අංගුත්තර නිකාය

දුක නිපාතය

පළමුවෙනි පණ්ණාසකය

1. කම්මකාරණ වර්ගය

2. අධිකරණ වර්ගය

සෙඛබල සූත්‍රය:—“මහණෙනි, මේ බලයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, පරීක්ෂාකිරීමේ බලයද භාවනා බලයද යන දෙකයි.

2. “මහණෙනි, පරීක්ෂා කිරීමේ බලය කවරේද? මහණෙනි, මෙලොව ඇතැමෙක් මෙසේ පරීක්ෂා කරයි. (කෙසේද?) කාය දුශ්චරිතයාගේ ලාමකවූ විපාකය වනාහි මේ ආත්මභාවයෙහිද පරලොවෙහිද වේ. වාග්දුශ්චරිතයාගේ ලාමකවූ විපාකය වනාහි මේ ආත්මභාවයෙහිද පරලොවෙහිද වේ. මනොදුශ්චරිතයාගේ ලාමකවූ විපාකය වනාහි මේ ආත්මභාවයෙහිද, පරලෙව්හිද වේය කියායි. හෙතෙම මෙසේ නුවණින් සලකා බලා කාය දුශ්චරිතය හැර කාය සුචරිතය වඩයි. වාග්දුශ්චරිතය හැර වාග්සුචරිතය වඩයි. මනොදුශ්චරිතය හැර මනො සුචරිතය වඩයි. පිරිසිදුවූ ආත්ම භාවයක් පරිහරණය කෙරෙයි. (රකියි). මහණෙනි මේ පරීක්ෂා කිරීමේ බලයයි කියනුලැබේ.

3. “මහණෙනි, භාවනා බලය කවරේද? මහණෙනි, මේ බල දෙක අතුරෙන් යම් මේ භාවනා බලයක්වේද, මේ බලය (අර්හත්වයට නොපැමිණ සෝවාන් ආදී මාර්ගයන්හි හැසිරෙන) ශෛක්ෂයන් සම්බන්ධ ඥානබලය වේ. මහණෙනි, හෙතෙම ශෛක්ෂ බලය නිසා රාගය දුරුකරයි, ද්වෙෂය දුරුකරයි. මොහය දුරුකරයි. රාගය දුරුකොට, ද්වෙෂය දුරුකොට, මොහය දුරුකොට යමක් අකුසල්වේද එය නොකෙරෙයි. යමක් පව් වේද එය සෙවනය නොකෙරෙයි. මහණෙනි, මේ භාවනා බලයයි කියනු ලැබේ. මහණෙනි, මොහු දෙදෙන වනාහි භාවනා බලයෝ වෙති.”

බොජ්ඣංගබල සූත්‍රය:—“මහණෙනි, මේ බලයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්දයත්, පරීක්ෂාකිරීමේ බලයද, භාවනා බලයද යන දෙදෙනයි.

2. “මහණෙනි, පරීක්ෂාකිරීමේ බලය කවරේද? මහණෙනි, මෙලොව ඇතැමෙක් මෙසේ පරීක්ෂා කරයි. (කෙසේද?) කාය දුශ්චරිතයාගේ ලාමකවූ විපාකය වනාහි මේ ආත්මභාවයෙහි ද පරලොවෙහිද වේ. වාග්දුශ්චරිතයාගේ ලාමකවූ විපාකය වනාහි මේ ආත්මයෙහිද පරලොවෙහිද වේ. මනොදුශ්චරිතයාගේ ලාමකවූ විපාකය තෙම මේ ආත්මභාවයෙහිද, පරලෙව්හිද වේය කියායි. හෙතෙම මෙසේ නුවණින් සලකා බලා කායදුශ්චරිතය හැර කාය සුචරිතය වඩයි. වාග්දුශ්චරිතය හැර වාග්සුචරිතය වඩයි. මනො දුශ්චරිතය හැර මනොසුචරිතය වඩයි. පිරිසිදුවූ ආත්මභාවයක් පරිහරණය කෙරෙයි. (රකියි) මහණෙනි, මේ පරීක්ෂාකිරීමේ බලයයි කියනු ලැබේ.

