අඞ්ගුත්තරනිකායො

එකාදසක නිපාතය

1. නිස්සය වර්‍ගය

9. ආජානීයඣායින සූත්‍රය

’’එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ නාදික නම් ගම ගිජ්ඣාවසථ නම් ප්‍රාසාදයෙක්හි (ගඩොළු ගෙයක) වැඩ වසන සේක. එකල්හි වනාහි ආයුෂ්මත් සන්‍ධ නම් ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත්පස්ව හුන්නේය. එකත්පස්ව හුන්නාවූම ආයුෂ්මත් සන්‍ධ ස්ථවිරයන්ට මෙය වදාළ සේක.

’’සන්‍ධය, කාරණා කාරණා දත් ආජානීය සෛන්‍ධවයකු සිතන පරිද්දෙන් වනාහි සිතව. කොටළුවෙකු සිතන පරිද්දෙන් නොසිතව. සන්‍ධය, කොටළුවාගේ සිතීම කෙසේ නම් වේද,

’’සන්‍ධය, අස්සඛඵංඞ්කතෙම (කොටළුවා) වනාහි යවවී ඔරුව සමීපයෙහි බඳනා ලද්දේ, ’යව ඇත, යව ඇතැ’ යි සිතයි. ඊට හේතු කවරේද? සන්‍ධය, යවවී ඔරුව සමීපයෙහි බඳනා ලද, කොටළුවාට මෙබඳු සිතක් නොමවේ. (අද මට අශ්වයන් හික්මවන අස් ගොව්වා කිනම් කාරණයක් කරන්නේද? මම ඔහුට කුමක් විරුද්‍ධව කරම්දැයි කියාය. හෙතෙම ඔරුව සමීපයෙහි බඳනා ලද්දේ, ’යව ඇත, යව ඇතැ’ යි සිතාද?

’’සන්‍ධය, මෙපරිද්දෙන්ම මේ ශාසනයෙහි ඇතැම් මිනිස් කොටළුවෙක් තෙම වනයට ගියේද, ගසක් මුලට ගියේද, හිස් ගෙයතට ගියේද, කාම රාගයෙන් පෙළුණාවූ, කාම රාගයෙන් මඩනා ලද සිතින් යුක්තව වාසය කරයි. උපන්නාවූද කාම රාගයාගේ දුරු කිරීම තත්වූ පරිද්දෙන් නොදනියි. හෙතෙම කාම රාගයම ඇතුළත්කොට සිතයි. නොයෙක් ආකාරයෙන් සිතයි. නිරතුරු සිතයි. නැවත නැවත සිතයි. ව්‍යාපාදයෙන් මඩනා ලද සිතින් යුක්තව වාසය කරයි. ථීනම්ද්‍ධයෙන් මඩනා ලද සිතින් යුක්තව වාසය කරයි. උද්‍ධච්චකුක්කුච්චයෙන් මඩනා ලද සිතින් යුක්තව වාසය කරයි. විචිකිච්ඡාවෙන් පෙළුනාවූ, විචිකිච්ඡාවෙන් මඩනා ලද සිතින් යුක්තව වාසය කරයි. උපන්නාවූ විචිකිච්ඡාවගේද, දුරුකිරීම තත්වූ පරිද්දෙන් නොදනියි. හෙතෙම විචිකිච්ඡාවට ඇතුළත්කොට සිතයි. නොයෙක් ආකාරයෙන් සිතයි. නිරන්තරයෙන් සිතයි. නැවත නැවත සිතයි. හෙතෙම පෘථිවියද ඇසුරුකොට සිතයි. ජලයද ඇසුරුකොට සිතයි. තෙජසද ඇසුරුකොට සිතයි. වාතයද ඇසුරුකොට සිතයි. ආකාශානඤ්චායතනයද ඇසුරුකොට සිතයි. විඤ්ඤාණඤ්චායතනයද ඇසුරුකොට සිතයි. ආකිඤ්චඤ්ඤායතනයද ඇසුරුකොට සිතයි. නෙවසඤ්ඤානාසඤ්ඤායතනයද ඇසුරුකොට සිතයි. මෙලොව උපදනා ධ්‍යානයද ඇසුරුකොට සිතයි. පරලොව උපදනා ධ්‍යානයද ඇසුරුකොට සිතයි. දක්නා ලදය, අසන ලදය, ස්පර්‍ශ කරණ ලදය, දැනගන්නා ලදය, පැමිණෙන ලදය, සොයන ලදය, සිතින් අනුව හැසිරෙන ලදය, යන මේ යමකුත් ඇද්ද, එයද ඇසුරුකොට සිතයි. සන්‍ධය, මෙසේ වනාහි මිනිස් කොටළුවාගේ සිතීම වේ.

