චස්කන්‍ධ ලෝකයෙහි තෘෂ්ණාව අත්හැර පහවූ තෘෂ්ණා ඇති සිතින් වාසය කරයි. සිත තෘෂ්ණාවෙන් පිරිසිදු කරයි. ක්‍රොධය, ද්වේෂය අත්හැර ව්‍යාපාදයට නොපැමිණි සිතින් වාසය කරයි. සියලු ප්‍රාණීන් භූතයන්ට හිතයෙන් අනුකම්පාවෙන් වාසය කරයි. ව්‍යාපාදයෙන්, ද්වේෂයෙන් සිත පිරිසිදු කරයි. සිතේ, කයේ නිදිබරකම අත්හැර පහවූ ථීනම්ද්‍ධ ඇතිව ආලෝක සංඥාව ඇත්තේ, සිහි ඇතිව, සම්‍යක් ප්‍රඥාවෙන් යුක්තව, වාසය කරයි. සිතේ, කයේ නිදිබර ගතියෙන් සිත පිරිසිදු කරයි.

’’එක අරමුණක සිත නොපවත්නා බැවින්ද, කළ, නොකළ සුචරිත දුශ්චරිතයන්හි කුකුස අත්හැර, උද්‍ධච්ච නොවූයේ, ආධ්‍යාත්මයෙහි නොවූයේ, සංසිඳුනු සිත් ඇත්තේ, විසුරුණු බැවින් හා කුකුසෙන් සිත පිරිසිදු කරයි. සැකය අත්හැර, තරණය කළ සැක ඇතිව, කුශල ධර්මයන්හි කෙසේදැයි කථා නැතිව වාසය කරයි. සැකයෙන් සිත පිරිසිදු කරයි. හෙතෙම සිතට කිළිටිවූ, ප්‍රඥාව දුර්‍වල කරණ මේ පඤ්ච නීවරණ ධර්මයන් අත්හැර, කාමයන්ගෙන් වෙන්ව, විතර්‍ක, විචාර සහිත, විවේකයෙන් උපන් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයි. උපාලිය, ඒ කුමකැයි හඟින්නේද? මේ වාසය පෙර වාසයන්ට වඩා අතිශයින් යහපත්ද, ප්‍රණීතද නොවන්නේද?’’ - ’’ස්වාමීනි, එසේය.’’

’’උපාලිය, මාගේ ශ්‍රාවකයෝ මේ ධර්මයද තමා කෙරෙහි ලා දකින්නේ, වනයෙහි වනගත ප්‍රාන්ත සෙනසුන් ආශ්‍රය කරත්. යම්තාක් නොපැමිණි ස්වාර්ත්‍ථය ඇත්තෝ වාසය නොකරත්ද, ඒතාක්ය.

’’උපාලිය, නැවතද මහණතෙම විතර්‍ක විචාරයන්ගේ සන්සිඳීමෙන් දෙවෙනි ධ්‍යානයට පැමිණ වාසය කෙරේද-

’’උපාලිය, නැවතද මහණතෙම ප්‍රීතිය පහවීමෙන් තුන්වෙනි ධ්‍යානයට පැමිණ වාසය කෙරේද-

’’උපාලිය, නැවතද මහණතෙම සැපයාගේ පහවීමෙන්ද සතරවෙනි ධ්‍යානයට පැමිණ වාසය කෙරේද-

’’උපාලිය, නැවතද මහණතෙම සර්‍ව ප්‍රකාරයෙන් රූප සංඥාවන්ගේ ඉක්මවීමෙන්, ක්‍රොධ සංඥාවන්ගේ අස්තයට යැවීමෙන්, නානාත්ම සංඥාවන්ගේ නොමෙනෙහි කිරීමෙන්, ආකාශය අනන්තයයි ආකාශානඤ්චායතනයට පැමිණ වාසය කෙරේද-

’’ඉදින් උපාලිය, මේ සමාපත්ති විහරණයෙන් යුතුව වාසය කරන්නාවූ ඒ භික්‍ෂුවට රූප සහගත සංඥා මනසිකාරයෝ පවතිත්ද, ඕහට එය ආබාධයක් වෙයි. උපාලිය, යම් සේ සුවපත් වූවහුට දුක් උපදින්නේද, ඒතාක් ආබාධය පිණිස පවතීද, එසේම ඕහට ඒ රූප සහගත සංඥා මනසිකාරයෝ පවතිත්ද. ඕහට එය ආබාධයක් වෙයි. උපාලිය, යම් ඒ ආබාධයක් වේද, භාග්‍යවතුන් වහන්සේ විසින් එය දුක්යයි වදාරණ ලදී. උපාලිය, මේ ක්‍රමයෙන්ද නිවණ සැප වූවක් සේ දත යුතුයි.