3. “මහණෙනි, භාවනාබලය කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවේකයන් ඇසුරුකළාවූ, විරාගය ඇසුරුකළාවූ දුක්ඛනිරොධය ඇසුරුකළාවූ කෙලෙසුන් නැසීම හා නිවන් අරමුණට පැමිණීම ඇත්තාවූ ස්මෘති සම්බොද්ධ්‍යංගය වඩයි. මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවේකයන් ඇසුරුකළාවූ, විරාගය ඇසුරුකළාවූ, දුක්ඛනිරොධය ඇසුරුකළාවූ කෙළෙසුන් නැසීම හා නිවන් අරමුණට පැමිණීම ඇත්තාවූ ධර්මවිචය සම්බොද්ධ්‍යංගය වඩයි. මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවේකයන් ඇසුරුකළාවූ, විරාගය ඇසුරු කළාවූ, දුක්ඛනිරොධය ඇසුරු කළාවූ කෙලෙසුන් නැසීම හා නිවන් අරමුණට පැමිණීම ඇත්තාවූ වීර්‍ය්‍යය සම්බොද්ධ්‍යාංගය වඩයි, මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවේකයන් ඇසුරුකළාවූ, විරාගය ඇසුරුකළාවූ, දුක්ඛනිරොධය ඇසුරුකළාවූ කෙලෙසුන් නැසීම හා නිවන් අරමුණට පැමිණීම ඇත්තාවූ ප්‍රීති සම්බොද්ධ්‍යාංගය වඩයි. මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවේකයන් ඇසුරු කළාවූ, විරාගය ඇසුරුකළාවූ දුක්ඛනිරොධය ඇසුරුකළාවූ කෙලෙසුන් නැසීම හා නිවන් අරමුණට පැමිණීම ඇත්තාවූ පස්සද්ධි සම්බොද්ධ්‍යාංගය වඩයි, මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවේකයන් ඇසුරුකළාවූ, විරාගය ඇසුරුකළාවූ දුක්ඛනිරොධය ඇසුරුකළාවූ කෙලෙසුන් නැසීම හා නිවන් අරමුණට පැමිණීම ඇත්තාවූ සමාධි සම්බොද්ධ්‍යාංගය වඩයි. මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවේකයන් ඇසුරු කළාවූ, විරාගය ඇසුරුකළාවූ, දුක්ඛනිරොධය ඇසුරුකළාවූ, කෙලෙසුන් නැසීම හා නිවන් අරමුණට පැමිණීම ඇත්තාවූ උපෙක්ෂා සම්බොද්ධ්‍යාංගය වඩයි. මහණෙනි, මේ භාවනා බලයයි කියනු ලැබේ.

“මහණෙනි, මොහු වනාහි බලයෝ දෙදෙන වෙත්.

ඣානබල සූත්‍රය:—“මහණෙනි, මේ බලයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්: පරීක්ෂාකිරීමේ බලයද භාවනා බලයද යන දෙදෙනයි.

2. “මහණෙනි, පරීක්ෂා කිරීමේ බලය කවරේද? මහණෙනි, මෙලොව ඇතැමෙක් මෙසේ පරීක්ෂා කරයි. (කෙසේද?) කායදුශ්චරිතයාගේ ලාමකවූ විපාකය වනාහි මේ ආත්මභාවයෙහිද පරලොවෙහිද වේ. වාග්දුශ්චරිතයාගේ ලාමකවූ විපාකය වනාහි මේ ආත්මභාවයෙහිද පරලොවෙහිද වේ. මනොදුශ්චරිතයාගේ ලාමකවූ විපාකය වනාහි මේ ආත්මභාවයෙහිද පරලොවෙහිද වේය කියායි. හෙතෙම මෙසේ නුවණින් සලකා බලා කායදුශ්චරිතය හැර කාය සුචරිතය වඩයි. වාග් දුශ්චරිතය හැර වාග්සුචරිතය වඩයි. මනොදුශ්චරිතය හැර මනොසුචරිතය වඩයි. පිරිසිදුවූ ආත්මභාවයක් පරිහරණය කරයි (රකියි). මහණෙනි, මේ පරීක්ෂාකිරීමේ බලයයි කියනු ලැබේ.

