අංගුත්තර නිකාය

දුක නිපාතය

පළමුවෙනි පණ්ණාසකය

3. තුන්වෙනි පණ්ණාසකය

11. ආසා වර්ගය

ආසා සූත්‍රය:—“මහණෙනි, අත්හැරීමට දුෂ්කරවූ මේ ආසා දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, ලාභාසාවද ජීවිතාසාවද (යන දෙදෙනයි) මහණෙනි, මේ ආසා දෙක වනාහි දුරුකිරීමට දුෂ්කර වෙති.”

දුල්ලභ පුග්ගල සූත්‍රය:—“මහණෙනි, ලොව දුර්ලභවූ මේ පුද්ගලයන් දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, යමෙක් පූර්වකාරී වේද (පළමුව උපකාර කෙරේද) යමෙක් කෘතඥව කෘතවේදි වේද (කළ උපකාර දැන පසුව උපකාර කෙරේද යන දෙදෙනයි.) මහණෙනි, මේ දෙදෙන වනාහි ලොව දුර්ලභ පුද්ගලයෝ වෙත්.”

දුල්ලභ පුග්ගල සූත්‍රය:—“මහණෙනි, ලොව දුර්ලභවූ මේ පුද්ගලයන් දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, (නිර්වාණ ධර්මයෙන්) තෘප්තවූ පුද්ගලයාද, අනුන් තෘප්තකර වන්නාවූ පුද්ගලයාද (යන දෙදෙනයි.) මහණෙනි, මේ දෙදෙන වනාහි ලොව දුර්ලභ පුද්ගලයෝ වෙත්.”

දුත්තප්ප සූත්‍රය:—“මහණෙනි, (තෘප්තියට පැමිණවීමට) දුෂ්කර මේ පුද්ගලයන් දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, යමෙක් ලැබුණු ලැබුණු දේ බහා (සඟවා) තබයිද, යමෙක් ලැබුණු ලැබුණු දේ වියදම් කරයිද (යන දෙදෙනයි) මහණෙනි, මේ දෙදෙන වනාහි සතුටු කිරීමට දුෂ්කර පුද්ගලයෝ වෙත්.”

සුතප්ප සූත්‍රය:—“මහණෙනි, සැපසේ පිනවියහැකි මේ පුද්ගලයන් දෙදෙනෙක් වෙත් කවර දෙදෙනෙක්ද යත්, යමෙක් ලද ලද දේ බහා (සඟවා) නොතබයිද, යමෙක් ලද ලද දේ වියදම් නොකරයිද (යන දෙදෙනයි.) මහණෙනි, මේ දෙදෙන වනාහි සැපසේ පිණවිය හැකි පුද්ගලයෝ වෙත්.”

රාගපච්චය සූත්‍රය:—“මහණෙනි, රාගය ඉපදීමට මේ හේතූන් දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, (ඉෂ්ටාරම්මණ නම්) සුභනිමිත්තය, නුනුවණින් මෙනෙහි කිරීමය (යන දෙදෙනයි) මහණෙනි, මේ දෙදෙන වනාහි රාගය ඉපදීමට ප්‍රත්‍යය වෙත්.”

දොසපච්චය සූත්‍රය:—“මහණෙනි, ද්වෙෂය ඉපදීමට මේ හේතූන් දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, (අනිෂ්ටාරම්මණ සංඛ්‍යාත) ප්‍රතිඝ (ක්‍රොධ) නිමිත්තය නුනුවණින් මෙනෙහි කිරීමය (යන දෙදෙනයි.) මහණෙනි, මේ දෙදෙන වනාහි ද්වෙෂය ඉපදීමට ප්‍රත්‍යය වෙත්.”

මිච්ඡාදිට්ඨි පච්චය සූත්‍රය:—“මහණෙනි, මිථ්‍යාදෘෂ්ටිය ඉපදීමට මේ හේතූන් දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, අන්‍යයන් වෙතින් අසද්ධර්මශ්‍රවණය හා නුනුවණින් මෙනෙහි කිරීමය (යන දෙදෙනයි.) මහණෙනි, මේ දෙදෙන වනාහි මිථ්‍යාදෘෂ්ටිය ඉපදීමට ප්‍රත්‍යය වෙත්.”

සම්මාදිට්ඨි පච්චය සූත්‍රය:—“මහණෙනි, සම්‍යග්දෘෂ්ටිය ඉපදීමට මේ හේතූන් දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, අන්‍යයන් වෙතින් සද්ධර්මශ්‍රවණය හා නුවණින් මෙනෙහි කිරීමය (යන දෙදෙනයි) මහණෙනි, මේ දෙදෙන වනාහි සම්‍යග්දෘෂ්ටිය ඉපදීමට ප්‍රත්‍යය වෙත්.”

ලහුකාපත්ති සූත්‍රය:—“මහණෙනි, මේ ආපත්තීහු (වරද) දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, ලහුක (සැහැල්ලු) ආපත්තියද ගරුක (මහත්වූ) ආපත්තියද (යන දෙදෙනයි.) මහණෙනි, මේ වනාහි ආපත්තීහු දෙදෙන වෙත්.

දුට්ඨුල්ලාපත්ති සූත්‍රය:—“මහණෙනි, මේ ආපත්තීහු (වරද) දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, පාරාජිකාදී ආපත්තියද (පචිති ආදි) අදුට්ඨුල්ල ආපත්තියද (යන දෙදෙනයි) “මහණෙනි, මේ වනාහි ආපත්තීහු දෙදෙන වෙත්”

සාවසෙසාපත්ති සූත්‍රය:—“මහණෙනි, මේ ආපත්තීහු (වරද) දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, සාවසෙස (සංඝාදිසෙස) ආපත්තියද අනවසෙස (පාරාජිකා) ආපත්තියද (යන දෙදෙනයි) ‘මහණෙනි, මේ වනාහි ආපත්ති දෙදෙන වෙත්.”

(පළමුවෙනි ආසා වර්ගය නිමි.)