’’නැවතද අනිකක් කියමි. උපාලිය, මහණතෙම සර්‍වප්‍රකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්ම, විඤ්ඤාණය අනන්තයයි, විඤ්ඤාණඤ්චායතනයට පැමිණ වෙසේද, උපාලිය, ඉදින් මේ සමවත් විහරණයෙන් යුතුව වාසය කරන්නාවූ ඒ භික්‍ෂුවට ආකාසානඤ්චායතන සහගත සංඥා මනසිකාරයෝ පවතිත්ද, ඕහට එය ආබාධයක් වෙයි. උපාලිය, සුවපත් වූවහුට දුක උපදින්නේද, ඒතාක් යම් සේ ආබාධය පිණිස පවතීද, එසේම ඕහට ඒ ආකාසානඤ්චායතන සංඥා මනසිකාරයෝ පවතිත්ද. ඕහට එය ආබාධයක් වෙයි. උපාලිය, යම් ඒ ආබාධයක් වේද, භාග්‍යවතුන් වහන්සේ විසින් එය දුක්යයි වදාරණ ලදී. උපාලිය, මේ ක්‍රමයෙන්ද නිවණ සැප වූවක් සේ දත යුතුයි.

’’ උපාලිය, නැවතද අනිකක් කියමි. උපාලිය, මහණතෙම සර්‍වප්‍රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්ම කිසිවක් නැත්තේයයි ආකිඤ්චඤ්ඤායතනට පැමිණ වෙසේද, ඉදින් උපාලිය, මේ සමවත් විහරණයෙන් යුතුව වාසය කරන්නාවූ භික්‍ෂුවකට විඤ්ඤාණාඤ්චායතන සහගත සංඥා මනසිකාරයෝ පවතිත්ද, ඕහට එය ආබාධයක් වේ. උපාලිය, සුවපත් වූවහුට දුක් උපදින්නේද, ඒතාක් ආබාධය පිණිස යම් සේ පවතීද, එසේම ඕහට ඒ විඤ්ඤාණඤ්චායතන සහගත සංඥා මනසිකාරයෝ පවතිත්ද. ඕහට එය ආබාධයක් වෙයි. උපාලිය, යම් ඒ ආබාධයක් වේද, භාග්‍යවතුන් වහන්සේ විසින් එය දුක්යයි වදාරණ ලදී. උපාලිය, මේ ක්‍රමයෙන්ද නිවණ සැප වූවක් සේ දත යුතුයි.

’’ උපාලිය, නැවතද අනිකක් කියමි. උපාලිය, මහණතෙම සර්‍වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතන සමාපත්තිය ඉක්ම නෙවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්තියට පැමිණ වෙසේද, උපාලිය, ඉදින් මේ සමවත් විහරණයෙන් යුතුව වාසය කරන්නාවූ ඒ භික්‍ෂුවට ආකිඤ්චඤ්ඤායතන සහගත සංඥා මනසිකාරයෝ පවතිත්ද, ඕහට එය ආබාධයක් වේ. උපාලිය, සුවපත් වූවහුට දුක් උපදින්නේද, ඒතාක් ආබාධය පිණිස යම් සේ පවතින්නේද, එසේම ඕහට ඒ ආකිඤ්චඤ්ඤායතන සහගත සංඥා මනසිකාරයෝ පවතිත්ද. ඕහට එය ආබාධයක් වෙයි. උපාලිය, යම් ඒ ආබාධයක් වේද, භාග්‍යවතුන් වහන්සේ විසින් එය දුක්යයි වදාරණ ලදී. උපාලිය, මේ ක්‍රමයෙන්ද නිවණ සැප වූවක් සේ දත යුතුයි.

’’ උපාලිය, නැවතද අනිකක් කියමි. උපාලිය, මහණතෙම සර්‍වප්‍රකාරයෙන් නෙවසඤ්ඤානාසඤ්ඤාතනය ඉක්ම සඤ්ඤා වෙදයිත නිරෝධයට පැමිණ වෙසේද, ප්‍රඥාවෙන් දැක ඔහුගේ ආශ්‍රව පරික්‍ෂිණයෝ (කෙලෙස් නැතිකිරීම්) වෙත්ද, උපාලිය, මේ ක්‍රමයෙන්ද මෙසේ නිවණ සැපවූසේ දතයුතුය’’ යි වදාළ සේක.

’’උපාලිය, ඒ කුමකැයි හඟින්නේද? පූර්‍ව විහරණයන්ට වඩා මේ විහරණය අතිශයින් යහපත්ද, අතිශයින් ප්‍රණීතද නොවන්නේද?’’ - ’’එසේය, ස්වාමීනි.’ ’’උපාලිය, මාගේ ශ්‍රාවකයෝ මෙයද තමා කෙරෙහි දකිමින් වනයෙහි වනගත ප්‍රාන්ත සෙනසුන් ආශ්‍රය කරත්. යම්තාක් නොපැමිණි ස්වාර්ත්‍ථය ඇතිව වාසය කරත්ද, ඒතාක්ය. උපාලිය, දැන් ඔබ සංඝයා කෙරෙහි වාසය කරව. තොපට සංඝයා අතුරෙහි වාසය කිරීමෙන් පහසු වන්නේය.’’