3. “මහණෙනි, භාවනාබලය කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම කාමයන්ගෙන් වෙන්ව, අකුසලයන්ගෙන් වෙන්ව, විතර්ක (කල්පනාකිරීම) සහිතවූ, විචාර (අරමුණෙහි සිත හැසිරවීම) සහිතවූ විවේකයෙන් හටගත්තාවූ ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථමද්ධ්‍යානයට පැමිණ වාසය කෙරෙයි. විතර්ක විචාරයන්ගේ සන්සිඳීමෙන් ස්වකීය සන්තානයෙහි මනාකොට පැහැදීම ඇති චිත්තයාගේ එකට පහළවීම් (එකඟ බැව්) ඇති විතර්ක රහිතවූ, විචාර රහිතවූ, සමාධියෙන් හටගත්තාවූ ප්‍රීතිය හා සැප ඇති ද්විතීයද්ධ්‍යානයට පැමිණ වාසයකරයි ප්‍රීතියෙහි නො ඇලීමෙන් උපෙක්ෂා ඇත්තෙක්ව වාසයකරයි. සිහි ඇත්තේ, මනා නුවණ ඇත්තේ සැපයද කයින් විඳී. (බුද්ධාදි) ආ්‍ය_යයෝ (එහි වසන්නා) උපෙක්ෂා ඇත්තේය, සිහි ඇත්තේය, සැප විහරණ ඇත්තේයයි කියත්ද ඒ තෘතීයධ්‍යාන සමාපත්තියට එළඹ වාසය කෙරෙයි (කායික) සුඛ ප්‍රහාණයෙන් (දුරුකිරීමෙන්) ද, දුඃඛ ප්‍රහාණයෙන්ද පළමුකොටම සොම්නස් දොම්නස් දෙදෙනාගේ බැහැරලීමෙන් දුක් නැත්තාවූ සැප නැත්තාවූ උපෙක්ෂා ස්මෘති දෙදෙනගේ පිරිසිදු බව ඇති චතුර්ථධ්‍යාන සම්පත්තියට එළඹ වාසයකෙරෙයි. මහණෙනි, මේ භාවනා බලයයි කියනු ලැබේ. මහණෙනි, මොහු බලයෝ දෙදෙන වෙති”

ධම්මදෙසනා සූත්‍රය-“මහණෙනි, තථාගතයන්ගේ මේ ධර්මදෙශනාවෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්: සංක්ෂෙප වශයෙන් කරණ දෙශනාවය, විස්තර වශයෙන් කරණ දෙශනාවය යන දෙදෙනයි. මහණෙනි, මේ දෙදෙන වනාහි තථාගතයන්ගේ ධර්මදෙශනාවෝයි.”

අධිකරණ සූත්‍රය:—“මහණෙනි, (විවාදාදි) අධිකරණයන් අතුරෙන් යම් අධිකරණයෙක්හි ඇවතට පැමිණි භික්ෂුතෙමේද චොදක භික්ෂු තෙමේද මනාකොට තමාම (තමන්ගේ දොෂය) පරීක්ෂා නොකෙරෙත්ද, මහණෙනි, ඒ අධිකරණයෙහිලා මෙය අවශ්‍යයෙන් වියයුතුයි. (එනම්) ඒ අධිකරණය දීර්ඝ භාවයට නපුරු බවට, කර්කශ භාවයට පැමිණෙන්නේය, භික්ෂූහු තුමූද සැපසේ වාසය නොකරන්නාහුය (යන මේ වසයෙනි).

2. “මහණෙනි, යම් අධිකරණයෙක්හි ඇවතට පැමිණි භික්ෂු තෙමේද චොදක භික්ෂු තෙමේද මනාකොට තුමූම තමන් පරීක්ෂා කෙරෙත්ද, මහණෙනි, ඒ අධිකරණය දීර්ඝ භාවයට ක්‍රෑරභාවයට කර්කශ භාවයට නොපැමිණෙන්නේය, භික්ෂූහු තුමූද සැපසේ වාසයකරන්නාහු යන මේ කාරණය අවශ්‍යයෙන් වන්නේය.