’’සන්‍ධය, කෙසේ නම් ආජානීය සෛන්‍ධවයාගේ සිතීම වේද? සන්‍ධය, යහපත්වූ ආජානීය අශ්ව තෙම වනාහි යවවී ඔරුව සමීපයෙහි බඳනා ලද්දේ, ’යව ඇත, යව ඇතැ’ යි නොසිතයි. ඊට හේතු කවරේද? සන්‍ධය, යවවී ඔරුව සමීපයෙහි බඳනා ලද යහපත් ආජානීය අශ්වයාට මෙබඳු සිතක් වෙයි. ’අද මට අශ්වදම්මසාරථී (අසුන් හික්මවන්නා) තෙම කිනම් කාරණයක් කරන්නේද, මම ඔහුට කිනම් ප්‍රතික්‍රියාවක් කරම්ද’ කියායි. හෙතෙම ඔරුව සමීපයෙහි බඳනා ලද්දේ, ’යව ඇත, යව ඇතැ’ යි නොසිතයි. සන්‍ධය, යහපත්වූ ආජානීය අශ්වතෙම වනාහි කය යම්සේද, බැඳීම යම් සේද, පිරිහීම යම් සේද, අපරාධය යම් සේද, එපරිද්දෙන් කෙවිටි මෙහෙයීම දකියිද,

’’සන්‍ධය, එපරිද්දෙන්ම යහපත්වූ පුරුෂාජානීය තෙම වනයට ගියේද, ගසක් මුලකට ගියේද, හිස් ගෙයකට ගියේද, කාම රාගයෙන් (කැමැත්තට ඇලීමෙන්) පෙළුනාවූ, කාම රාගයෙන් මඩනා ලද සිතින් යුක්තව වාසය නොකරයි. උපන්නාවූද කාමරාගයාගේ දුරුකිරීම තත්වු පරිද්දෙන්ම දැනගනියි. ව්‍යාපාදයෙන් (ක්‍රෝධයෙන්) මඩනා ලද සිතින් යුක්තව වාසය නොකරයි. ථීනම්ද්‍ධයෙන් (අලසකමින් හා නිදිමතින්) මඩනා ලද සිතින් යුක්තව වාසය නොකරයි. උද්‍ධච්චකුක්කුච්චයෙන් (සිත නොසන්සුන්කමින් හා පසුතැවිල්ලෙන්) මඩනා ලද සිතින් යුක්තව වාසය නොකරයි. විචිකිච්ඡාවෙන් (සැකයෙන්) පෙළුනාවූ, විචිකිච්ඡාවෙන් මඩනා ලද සිතින් යුක්තව වාසය නොකරයි. උපන්නාවූද විචිකිච්ඡාවගේ දුරුකිරීම තත්වූ පරිද්දෙන් දැන ගනියි.

