අංගුත්තර නිකාය

දුක නිපාතය

පළමුවෙනි පණ්ණාසකය

1. කම්මකාරණ වර්ගය

1. වජ්ජ සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී, එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසයකරන සේක. එකල්හි භාග්‍යවතුන්වහන්සේ ‘මහණෙනියි’ කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූන් භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ. එවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.

2. “මහණෙනි, මේ දෙදෙන දොෂ (අපරාධ) යෝ වෙත්. කවර දෙදෙනෙක්ද යත්, මේ ආත්මයෙහි උපදින විපාක ඇති (දෘෂ්ටධර්මික) දොෂයද පරලෙව්හි උපදින විපාක ඇති (සම්පරායික) දොෂයද (යන දෙකයි) මහණෙනි, දෘෂ්ටධර්මික දොෂය කවරේද?

3. “මහණෙනි, මෙලොව රජවරු (නිලධාරීහු) අපරාධකාරීවූ සොරෙකු අල්වාගෙන නොයෙක් කම්කටුළු කරවත්නම් (එබඳු සොරා) ඇතැමෙක් දකී.

4. “(රාජපුරුෂයෝ ඔහුට) කසවලින්ද තළත්, වේවැල් වලින්ද තළත්, මුගුරුවලින්ද තළත්, (ඔහුගේ) අතද සිඳිත්, පයද කපත්, අත්පාද සිඳිත්, කණද කපත්, නාසයද කපත්, කන් නාසා දෙකමද කපත්, හිස්කබල උපුටා රත්වූ යගුළි හිස තුළ බහාලීමද කරත්, හිස (හක්ගෙඩියක්) මෙන් මුඩුකිරීමද කරත්. මුඛය විවෘතකොට ඇතුළෙහි පහන් දැල්වීමද කරත්. මුලු සිරුර තෙල් රෙදිවලින් වෙලා ගිනි දැල්වීමද කරත්, අතෙහි තෙල් රෙදි වෙළා ඒ පහනක් මෙන් දැල්වීමද කරත්, බෙල්ල පටන් ගොප් ඇටය දක්වා හම උපුටා යොතින් බැඳ ඇදීමද කරත්, බෙල්ල පටන් කටිය දක්වාද කටිය පටන් ගොප් මස දක්වාද සමඋගුළුවා වැහැරී සිවුරක් සේ පැළඳවීමද කරත්, දෙ දණ දෙ වැලමිටිවල යකඩ වලලු දමා යවුලෙන් බිම සිටුවා ගින්නෙන් පිරිවරාලීමද කරත්, දෙපස මුවැති බිලියෙන් ගසා සම් නහර උපුටාලීමද කරත්, මුලු සිරුර කහවණු පමණට කැපීමද කරත්, සිරුර ආයුධයෙන් කපා ඒ ඒ තන්හි කොස්සෙන් කාරම් ඉසීමද කරත්, භූමියෙහි තබා කන් සිදුරෙහි යවුල් ගසා කරකැවීමද කරත්, සිවි සම් නොසිඳෙනසේ දාගලින් ඇට සුණුකොට ශරීරය පිදුරු වැටියක් මෙන් තළා දැමීමද කරත්. රත්වූ තෙලෙන්ද සිරුර ඉසිත්, බල්ලන් ලවාද කවත්, ජීවත්ව සිටියදී හුළෙහි හිඳුවත්, කඩුවෙන්ද හිස සිඳිත්.

5. “මේ කම්කටොලු දක්නා තැනැත්තාහට මෙබඳු සිතක්

වෙයි.

“ලාමකවූ (පාප) කර්මයන්ගේ හේතුවෙන්

(මේ ඡෙදයේ ඉතුරු කොටස මේ සූත්‍රයේ 3. 4. වෙනි ඡෙද මෙනි)

(මෙහි මේ සූත්‍රයේ 3, 4 ඡෙද යෙදිය යුතුයි)

“මමද මෙබඳුවූ පාපකර්මයක් කරන්නේ නම් මා ද රජවරු

ගෙණ මෙබඳු වූ නානාප්‍රකාරවූ කම්කටුළු කරවන්නහුය. (මෙහි මේ සූත්‍රයේ 4 වෙනි ඡෙදය යෙදිය යුතුයි.)

