අංගුත්තර නිකාය

දුක නිපාතය

පළමුවෙනි පණ්ණාසකය

1. කම්මකාරණ වර්ගය

3. බාල වර්ගය

බාලඅම්මය සූත්‍රය:—“මහණෙනි, මේ බාලයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්: යමෙක් දොෂය දොෂ වශයෙන් නොදකීද, යමෙක් වරද දෙසන්නාහුගේ දොෂය දහම්වූ පරිද්දෙන් නොපිළිගණීද මහණෙනි, මේ දෙදෙන වනාහි බාලයෝ වෙත්.”

පණ්ඩිත සූත්‍රය:—“මහණෙනි, මේ පණ්ඩිතයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්: යමෙක් දොෂය දොෂ වශයෙන් දකීද, යමෙක් වරද දෙසන්නහුගේ දොෂය දහම්වූ පරිද්දෙන් පිළිගණීද මහණෙනි, මේ දෙදෙන වනාහි පණ්ඩිතයෝ වෙත්”

දුට්ඨ සූත්‍රය:—“මහණෙනි, මේ දෙදෙනෙක් තථාගතයන් වහන්සේට අසත්‍යයෙන් දොස් නගත්. කවර දෙදෙනෙක්ද යත්: අභ්‍යන්තරයෙහි පිහිටි දොස් ඇත්තාවූ ද්වෙෂයෙන් දූෂිතවූ පුද්ගලතෙමද, නොමනාව ගන්නාලද බැවින් (නුවණ නැති) සැදැහැවත් පුද්ගල තෙමේද යන දෙදෙනයි. මහණෙනි, මේ දෙදෙන වනාහි තථාගතයන් වහන්සේට අසත්‍යයෙන් දොස් නගත්.”

භාසිත සූත්‍රය:—“මහණෙනි, මේ දෙදෙනෙක් තථාගතයන් වහන්සේට අසත්‍යයෙන් දොස් නගත්. කවර දෙදෙනෙක්ද යත් යමෙක් තථාගතයන් වහන්සේ විසින් නොවදාරණ ලද්ද, ප්‍රකාශ නොකරණලද්ද තථාගතයන් වහන්සේ විසින් වදාරණ ලද්දේය, ප්‍රකාශකරණ ලද්දේයයි කියාද, යමෙක් තථාගතයන් වහන්සේ විසින් වදාරණ ලද්ද, ප්‍රකාශකරන ලද්ද තථාගතයන් වහන්සේ විසින් නොවදාරණ ලද්දේය, ප්‍රකාශ නොකරණ ලද්දේයයි කියාද, මහණෙනි, මොහු දෙදෙන වනාහි තථාගතයන් වහන්සේට අසත්‍යයෙන් දොස් නගත්.”

අනබ්හාවික්ඛණ සූත්‍රය:—“මහණෙනි, මෙ දෙදෙනෙක් තථාගතයන්වහන්සේට අසභ්‍යයෙන් දොස් නොකියත්. කවර දෙදෙනෙක්දයත්: යමෙක් තථාගතයන් වහන්සේ විසින් නොවදාරණලද්ද, ප්‍රකාශ නොකරණලද්ද තථාගතයන් වහන්සේ විසින් නොවදාරණ ලද්දේය, ප්‍රකාශ නොකරණ ලද්දේයයි කියාද, යමෙක් තථාගතයන් වහන්සේ විසින් වදාරණලද්ද ප්‍රකාශ කරනලද්ද තථාගතයන් වහන්සේ විසින් වදාරණලද්දේය, ප්‍රකාශකරණ ලද්දේයයි කියාද, මහණෙනි, මෙ දෙදෙන වනාහි තථාගතයන් වහන්සේට අසත්‍යයෙන් දොස් නොකියත්.”

නෙය්‍යත්ථ සූත්‍රය:—“මහණෙනි, මේ දෙදෙනෙක් තථාගතයන් වහන්සේට අසත්‍යයෙන් දොස් කියත්. කවර දෙදෙනෙක්ද යත්ත යමෙක් විස්තර කළයුතු අර්ථය ඇති සූත්‍රාන්තය පමුණුවන ලද්දාවූ අර්ථ විස්තර ඇති සූත්‍රාන්තයයි ප්‍රකාශ කෙරේද, යමෙක් අර්ථය ඇති විස්තර කියා දෙනලද සූත්‍රාන්තය විස්තර කළ යුතු අර්ථය ඇති සූත්‍රාන්තයයි ප්‍රකාශ කෙරේද, මහණෙනි, මේ දෙදෙන වනාහි තථාගතයන් වහන්සේට අසත්‍යයෙන් දොස් කියත්.”