3. “මහණෙනි, ඇවතට පැමිණියාවූ භික්ෂුතෙමේ කෙසේ නම් තෙමේම තමන්ගේ දොෂය පරීක්ෂාකෙරේද? වරදට පැමිණි මහණ තෙමේ මෙසේ පරීක්ෂා කෙරෙයි: ‘මම වනාහි කායද්වාරයෙන් කිසියම් ලෙශමාත්‍රවූ ඇවතකට පැමිණියෙම්ද, කායද්වාරයෙන් කිසියම් ලෙශමාත්‍රවූ අකුශලයකට පැමිණෙන්නාවූ මා ඒ (චොදක) භික්ෂුතෙම දුටුවේය. (ඉදින්) මම කාය ද්වාරයෙන් කිසියම් ලෙශ මාත්‍රවූ අකුශලයකට නොපැමිණියේනම් ඒ මහණතෙම කායද්වාරයෙන් කිසියම් ලෙශමාත්‍රවූ අකුශලයකට නොපැමිණියේ නම් ඒ මහණතෙම කායද්වාරයෙන් කිසියම් ලෙශමාත්‍රවූ අකුශලයකට පැමිණෙන්නාවූ මා නොදක්නේය. යම් හෙයකින් වනාහි මම කායද්වාරයෙන් කිසියම් ස්වල්ප මාත්‍රවූ ඇවතකට පැමිණියෙම්ද, එහෙයින්ම ඒ මහණතෙම කයින් කිසියම් ස්වල්ප මාත්‍රවූ අකුශලයකට පැමිණෙන්නාවූ මා දුටුයේය. ඒ භික්ෂුතෙම කයින් කිසියම් ලෙශමාත්‍රවූ ඇවතකට පැමිණෙන්නාවූ මා දැක නොසතුටු සිත් ඇත්තේ විය. නොසතුටු සිත් ඇත්තේම ඒ මහණතෙම නොසතුටු සිතින් යුත් වචන මට කීවේය. ඒ භික්ෂුව විසින් නොසතුටු සිතින් යුත් වචන කියන ලද්දාවූ මම නොසතුටු සිත් ඇත්තේ වීමි. නොසතුටු සිත් ඇත්තේම අනුන්ට කීයෙමි. මෙසේ ඒ අධිකරණයෙහිවූ අපරාධය තෙම මාම මැඩගෙණ ඉක්මවා ගියේය. (කෙසේදයත්) තීරුව ගෙවිය යුතු තැන පසුකොට තීරුව නොගෙවා ගෙණගිය භාණ්ඩයක් නිසා තීරුව දියයුතු අය (තමා කළ) ඒ අපරාධයෙන් මඩිනු ලබන්නාක් මෙනි.”

4. “මහණෙනි, මෙසේ ඇවතටද පැමිණියාවූ මහණ තෙම මනාකොට තෙමේම තමන් පරීක්ෂා කෙරෙයි. මහණෙනි, චෝදක භික්ෂු තෙමේ මනාකොට තෙමේම තමන් කෙසේ නම් පරීක්ෂා කෙරේද? මහණෙනි, මේ ශාසනයෙහි චොදක භික්ෂු තෙමේ මෙසේ පරීක්ෂා කෙරෙයි (කෙසේද?) වරදකළ මේ භික්ෂු තෙම වනාහි කායද්වාරයෙන් කිසියම් ලෙශමාත්‍රවූ අකුශලයකට පැමිණියේය. කයින් කිසියම් ලෙශමාත්‍රවූ අකුශලයකට පැමිණෙන්නාවූ ඒ මේ මහණ (මම) දුටුයෙමි. මේ මහණ තෙම කයින් කිසියම් ලෙශමාත්‍රවූ අකුසලයකට ඉදින් නොපැමිණියේ නම් කයින් කිසියම් ලෙශමාත්‍රවූ අකුසලයකට පැමිණෙන්නාවූ මේ මහණ (මම) නොදක්නෙමි යම් හෙයකින් වනාහි මේ මහණතෙම කයින් කිසියම් ලෙශමාත්‍රවූ අකුසලයකට පැමිණියේද එහෙයින්ම කයින් කිසියම් ලෙශමාත්‍රවූ අකුසලයකට පැමිණෙන්නාවූ මේ මහණ (මම) දුටුයෙමි. කයින් කිසියම් ලෙශමාත්‍රවූ අකුසලයකට පැමිණෙන්නාවූ මේ මහණ දැක (මම)

ද නොසතුටු සිත් ඇත්තේවීමි. නොසතුටු සිත් ඇත්තේම මම මේ මහණහුට නොසතුටු සිතින් යුත් වචන කීයෙමි. මේ මහණතෙම විසින් නොසතුටු තෙපුල් කියන ලද්දේම නොසතුටු සිත් ඇත්තෙක් වූයේය. නොසතුටු සිත් ඇත්තේම අනුන්ට කීයේය. මෙසේ භාණ්ඩයක් නිසා (වරදට පැමිණි) සුංවත් දෙන්නෙකු මැඩගෙණ (තමා කළ අපරාධය) යන්නාක් මෙන් මා කළ දෙයෙහි දොෂය මා ම මැඩගෙණ සිටියේය’ කියායි.

5. “මහණෙනි, මෙසේ චොදක භික්ෂු තෙම (වනාහි) තමාම තමන් ප්‍රත්‍යවෙක්ෂා කෙරෙයි.