“හෙතෙම මේ ආත්මයෙහි විපාක දෙන දොෂයට බියවූයේ අනුන්ගේ බඩු පැහැර ගනිමින් නොහැසිරෙයි. මහණෙනි, මේ මේ ආත්මයෙහි විපාක ඇති දොෂයයි කියනු ලැබේ.

6. “මහණෙනි, පරලොව විපාක ඇත්තාවූ දොෂය කවරේද? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් මෙසේ නුවණින් සලකා බලයි. (කෙසේද) ‘කාය දුශ්චරිතයාගේ ලාමකවූ විපාකය වනාහි පරලෙව්හි වේ. වාග්දුශ්චරිතයාගේ ලාමකවූ විපාකය වනාහි පරලෙව්හි වේ. මනොදුශ්චරිතයාගේ ලාමකවූ විපාකය වනාහි පරලෙව්හි වේ. මම වනාහි කයින් දුශ්චරිත කරන්නෙම්නම් වචනයෙන් දුශ්චරිත කරන්නෙම් නම් සිතින් දුශ්චරිත කරන්නෙම් නම්, යම් හෙයකින් මම ශරීරයාගේ භෙදයෙන් මරණින් මත්තෙහි සැපයෙන් පහවූ නපුරු ගතිඇත්තාවූ විකාරව වැටෙන්නාවූ නරකයෙහි නූපදින්නෙම් නම් එසේ වීමට කිනම් කාරණයක් ඇද්ද, හෙතෙම (මෙසේ) සලකා පරලෙව්හි විපාක ඇති දොෂය ගැන බියපත්වූයේ කාය දුශ්චරිතය හැර කායසුචරිතය වඩයි, වාග්දුශ්චරිතය හැර වාක්සුචරිතය වඩයි. මනොදුශ්චරිතය හැර මනොසුචරිතය වඩයි. පිරිසිදුවූ ආත්මයක් පරිහරණය කෙරෙයි.

7. “මහණෙනි, මේ පරලෙව්හි විපාක ඇති දොෂයයි කියනු ලැබේ. මහණෙනි, මේ දෙක වනාහි දොෂයෝ වෙත්. මහණෙනි, එහෙයින් මේ කාරණයෙහිදී තොප විසින් මෙසේ හික්මිය යුතුයි. මේ ආත්මභාවයෙහි විපාක ඇත්තාවූ දොෂයට බියවන්නෙමු. පරලොවෙහි විපාක ඇත්තාවූ දොෂයට බිය වන්නෙමු. වරදට බියවන ස්වභාව ඇත්තෝ වරදෙහි බිය දක්නා ස්වභාවය ඇත්තෝ වන්නෙමු’ යි (කියායි.)

8. “මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතුයි මහණෙනි, වරදෙහි බියවනසුළුවූ, වරදෙහි බිය දක්නාසුලුවූ තැනැත්තෝ සියලු වරදින් මිදෙත් යන මේ කාරණය අවශ්‍යයෙන් සිදුවිය යුත්තෙකි

පධාන සූත්‍රය:—“මහණෙනි, ලොව ලබාගැනීමට දුෂ්කරවූ මේ වීර්‍ය්‍යයෝ දෙදෙනෙක් වෙත්. ඒ කවර දෙදෙනෙක්ද යත්, ගිහිගෙයි වාසය කරන්නාවූ ගිහියන් විසින් සිවුරු, පිණ්ඩපාත, සෙනසුන් (වාසස්ථාන), ගිලන්පස, බෙහෙත් පිරිකර යන මේ පසය සපයාගනු පිණිස යම් වීර්‍ය්‍යයක් වේනම් (එයද), ගිහිගෙයින්

නික්ම අනගාරිය නම් ශාසනයෙහි පැවිදි වූවන්ගේ සියලු ආශාවන්ගේ බැහැරලීමයයි කියනලද නිර්වාණය පිණිස යම් වීර්‍ය්‍යයකුත් වේ නම් එයද (යන මේ දෙකයි.)