’’හෙතෙම පෘථිවිය ඇසුරුකොට නොම සිතයි. ජලය ඇසුරුකොට නොසිතයි. තෙජස ඇසුරුකොට නොසිතයි. වාතය ඇසුරුකොට නොසිතයි. ආකාශානඤ්චායතනය ඇසුරුකොට නොසිතයි. විඤ්ඤානඤ්චායතනය ඇසුරුකොට නොසිතයි. ආකිඤ්චඤ්ඤායතනය ඇසුරුකොට නොසිතයි. නෙවසඤ්ඤානාසඤ්ඤායතනය ඇසුරුකොට නොසිතයි. මෙලොව උපදනා ධ්‍යානය ඇසුරුකොට නොසිතයි. පරලොව උපදනා ධ්‍යානය ඇසුරුකොට නොසිතයි. දක්නා ලදය, අසන ලදය, ස්පර්‍ශ කරණ ලදය, දැනගන්නා ලදය, පැමිණෙන ලදය, සොයන ලදය, සිතින් අනුව හැසිරෙන ලදය, යන මේ යමකුත් ඇද්ද, එයද ඇසුරුකොට නොසිතයි. එතකුදු වුවත් සිතන්නේද වෙයි. සන්‍ධය, මෙසේ සිතන්නාවූද යහපත්වූ පුරුෂාජානීයාට වනාහි ශක්‍රයා සහිතවූ, බ්‍රහ්මයා සහිතවූ, ප්‍රජාපති සහිතවූ, දෙවියෝ දුර සිටම නමස්කාර කරත්. ’යමකුන් ඇසුරුකොට ධ්‍යාන කරන්නෙහිදැයි, යම්බඳුවූ නුඹ වහන්සේ ගේ ධ්‍යානය නොදනිම්ද, පුරුෂාජානීයයන් වහන්ස, ඒ ඔබ වහන්සේට අපගේ නමස්කාරය වේවා. පුරුෂොත්තමයන් වහන්ස, නුඹ වහන්සේට අපගේ නමස්කාරය වේවා’’ කියායි.

මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් සන්‍ධ ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. ’ස්වාමීනි කෙසේ නම් ධ්‍යාන කරන්නාවූ යහපත්වූ පුරුෂාජානීය තෙම ධ්‍යාන කෙරේද, හෙතෙම පෘථිවිය ඇසුරුකොට නොම ධ්‍යාන කෙරේද, ජලය ඇසුරුකොට ධ්‍යාන නොකෙරේද, තෙජස ඇසුරුකොට ධ්‍යාන නොකෙරේද, වාතය ඇසුරුකොට ධ්‍යාන නොකෙරේද, ආකාශානඤ්චායතනය ඇසුරුකොට ධ්‍යාන නොකෙරේද, විඤ්ඤානඤ්චායතනය ඇසුරුකොට ධ්‍යාන නොකෙරේද, ආකිඤ්චඤ්ඤායතනය ඇසුරුකොට ධ්‍යාන නොකෙරේද, නෙවසඤ්ඤානාසඤ්ඤායතනය ඇසුරුකොට ධ්‍යාන නොකෙරේද, මෙලොව උපදනා ධ්‍යානය ඇසුරුකොට ධ්‍යාන නොකෙරේද, පරලොව උපදනා ධ්‍යානය ඇසුරුකොට ධ්‍යාන නොකෙරේද, දක්නා ලදය, අසන ලදය, ස්පර්‍ශ කරණ ලදය, දැනගන්නා ලදය, පැමිණෙන ලදය, සොයන ලදය, සිතින් අනුව හැසිරෙන ලදය, යන මේ යමකුත් ඇද්ද, එයද ඇසුරුකොට ධ්‍යාන නොකෙරේද, එතකුදු වුවත් ධ්‍යාන කරන්නේ වේද, ස්වාමීනි, කෙසේ ධ්‍යාන කරන්නාවූ යහපත්වූ පුරුෂාජානීයාට වනාහි ශක්‍රයා සහිතවූ, බ්‍රහ්මයා සහිතවූ, ප්‍රජාපති සහිතවූ, දෙවියෝ දුර සිටම නමස්කාර කෙරෙද්ද, ’යමකුන් ඇසුරුකොට ධ්‍යාන කරන්නෙහියයි, යම්බඳුවූ ඔබ වහන්සේගේ ධ්‍යානය නොදනිම්ද, පුරුෂාජානීයය, ඒ නුඹ වහන්සේට අපගේ නමස්කාරය වේවා. පුරුෂොත්තමය, ඔබට නමස්කාරය වේවා’’ කියායි.