“මහණෙනි, යම් අධිකරණයෙක්හි ඇවතට පැමිණි (ඇවැත්) භික්ෂුතෙමේද චොදක භික්ෂුතෙමේද මනාකොට තමාම තමන් ප්‍රත්‍යවෙක්ෂා නොකරත්ද, මහණෙනි, ඒ අධිකරණය දිර්ඝභාවයට, රළුබස් ඇතිබවට, අතින් පයින් පහරදීම් ආදියට පැමිණෙන්නේයයිද භික්ෂූ තුමුත් සැපසේ වාසය නොකරන්නාහුයයිද අවශ්‍යයෙන් බලාපොරොත්තු විය යුතුයි. මහණෙනි, යම් අධිකරණයෙක්හි ඇවතට පැමිණි භික්ෂුතෙමේද චොදක භික්ෂු තෙමේද මනාකොට තුමූම තමන් ප්‍රත්‍යවෙක්ෂා කෙරෙත්ද, මහණෙනි, ඒ අධිකරණය දීර්ඝ භාවයට රළුබස් ඇති බවට අත් පා ආදියෙන් පහරදීම ආදි කර්කශ භාවයට නොපැමිණෙන්නේයයිද භික්ෂූහුත් සැපසේ වාසය කරන්නාහුයයිද අවශ්‍යයෙන් බලාපොරොත්තු විය යුතුයි”

අධම්ම චරියා සූත්‍රය 1. එකල්හි (නාමගොත්‍රයෙන් අප්‍රසිද්ධවූ) එක්තරා බ්‍රාහ්මණයෙක් තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැන්හි එළඹියේය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටුවූයේය, සතුටුවිය යුතුවූ සිහි කටයුතුවූ (සතුටුසාමීචි) කථාව ඉවරකොට එකත්පසෙක හුන්නාවූ ඒ බමුණුතෙම භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය සැලකෙළේය.

2. “භවත් ගෞතමයන් වහන්ස, මෙලොව යමක් හෙතුකොටගෙණ ඇතැම් සත්ත්වයෝ ශරීරයාගේ භෙදයෙන් මරණින් මත්තෙහි අපාය නම්වූ විනිපාත නම්වූ නරකයෙහි උපදිත් නම් ඒ හේතුව කවරේදත ඒ ප්‍රත්‍යය කවරේද?”

3. බ්‍රාහ්මණය, අධර්මචර්‍ය්‍යාව හෙතුකොටගෙණ මෙසේ මේ ලොකයෙහි ඇතැම් සත්ත්වයෝ ශරීරයාගේ භෙදයෙන් මරණින් මත්තෙහි අපාය නම්වූ දුගති නම්වූ විනිපාත නම්වූ නරකයෙහි උපදිත්.”

4. “භවත් ගෞතමයන් වහන්ස, එසේනම් යමක් හේතු කොටගෙණ මෙලොව ඇතැම් සත්ත්වයෝ ශරීරයාගේ භෙදයෙන් මරණින් මත්තෙහි සුගති සංඛ්‍යාතවූ ස්වර්ගලොකයෙහි උපදිත් නම් ඒ හේතු කවරේද, ඒ ප්‍රත්‍යය කවරේද?”

5. “බ්‍රාහ්මණය, ධර්මචර්‍ය්‍යා නම් සමචර්‍ය්‍යාව හේතු කොටගෙණ මෙසේ මේ ලොකයෙහි ඇතැම් සත්වයෝ ශරීරයාගේ භෙදයෙන් මරණින් මත්තෙහි සුගති නම් ස්වර්ග ලොකයෙහි උපදිත්”

6. “භවත් ගෞතමයන් වහන්ස, (නුඹවහන්සේගේ දෙශනාව) ඉතා යහපති, භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි. භවත් ගෞතමයන් වහන්ස, යටිකුරුකොට තබනලද්දක් යම්සේ උඩුකුරුකොට තබන්නේද, වසන ලද්දක් යම්සේ එළිදරව් කරන්නේද, මංමුළාවූවෙකුට යම්සේ මාර්ගය කියන්නේද, ඇස් ඇත්තාහු රූපයන් දකිත්වායි අන්ධකාරයෙහි තෙල් පහනක් යම්සේ ඔසවන්නේද එපරිද්දෙන් භවත් ගෞතමයන් වහන්සේ නොයෙක් ක්‍රමයෙන් ධර්මය ප්‍රකාශ කරණලද්දේය. මේ මම් භවත් ගෞතමයන් වහන්සේද ධර්මයද භික්ෂු සංඝයාද සරණයෙමි. භවත් ගෞතම තෙමේ අද පටන් දිවිහිමි කොට සරණ ගියාවූ උපාසකයෙකු කොට මා දරණසේක්වා”