3. “මහණෙනි, ලොව මේ වීර්‍ය්‍යය දෙක වනාහි ලබාගැනීමට දුෂ්කර වෙත්. මහණෙනි, මේ වීර්‍ය්‍යය දෙක අතුරෙන් යම් මේ සියලු ආසාවන්ගේ දුරලීම පිණිස වීර්‍ය්‍යයක් වේද, මෙය අග්‍රයි. මහණෙනි, එහෙයින් මේ කරුණෙහිදී මෙසේ හික්මිය යුතුයි. (කෙසේද?) (ස්කන්ධාදී) සියලු ආසාවන්ගේ බැහැරලීම පිණිස වීර්‍ය්‍යය කරන්නෙමු (යි කියායි). මහණෙනි, තොප විසින් මෙසේම හික්මිය යුතුයි.”

තපනීය සූත්‍රය:—“මහණෙනි, (සිත්) තැවීම කරන්නා වූ මේ ධර්මයෝ දෙදෙනෙක් වෙත්. ඒ දෙදෙන කවරහුදයත්, මහණෙනි, මෙලොව ඇතැමෙකු විසින් කාය දුශ්චරිතය කරණ ලද්දේවේද, කාය සුචරිතය නොකරණ ලද්දේවේද, වාග්දුශ්චරිතය කරණලද්දේ වේද, වාක්සුචරිතය නොකරණ ලද්දේවේද, මනො දුශ්චරිතය කරණ ලද්දේ වේද, මනො සුචරිතය නොකරණ ලද්දේ වේද, හෙතෙම ‘මා විසින් කාය දුශ්චරිතය කරණ ලද්දේය’යි තැවෙයි. ‘කාය සුචරිතය මවිසින් නොකරණ ලද්දේය’යි තැවෙයි, ‘වාග් දුශ්චරිතය මවිසින් කරන ලද්දේය’යි තැවෙයි, ‘වාක් සුචරිතය මවිසින් නොකරණ ලද්දේය’යි තැවෙයි. මනො දුශ්චරිතය කරණ ලද්දේය’යි තැවෙයි ‘මනො සුචරිතය නොකරණ ලද්දේය’යි තැවෙයි. මහණෙනි, මේ ධර්මයෝ දෙදෙන වනාහි තැවීම කරන්නෝය.”

අතපනීය සූත්‍රය:—“මහණෙනි, (සිත්) තැවීම් නො කරන්නාවූ මේධර්මයෝ දෙදෙනෙක්වෙත්, කවර දෙදෙනෙක්ද යත් මහණෙනි, මෙලොව ඇතැමෙක් විසින් කායසුචරිතය කරණ ලද්දේ වේද, කාය-දුශ්චරිතය නොකරණ ලද්දේවේද, වාක්සුචරිතය කරණ ලද්දේ වේද, වාග්දුශ්චරිතය නොකරණ ලද්දේ වේද, මනො සුචරිතය කරණ ලද්දේ වේද, මනො දුශ්චරිතය නොකරණ ලද්දේ වේද, හෙතෙම ‘මවිසින් කාය සුචරිතය කරණ ලද්දේය’යි නොතැවෙයි. ‘මවිසින් කාය දුශ්චරිතය නොකරණ ලද්දේය’යි නොතැවෙයි. ‘මවිසින් වාක් සුචරිතය කරණ ලද්දේය’යි නොතැවෙයි ‘මවිසින් වාක් දුශ්චරිතය නොකරණ ලද්දේය’යි නොතැවෙයි. ‘මවිසින් මනො සුචරිතය කරණ ලද්දේය’යි නොතැවෙයි. ‘මවිසින් මනොදුශ්චරිතය නොකරණලද්දේය’යි නොතැවෙයි. මහණෙනි, මේ ධර්මයෝ දෙදෙන වනාහි තැවීම් නොකරන්නෝ වෙත්.”

උපඤ්ඤාත සූත්‍රය:—1. “මහණෙනි, මම ධර්මයන් දෙදෙනෙක් අවබොධ කෙළෙමි. කුශල ධර්මයන්හි යම් නොසතුටු බවක් වේද, පව් නැසීමට කරනු ලබන වීර්‍ය්‍යයෙහි යම් නොපසුබස්නා බවෙක් වේද මහණෙනි, මම නොපසුබස්නා වීර්‍ය්‍ය ඇත්තේ වීර්‍ය්‍ය කරමි. (කෙසේද?)

