අඞ්ගුත්තරනිකායො

එකාදසක නිපාතය

1. නිස්සය වර්‍ගය

10. චොරනිවාප සූත්‍රය

එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර චොරනිවාප නම්වූ පිරිවැජි ආරාමයෙහි වැඩ වසන සේක. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ, ’මහණෙනි,’ කියා භික්‍ෂූන්ට අඬගා වදාළ සේක. ’කිමෙක්ද? පින්වතුන් වහන්සැ’ යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

’’මහණෙනි, ධර්‍ම තුනකින් යුක්තවූ භික්‍ෂු තෙම ඒකාන්ත නිෂ්ටා ඇත්තේ, ඒකාන්ත යෝගක්‍ෂෙම (බැඳුම්වලින් නිදහස) ඇත්තේ, ඒකාන්ත බ්‍රහ්මචර්‍ය්‍යා ඇත්තේ, ඒකාන්ත කෙළවර ඇත්තේ, දෙවි මිනිසුන්ට උතුම්වූයේ වෙයි. කවර ධර්‍ම තුනකින්ද යත්? හික්මී අවසන් ශීලස්කන්‍ධයෙන්ද, හික්මී අවසන් සමාධි ස්කන්‍ධයෙන්ද, හික්මී අවසන් ප්‍රඥාස්කන්‍ධයෙන්ද යන තුනෙනි. මහණෙනි, ධර්‍ම තුනකින් යුක්තවූ භික්‍ෂු තෙම ඒකාන්ත නිෂ්ටා ඇත්තේ, ඒකාන්ත යෝගක්‍ෂෙම (බැඳුම්වලින් නිදහස) ඇත්තේ, ඒකාන්ත බ්‍රහ්මචර්‍ය්‍යා ඇත්තේ, ඒකාන්ත කෙළවර ඇත්තේ, දෙවි මිනිසුන්ට උතුම්වූයේ වෙයි.

’’මහණෙනි, අනිකුදු ධර්‍ම තුනකින් යුක්තවූ භික්‍ෂුතෙම ඒකාන්ත නිෂ්ටා ඇත්තේ, ඒකාන්ත යෝගක්‍ෂෙම ඇත්තේ, ඒකාන්ත බ්‍රහ්මචර්‍ය්‍යා ඇත්තේ, ඒකාන්ත පර්‍ය්‍යවසාන (කෙළවර) ඇත්තේ, දෙවි මිනිසුන්ට ශ්‍රෙෂ්ඨවූයේ වෙයි. කවර ධර්‍ම තුනකින්ද යත්? ඎද්‍ධි ප්‍රාතිහාර්‍ය්‍යයෙන්ද, ආදේශනා (ප්‍රකාශකිරීමේ)ප්‍රාතිහාර්‍ය්‍යයෙන්ද, අනුශාසනී ප්‍රාතිහාර්‍ය්‍යයෙන්ද, යන තුනෙනි. මහණෙනි, මේ ධර්‍ම තුනකින් යුක්තවූ භික්‍ෂුතෙම ඒකාන්ත නිෂ්ටා ඇත්තේ, ඒකාන්ත යෝගක්‍ෂෙම ඇත්තේ, ඒකාන්ත බ්‍රහ්මචර්‍ය්‍යා ඇත්තේ, ඒකාන්ත පර්‍ය්‍යවසාන (කෙළවර) ඇත්තේ, දෙවි මිනිසුන්ට ශ්‍රෙෂ්ඨවූයේ වෙයි.