ජාණුස්සොණි සූත්‍රය:—1. එකල්හි ජානුස්සොණි බ්‍රාහ්මණ තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැන්හි එළඹියේය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටුවූයේය. සතුටුවිය යුතුවූ සිහි කටයුතුවූ (සතුටු සාමිචි) කථාව ඉවරකොට එකත්පසෙක හුන්නේය. එකත්පසෙක හුන්නාවූ ඒ බමුණුතෙම භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය සැලකෙළේය.

2. (මේ ඡෙදය මේ වර්ගයේ 6 සූත්‍රයේ 2 ඡෙදය මෙනි.)

3. “බ්‍රාහ්මණය, කරණලද බැවින්ද, නොකරණලද බැවින්ද මෙසේ මෙලොව ඇතැම් සත්ත්වයෝ ශරීරයාගේ භේදයෙන්

මරණින් මත්තෙහි අපාය නම්වූ, දුර්ගති නම්වූ, විනිපාත නම්වූ නරකයෙහි උපදිත්”

4. (මේ ඡෙදය මේ වර්ගයේ 6 වෙනි සූත්‍රයේ 4 වෙනි ඡෙදය මෙනි.)

5. “බ්‍රාහ්මණය, කරණලද බැවින්ද නොකරණලද බැවින්ද, මෙසේ මෙලොව ඇතැම් සත්වයෝ ශරීරයාගේ භෙදයෙන් මරණින් මත්තෙහි සුගති නම්වූ ස්වර්ගලොකයෙහි උපදිත්”

6. “භවත් ගෞතමයන් වහන්සේ විසින් සංක්ෂෙපයෙන් වදාරණ ලද්දාවූ, විස්තර වශයෙන් අර්ථය විභාග නොකරණ ලද්දාවූ මේ ධර්මයාගේ අර්ථය විස්තර වශයෙන් මම නොදනිමි. භවත් ගෞතමයන් වහන්සේ විසින් සංක්ෂෙපයෙන් වදාරණ ලද්දාවූ විස්තර වශයෙන් අර්ථය විභාග නොකරණලද්දාවූ මේ ධර්මයාගේ අර්ථය විස්තර වශයෙන් යම්සේ මම දැනගනිම්ද ඒ භවත් ගෞතමතෙම මට ධර්මය දෙශනා කරණසේක් නම් ඒ ඉතා මැනව.”

7. “බ්‍රාහ්මණය, එසේවීනම් අසව, මනාකොට මෙනෙහි කරව, කියන්නෙමි” ජානුස්සොණි බ්‍රාහ්මණ තෙමේ “පින්වතුන් වහන්ස, එසේ යහපතැ”යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්නේය. භාග්‍යවත් තෙමේ මේ වදාළසේක.

8. “බ්‍රාහ්මණය, මෙලොව ඇතැමෙකු විසින් කාය දුශ්චරිතය කරණ ලද්දේ වේද, කායදුශ්චරිතය නොකරණ ලද්දේ වේද, වාග් දුශ්චරිතය කරණලද්දේ වේද, වාග් දුශ්චරිතය නොකරණ ලද්දේ වේද, මනොදුශ්චරිතය කරණ ලද්දේ වේද, මනොදුශ්චරිතය නොකරණ ලද්දේ වේද, බ්‍රාහ්මණය, මෙසේ වනාහි කළ බැවින්ද නොකළ බැවින්ද මෙසේ මෙලොව ඇතැම් සත්වයෝ ශරීරයාගේ භෙදයෙන් මරණින් මත්තෙහි අපාය නම්වූ, දුර්ගති නම්වූ, විනිපාත නම්වූ නිරයෙහි උපදිත්. බ්‍රාහ්මණය, මෙලොව ඇතැමෙකු විසින් කායසුචරිතය කරණ ලද්දේ වේද, කාය දුශ්චරිතය නොකරණලද්දේ වේද, වාග්සුචරිතය කරණ ලද්දේ වේද, වාග්දුශ්චරිතය නොකරණ ලද්දේ වේද, මනොසුචරිතය කරණ ලද්දේ වේද, මනොදුශ්චරිතය නොකරණ ලද්දේ වේද බ්‍රාහ්මණය, එපරිද්දෙන් කරන ලද හෙයින්ද නොකරන ලද හෙයින්ද මෙසේ මෙලොව ඇතැම් සත්ත්වයෝ ශරීරයාගේ භෙදයෙන් මරණින් මත්තෙහි සුගති නම්වූ, ස්වර්ග නම්වූ ලොකයෙහි උපදිත්.”