2. “ඒකාන්තයෙන් ශරීරයෙහි සමද නහරද ඇටද ඉතිරි වේවා! මස් හා ලේ වියලේවා! පුරුෂ ශක්තියෙන් පුරුෂ වීර්‍ය්‍යයෙන්, පුරුෂ පරාක්‍රමයෙන් යමකට පැමිණිය යුතුද, ඊට නොපැමිණ වීර්‍ය්‍යයාගේ තැවීමක් නොවන්නේය.

3. “මහණෙනි, එසේ වූ මා විසින් සම්‍යක් සම්බොධිය අප්‍රමාදය නිසා අවබොධ කරණ ලද්දීය. නිරුත්තරවූ යොගක්ෂෙම සංඛ්‍යාත නිර්වාණය අප්‍රමාදයෙන් අවබොධකරණ ලද්දේය.

4. මහණෙනි, ඒකාන්තයෙන් සිරුරෙහි සමද නහරද ඇටද ඉතිරිවේවා! මස් හා ලේ වියලේවා! පුරුෂ ශක්තියෙන් පුරුෂ වීර්‍ය්‍යයෙන් පුරුෂ පරාක්‍රමයෙන් යම් ගුණ සමූහයකට පැමිණිය යුතුද, ඊට නොපැමිණ වීර්‍ය්‍යයාගේ තැවීමක් නොවන්නේය’ (යිද කියා).

5. “ඉදින් තෙපිද නොපසුබස්නා වීර්‍ය්‍යය කරන්නහු නම්, මහණෙනි, කුලපුත්‍රයෝ යම් ප්‍රයෝජනයක් ලබනු පිණිස මනාකොටම ගිහිගෙයින් නික්ම අනගාරිය නම් ශාසනයෙහි පැවිදි වෙත්ද, තෙපිත් (මඟ) බඹසර කෙළවරකොට ඇති උත්තරීතරවූ ඒ (අර්හත්වය) නොබෝ කලකින්ම මේ ආත්ම භාවයෙහිම තෙපිම විශිෂ්ට ඥානයෙන් දැන, ප්‍රත්‍යක්ෂකොට

ගෙණ ඊට පැමිණ වාසය කරන්නාහුය. මහණෙනි, එහෙයින් මේ කරුණෙහි ලා (තොප විසින්) මෙසේ හික්මිය යුතුයි (කෙසේද?) ඒකාන්තයෙන් ශරීරයෙහි සමද, නහරද, ඇටද, ඉතිරිවේවා! මස් හා ලේ වියලේවා! පුරුෂ ශක්තියෙන් පුරුෂ වීර්‍ය්‍යයෙන් පුරුෂපරාක්‍රමයෙන් යමකට පැමිණියයුතුද, ඊට නොපැමිණ වීර්‍ය්‍යයාගේ නැවැත්ම නොවන්නේය (යි සිතා) නොපසුබස්නා වීර්‍ය්‍යය කරන්නෙමුය’යි කියායි. මහණෙනි, තොප විසින් මෙසේම හික්මිය යුතුයි”

සඤ්ඤොජනීය සූත්‍රය:—1. “මහණෙනි, මේ ධර්මයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, සංයෝජනයන්ට ප්‍රත්‍යයවූ (ඉපදීමට හේතුවූ), ධර්මයන් කෙරෙහි යම්බඳුවූ පස් කම් රස විඳීම් වශයෙන් දක්නා ස්වභාවක් වේද, සංයෝජනයන්ට ප්‍රත්‍යයවූ ධර්මයන් කෙරෙහි යම්බඳුවූ (කළකිරීම්) උකටලීම් වශයෙන් දක්නා ස්වභාවක් වේද (යන මේ දෙදෙනයි).

2. “මහණෙනි, සංයෝජනයන්ට ප්‍රත්‍යවූ ධර්මයන් පස් කම් රස විඳීම වශයෙන් දක්නා ස්වභාවය ඇතිව වාසය කරණ තැනැත්තේ රාගය දුරුනොකරයි. ද්වෙෂය දුරුනොකරයි. මොහය දුරුනොකරයි. රාගය දුරු නොකොට, ද්වෙෂය දුරු නොකොට, මොහය දුරුනොකොට ජාතියෙන්ද, ජරාවෙන්ද, මරණයෙන්ද සොකයෙන්ද, වැළපීම්වලින්ද, කායික දුක්ඛයන් ගෙන්ද, චෛතසික දුඃඛයන්ගෙන්ද දැඩි ආයාසයන්ගෙන්ද නොමිදෙයි. (හෙතෙම) සසර දුකින් නොමිදේ යයි කියමි.