නීතත්ථ සූත්‍රය:—“මහණෙනි, මේ දෙදෙනෙක් තුමූ තථාගතයන් වහන්සේට අසත්‍යයෙන් දොස් නොකියත්. කවර දෙදෙනෙක්ද යත්, යමෙක් විස්තර කළයුතු අර්ථ ඇති සූත්‍රාන්තය විස්තර කියාදෙනලද සූත්‍රාන්තයයි දක්වයිද, යමෙක් විස්තර කරණලද සූත්‍රාන්තය විස්තර කළයුතු අර්ථය ඇති සූත්‍රාන්තයයි දක්වයිද, මහණෙනි, මේ දෙදෙන වනාහි තථාගතයන් වහන්සේට අසත්‍යයෙන් දොස් නොකියත්.”

පටිච්ඡන්න කම්මන්ත සූත්‍රය:—“මහණෙනි, වැසුණාවූ හෙවත් පාප කර්ම ඇත්තහු විසින් ගති දෙකක් අතුරෙන් එක්තරා ගතියක් බලාපොරොත්තු විය යුතුයි. (එනම්) නරකය හා තිරිසන් යොනිය (යන දෙකින් එකකි.”

අපටිච්ඡන්න කම්මන්ත සූත්‍රය:—“මහණෙනි, (නොවැසුණාවූ) හෙවත් කුශලධර්ම ඇත්තහු විසින් ගති දෙකක් අතුරෙන් එක්තරා ගතියක් බලාපොරොත්තු විය යුතුයි. දෙව ගතිය හා මනුෂ්‍ය ගතිය (යන දෙකින් එකකි.)”

මිච්ඡාදිට්ඨික සූත්‍රය:—“මහණෙනි, මිසදිටු ගත්තහු විසින් ගති දෙකක් අතුරෙන් එක්තරා ගතියක් බලාපොරොත්තු විය යුතුයි. නරකය හෝ තිරිසන් යොනිය හෝ (යන දෙකින් එකකි.)”

සම්මාදිට්ඨික සූත්‍රය:—මහණෙනි, සම්‍යක්දෘෂ්ටිකයා විසින් ගති දෙකක් අතුරෙන් එක්තරා ගතියක් බලාපොරොත්තු වියයුතුයි. දෙවගතිය හා මානුසික ගතිය (යන දෙකින් එකකි)”

දුස්සීලපටිග්ගහන සූත්‍රය:—“මහණෙනි, දුශ්ශීල පුද්ගලයා පිළිගන්නාවූ (ස්ථාන) දෙකක් වෙත්. (එනම්,) නරකය හා තිරිසන් යොනිය.”

සීලපටිග්ගහන සූත්‍රය:—“මහණෙනි, සිල්වත් පුද්ගලයා පිළිගන්නාවූ (ස්ථාන) දෙකක් වෙත්. දෙව්ලොව හා මිනිස් ලොවය.”

අරඤ්ඤ සූත්‍රය:—“මහණෙනි, මම කරුණු දෙකක් බලමින් ආරණ්‍ය සෙනාසනයන්ද මනුෂ්‍ය වාසයෙන් තොරවූ තැන්හි සෙනාසනයන්ද ගම්වලින් ඉතා දුරින් පිහිටි සෙනාසනයන්ද සෙවනය කරමි. කවර කරුණු දෙකක්ද යත්, මගේම මෙලොව සැප විහරණය හා පසුව ඇතිවෙන ජන සමූහයාහට අනුකම්පාවය.”

විජ්ජාභාගිය සූත්‍රය:—1 “මහණෙනි, මේ ධර්මයෝ දෙදෙනෙක් (මාර්ගඥානය නම්) විද්‍යාව භජනය කරන්නෝ වෙත්. කවර දෙදෙනෙක්ද යත්, සමථය නම් හිතේ එකඟ භාවයද, විදර්ශනාව යයි කියනලද සංස්කාර ඥානයද යන දෙදෙනයි. මහණෙනි, සමථය වඩනලද්දේ කවර අර්ථයක් සම්පාදනය කරයිද? චිත්තය වැඩෙයි. (මාර්ග) චිත්තය වඩනලද්දේ කවර අර්ථයක් සලසාද? යම් රාගයක්හි ඇලේද, ඒ රාගය පහවෙයි.

2. “මහණෙනි, විදර්ශනාව වඩනලද්දේ කවර අර්ථයක් සම්පාදනය කෙරේද? ප්‍රඥාව (මාර්ග ප්‍රඥාව) වැඩෙයි. ප්‍රඥාව වඩනලද්දේ කවර අර්ථයක් සිද්ධ කෙරේද? යම් අවිද්‍යාවක් වේද එය ප්‍රහීණවෙයි. මහණෙනි, රාගයෙන් කිලුටු කරණලද්දාවූ සිතද (කෙලෙසුන් කෙරෙන්) නොමිදෙයි. අවිද්‍යාවෙන් කිලුටු කරණලද්දාවූ ප්‍රඥාවද නොවැඩෙයි. මහණෙනි, මෙසේ වනාහි රාගයෙහි නොඇලීමෙන් චිත්ත විමුක්තියද (ඵලසමාධියද), අවිද්‍යා විරාගයෙන් ප්‍රඥාවිමුක්තියද ඇතිවේ”

(තුන්වැනි බාලවර්ගය නිමි)