9. (මේ ඡෙදය මේ වර්ගයේ 6 වෙනි සූත්‍රයේ 6 වෙනි ඡෙදය මෙනි.)

ආනන්දපණ්හ සූත්‍රය:—1 ඉක්බිති ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙම භාග්‍යවත් බුදුරජ යම් තැනෙක්හිද එහි එළඹියේය. එළඹ භාග්‍යවතුන් වහන්සේ මනාකොට වැඳ එකත්පසෙක හුන්නේය. එකත්පසෙක හුන්නාවූ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන්ට භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය වදාළසේක. “ආනන්දය, කායදුශ්චරිතයද වාග්දුශ්චරිතයද මනොදුශ්චරිතයද එකාන්තයෙන් නොකටයුතුයයි මම කියමි”

2. “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් යම් මේ කායදුශ්චරිතයද වාග්දුශ්චරිතයද මනොදුශ්චරිතයද එකාන්තයෙන් නොකටයුතුයයි ප්‍රකාශකරණ ලද්දේද, නොකටයුතුවූ ඒ කරණු ලබන කල්හි කිනම් දොෂයෙක් අවශ්‍යයෙන් ඇති වන්නේද?”

3. “ආනන්දය, මා විසින් යම් මේ කායදුශ්චරිතයද වාග් දුශ්චරිතයද මනොදුශ්චරිතයද ඒකාන්තයෙන් නොකට යුතුයයි ප්‍රකාශකරණ ලද්දේද, නොකටයුතුවූ එය කරණු ලබන කල්හි මේ ආදීනවය අවශ්‍යයෙන් ඇතිවිය යුතුයි. (කුමක්ද?) තෙමේද තමන්ට දොෂ කියයි. දැන නින්දා කරත්. (තමන් පිළිබඳ) ලාමකවූ කීර්තිශබ්දයක් වෙසෙසින් උස්ව පැනනඟී, සිහිමුළාව මැරෙයි. ශරීරයාගේ භෙදයෙන් මරණින් මත්තෙහි අපාය නම්වූ, දුර්ගති නම්වූ, විනිපාත නම් වූ නරකයෙහි උපදී ආනන්දය, මවිසින් යම් මේ කායදුශ්චරිතයද වාග් දුශ්චරිතයද, මනොදුශ්චරිතයද ඒකාන්තයෙන් නොකටයුතුයයි ප්‍රකාශ කරණ ලද්දේද, එය කරණු ලබන කල්හි මේ දොෂය තෙම අවශ්‍යයෙන් විය යුතුයි.

“ආනන්දය, මම කායසුචරිතයද වාග්සුචරිතයද මනො සුචරිතයද ඒකාන්තයෙන් කටයුතුයයි කියමි”

4. “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් යම් මේ කාය සුචරිතයද, වාග් සුචරිතයද, මනො සුචරිතයද, ඒකාන්තයෙන් කටයුතුයයි ප්‍රකාශකරණ ලද්දේද, කටයුතුවූ එය කරණු ලබන කල්හි කවර ආනිසංසයක් බලාපොරොත්තුවිය යුතුද”?

5. “ආනන්දය, මවිසින් යම් මේ කායසුචරිතයද, වාග්සුචරිතයද මනොසුචරිතයද, ඒකාන්තයෙන් කටයුතුයයි ප්‍රකාශකරණ ලද්දේද, කටයුතුවූ එය කරණුලබන කල්හි මේ ආනිසංසය බලාපොරොත්තුවිය යුතුයි. (කුමක්ද?) තෙමේද තමන්ට දොස් නොකියයි නුවණැත්තෝ දැන ප්‍රශංසා කෙරෙත්. යහපත්වූ කීර්තිශබ්දයක් වෙසෙසින් උස්ව පැනනඟී. සිහි මුළාබවක් නැතිව කළුරිය කෙරෙයි, ශරීරයාගේ භෙදයෙන් මරණින් මත්තෙහි යහපත් ගති ඇති ස්වර්ගලෝකයෙහි උපදී, ආනන්දය, මවිසින් යම් මේ කායසුචරිතයද වාග්සුචරිතයද, මනො සුචරිතයද ඒකාන්තයෙන් කටයුතුයයි ප්‍රකාශකරණ ලද්දේද, කටයුතුවූ එය කරණු ලබන කල්හි මේ ආනිසංසය බලාපොරොත්තු වියයුතුයි.”