’’සන්‍ධය, මේ ශාසනයෙහි යහපත්වූ පුරුෂාජානීයයාහට පෘථිවියෙහි පෘථිවි සංඥා තොමෝ ප්‍රකට වේ. ජලයෙහි ජලය යන සංඥා තොමෝ ප්‍රකට වේ. තෙජසෙහි තේජස් යන සංඥා තොමෝ ප්‍රකට වේ. වායුවෙහි වායෝ යන සංඥා තොමෝ ප්‍රකට වේ. ආකාශානඤ්චායතනයෙහි ආකාශානඤ්චායතන සංඥා තොමෝ ප්‍රකට වේ. විඤ්ඤානඤ්චායතනයෙහි විඤ්ඤානඤ්චායතන සංඥා තොමෝ ප්‍රකට වේ. ආකිඤ්චඤ්ඤායතනයෙහි ආකිඤ්චඤ්ඤායතන සංඥා තොමෝ ප්‍රකට වේ. නෙවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි නෙවසඤ්ඤානාසඤ්ඤායතන සංඥා තොමෝ ප්‍රකට වේ. මෙලොව උපදනා ධ්‍යානයෙහි මෙලොව උපදනා ධ්‍යාන සංඥා තොමෝ ප්‍රකට වේ. පරලොව උපදනා ධ්‍යානයෙහි පරලොව උපදනා ධ්‍යාන සංඥා තොමෝ ප්‍රකට වේ. දක්නා ලදය, අසන ලදය, ස්පර්‍ශ කරණ ලදය, දැනගන්නා ලදය, පැමිණෙන ලදය, සොයන ලදය, සිතින් අනුව හැසිරෙන ලදය, යන මේ යමකුත් ඇද්ද, එහිදු සංඥා තොමෝ ප්‍රකට වේ.

’’සන්‍ධය, මෙසේ ධ්‍යාන කරන්නාවූම යහපත්වූ පුරුෂාජානීය තෙම පෘථිවිය ඇසුරුකොට නොම ධ්‍යාන කරයි. ජලය ඇසුරුකොට ධ්‍යාන නොකරයි. තෙජස ඇසුරුකොට ධ්‍යාන නොකරයි. වාතය ඇසුරුකොට ධ්‍යාන නොකරයි. ආකාශානඤ්චායතනය ඇසුරුකොට ධ්‍යාන නොකරයි. විඤ්ඤානඤ්චායතනය ඇසුරුකොට ධ්‍යාන නොකරයි. ආකිඤ්චඤ්ඤායතනය ඇසුරුකොට ධ්‍යාන නොකරයි. නෙවසඤ්ඤානාසඤ්ඤායතනය ඇසුරුකොට ධ්‍යාන නොකරයි. මෙලොව උපදනා ධ්‍යානය ඇසුරුකොට ධ්‍යාන නොකරයි. පරලොව උපදනා ධ්‍යානය ඇසුරුකොට ධ්‍යාන නොකරයි. දක්නා ලදය, අසන ලදය, ස්පර්‍ශ කරණ ලදය, දැනගන්නා ලදය, පැමිණෙන ලදය, සොයන ලදය, සිතින් අනුව හැසිරෙන ලදය, යන මේ යමකුත් ඇද්ද, එයද ඇසුරුකොට ධ්‍යාන නොකරයි. එතකුදු වුවත් ධ්‍යාන කරන්නේද වෙයි. සන්‍ධය, මෙසේ ධ්‍යාන කරන්නාවූද යහපත්වූ පුරුෂාජානීයාට වනාහි ශක්‍රයා සහිතවූ, බ්‍රහ්මයා සහිතවූ, ප්‍රජාපතියා සහිතවූ, දෙවියෝ දුර සිටම නමස්කාර කරත්.

’යමකුන් ඇසුරුකොට ධ්‍යාන කරන්නෙහියයි, යම්බඳුවූ ඔබගේ ධ්‍යානය නොදනිමුද, පුරුෂාජානීයය, ඒ ඔබට නමස්කාර වේවා. පුරුෂොත්තමය, ඒ ඔබ නමස්කාර වේවා’’.