’’මහණෙනි, අනිකුදු ධර්‍ම තුනකින් යුක්තවූ භික්‍ෂුතෙම ඒකාන්ත නිෂ්ටා ඇත්තේ, ඒකාන්ත යෝගක්‍ෂෙම ඇත්තේ, ඒකාන්ත බ්‍රහ්මචර්‍ය්‍යා ඇත්තේ, ඒකාන්ත පර්‍ය්‍යවසාන ඇත්තේ, දෙවි මිනිසුන්ට ශ්‍රෙෂ්ඨවූයේ වෙයි. කවර තුනකින්ද යත්? සම්‍යක් දෘෂ්ටියෙන්ද, සම්‍යක් ඥානයෙන්ද, සම්‍යක් විමුක්තියෙන්ද යන තුනෙනි. මහණෙනි, මේ ධර්‍ම තුනකින් යුක්තවූ භික්‍ෂුතෙම ඒකාන්ත නිෂ්ටා ඇත්තේ, ඒකාන්ත යෝගක්‍ෂෙම ඇත්තේ, ඒකාන්ත බ්‍රහ්මචර්‍ය්‍යා ඇත්තේ, ඒකාන්ත පර්‍ය්‍යවසාන ඇත්තේ, දෙවි මිනිසුන්ට ශ්‍රෙෂ්ඨවූයේ වෙයි.

’’මහණෙනි, ධර්‍ම දෙකකින් යුක්තවූ භික්‍ෂුතෙම ඒකාන්ත නිෂ්ටා ඇත්තේ, ඒකාන්ත යෝගක්‍ෂෙම ඇත්තේ, ඒකාන්ත බ්‍රහ්මචර්‍ය්‍යා ඇත්තේ, ඒකාන්ත පර්‍ය්‍යවසාන ඇත්තේ, දෙවි මිනිසුන්ට ශ්‍රෙෂ්ඨවූයේ වෙයි. කවර ධර්‍ම දෙකකින්ද යත්? විද්‍යායෙන්ද, චරණයෙන්ද යන දෙකෙනි. මහණෙනි, මේ ධර්‍ම දෙකකින් යුක්තවූ භික්‍ෂුතෙම ඒකාන්ත නිෂ්ටා ඇත්තේ, ඒකාන්ත යෝගක්‍ෂෙම ඇත්තේ, ඒකාන්ත බ්‍රහ්මචර්‍ය්‍යා ඇත්තේ, ඒකාන්ත පර්‍ය්‍යවසාන ඇත්තේ, දෙවි මිනිසුන්ට ශ්‍රෙෂ්ඨවූයේ වෙයි.

’’මහණෙනි, සනත්කුමාර නම්වූ බ්‍රහ්මයා විසින්ද මේ ගාථාව කියන ලදී.

’’ජන සමූහයා අතර යම් කෙනෙක ගොත්‍ර නාමය අස්වන්නාහුද, ඔවුන්ගෙන් ක්‍ෂත්‍රිය තෙමෙ ශ්‍රෙෂ්ඨ වේ. යමෙක් අෂ්ටවිද්‍යාවෙන් හා පසලොස් චරණ ධර්මයෙන් යුක්තවේද, දෙවි මිනිසුන් අතර හෙතෙම උතුම් වේය’’ යි.

’’මහණෙනි, ඒ මේ ගාථාව වනාහි සනත්කුමාර නම්වූ බ්‍රහ්මයා විසින් යහපත්කොට කියන ලද්දීය. අයහපත්කොට කියන ලද්දී නොවෙයි. යහපත්කොට ගයන ලද්දීය. අයහපත්කොට ගයන ලද්දී නොවෙයි. අත්‍ර්‍ථයෙන් යුක්තවූවාය. අනත්‍ර්‍ථයෙන් යුක්තවූවක් නොවෙයි. මා විසින් අනුමත කරණ ලද්දීය. මහණෙනි, මමද මෙසේ කියමි.

’’ජන සමූහයා අතර කෙනෙක් ගොත්‍ර නාමය අස්වන්නාහුද, ක්‍ෂත්‍රියතෙම ශ්‍රෙෂ්ඨ වේ. යමෙක් අෂ්ට විද්‍යාවෙන් හා පසලොස් චරණ ධර්‍මයන්ගෙන් යුක්තවේද, හෙතෙම දෙවි මිනිසුන් අතර ශ්‍රෙෂ්ටවේයයි වදාල සේක.

පළමුවෙනි නිශ්‍රය වර්‍ගය නිමි.