අකුසලප්පහාන සූත්‍රය:—“මහණෙනි, අකුසලය දුරුකරව්. මහණෙනි, අකුසලය දුරුකිරීමට හැක්කේය. මහණෙනි, ඉදින් අකුශලය දුරුකරන්ට නොහැකිවන්නේ නම්, ‘මහණෙනි, අකුසලය දුරුකරව්’ යයි මම මෙසේ නොකියමි. මහණෙනි, යම්හෙයකින් වනාහි අකුසලය දුරුකරන්ට හැකිවන්නේද එහෙයින්ම ‘මහණෙනි, අකුසලය දුරුකරව්’ යයි මම මෙසේ කියමි. මහණෙනි, මේ අකුසලයද දුරුකරන ලද්දේ අහිත පිණිස, දුක් පිණිස පවත්නේ නම් ‘මහණෙනි, අකුසලය දුරුකරව්’ යයි මම මෙසේ නොකියන්නෙමි මහණෙනි, යම් හෙයකින් අකුසලය හිත පිණිස, සැප පිණිස පවතීද, එහෙයින්ම ‘මහණෙනි, අකුසලය දුරුකරව්’ යයි මම මෙසේ කියමි”

කුසලභාව සූත්‍රය:—“මහණෙනි, කුසලය වඩව්, මහණෙනි, කුසලය වඩන්නට හැක්කේය. මහණෙනි, ඉදින් කුසලය වඩන්නට නොහැකිවන්නේ නම් ‘මහණෙනි, කුසලය වඩව්’ යයි මම මෙසේ නොකියන්නෙමි. මහණෙනි, යම්හෙයකින් වනාහි කුසලය වඩන්නට හැක්කේද, එහෙයින්ම ‘මහණෙනි, කුසලය වඩව් යයි මම මෙසේ කියමි. මහණෙනි, මේ කුසලයද වඩන ලද්දේ අවැඩ පිණිස, දුක් පිණිස පවත්නේ නම්, ‘මහණෙනි, කුසලය වඩව්’ යයි මම නොකියන්නෙමි. මහණෙනි, යම්හෙයකින් වනාහි කුසලය වඩනලද්දේ වැඩ පිණිස සැප පිණිස පවතීද, එහෙයින්ම ‘මහණෙනි, කුසලය වඩව්’ යයි මම මෙසේ කියමි.”

සම්මොස සූත්‍රය:—“මහණෙනි, මේ ධර්මයෝ දෙදෙනෙක් සද්ධර්මයාගේ විනාශය පිණිස අතුරුදන්වීම පිණිස පවතිත්. කවර දෙදෙනෙක්ද යත්: වරදවා ගන්නාලද පාලි පදයද වරදවා පමුණුවනලද්දාවූ අර්ථයද, මහණෙනි, පිළිවෙළ වරදවා ගන්නාලද්දාවූ පදව්‍යඤ්ජනයාගේ අර්ථයද දුකසේ දැනගත යුතුය. මහණෙනි, මේ ධර්මයෝ දෙදෙනවනාහි සද්ධර්මශාසනයාගේ විනාශය පිණිස, අතුරුදන්වීම පිණිස, පවතිත්”

අසම්මොස සූත්‍රය-“මහණෙනි, මේ ධර්මයෝ දෙදෙනෙක් ධර්මයාගේ චිරස්ථිතිය පිණිස, අවිනාශය පිණිස, අතුරුදන්නොවීම පිණිස පවතිත්. කවර දෙදෙනෙක්ද යත්: පිළිවෙළ නොයික්මවා දෙශනා පාලියද, පරිපාටිය නොපෙරළා ගන්නා ලද අර්ථයද යන දෙදෙනයි. මහණෙනි මනාකොට ගන්නා ලද්දාවූ පදව්‍යඤ්ජනයාගේ අර්ථයද මනාකොට දතහැකිවේ. මේ ධර්මයෝ දෙදෙන වනාහි ශාසනයාගේ චිරස්ථිය පිණිස අවි නාශය පිණිස අතුරුදන් නොවීම පිණිස පවතිත්.”

(දෙවෙනි අධිකරණ වර්ගය නිමි.)