3. “මහණෙනි, සංයෝජනයන්ට ප්‍රත්‍යවූ ධර්මයන් නිර්වෙද වශයෙන් දක්නා සුලුව වාසය කරණ තැනැත්තේ රාගය දුරුකරයි. ද්වෙෂය දුරුකරයි, මොහය දුරුකරයි, රාගය දුරුකොට, ද්වෙෂය දුරුකොට, මොහය දුරුකොට, ජාතියෙන්ද ජරාවෙන්ද, මරණයෙන්ද, ශොකයෙන්ද, වැළපීම්වලින්ද, කායික දුඃඛයන් ගෙන්ද, චෛතසික දුඃඛයන් ගෙන්ද, දැඩි ආයාසයන් ගෙන්ද මිදෙයි. (හෙතෙම) සසර දුකින් මිදේයයිද කියමි. මහණෙනි, මෙසේ වූ ධර්මයෝ දෙදෙනෙක් වෙත්.”

කණ්හ සූත්‍රය:—“මහණෙනි, කළුවූ අකුසල්වූ මේ ධර්මයෝ දෙදෙනෙක් වෙත්. කවර නම් දෙදෙනෙක්ද යත්, (පව් කිරීමෙහි) ලජ්ජාරහිත භාවයද, (පව් කිරීමෙහි) බිය නොවන බවද වෙත්. මහණෙනි, මේ ධර්මදෙක කළුවූ ධර්මයෝයි.”

සුක්ක සූත්‍රය:—“මහණෙනි, සුදුවූ, කුසල්වූ මේ ධර්මයෝ දෙදෙනෙක් වෙත්. කවර නම් දෙදෙනෙක්ද යත් (පව් කිරීමෙහි) ලජ්ජාවද, (පව් කිරීමෙහි) බියද, යන දෙදෙනයි). මහණෙනි, මේ ධර්ම දෙක සුදුවූ ධර්මයෝ වෙත්.”

චරියා සූත්‍රය:—“මහණෙනි, මේ සුදුවූ කුසල් ධර්මයෝ දෙදෙන ලොව පාලනය කරත්. කවර දෙදෙනෙක්ද? ලජ්ජාවද බියද (යන දෙකයි). මහණෙනි, මේ සුදුවූ කුසල ධර්ම දෙක ලොව පාලනය නොකරන්නාහු නම් මෙහි වැදූ මව කියා හෝ කුඩාමව කියා හෝ නැන්දනිය කියා හෝ ගුරුවරයාගේ භාර්‍ය්‍යාව කියා හෝ ගරු කටයුත්තන්ගේ භාර්‍ය්‍යාවය කියා හෝ නොපෙණෙන්නේය. ලෝ වැසි තෙම එළුවන්, බැටළුවන්, මෙන්ද, කුකුළන්, ඌරන් මෙන්ද, බලු හිවලුන් මෙන්ද, සංකරයට පැමිණෙන්නේය. මහණෙනි, යම් හෙයකින් මේ සුදුවූ කුසල් ධර්ම දෙක ලොකයා පාලනය කෙරෙත්ද, එහෙයින් මව කියා හෝ කුඩා මව කියා හෝ නැන්දනිය කියා හෝ ගුරුවරයාගේ භාර්‍ය්‍යාව කියා හෝ ගරු කටයුත්තන්ගේ භාර්‍ය්‍යාව කියා හෝ හැඟීමක් ඇති වන්නේය.”

වස්සූපනායික සූත්‍රය:—“මහණෙනි, මේ වස් එළඹීම් දෙකක් වෙත්. කවර දෙකක්ද යත්, පෙරවස් එළඹීමද, පසුවස් එළඹීමද යන දෙකයි, මහණෙනි, මේ දෙක වස්එළඹීම් වෙති”

(පළමුවෙනි කම්මකාරණ වර්ගය නිමි)