අංගුත්තර නිකාය

දුක නිපාතය

පළමුවෙනි පණ්ණාසකය

1. කම්මකාරණ වර්ගය

4. සමචිත්ත වර්ගය

භූමි සූත්‍රය:—“මහණෙනි, අසත්පුරුෂ භූමියද සත් පුරුෂ භූමියද තොපට දෙශනා කරන්නෙමි ඒ අසව්, මනාකොට මෙනෙහි කරව්. කියන්නෙමි.”

“එසේය ස්වාමීනි” ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.

2. “මහණෙනි, අසත්පුරුෂ භූමිය කවරේද? මහණෙනි, අසත්පුරුෂ තෙම කළ උපකාර නොදන්නේ වෙයි. කළගුණ ප්‍රකට කොට නොදන්නේ වෙයි. මහණෙනි, යම් මේ කළගුණ නොසැලකීමක් වේද, කළගුණ නොසැලකීම් භාවයක් වේද මේ කාරණය අසත්පුරුෂයන් විසින් වර්ණනා කරණ ලද්දේය. මහණෙනි, යම් මේ කළගුණ නොසැලකීමක්වේද, කළගුණ නොසැළකීම් භාවයක් වේද, මේ කාරණය සම්පූර්ණයෙන් අසත්පුරුෂ භූමි නම් වේ.

3. “මහණෙනි, සත්පුරුෂ තෙමේ වනාහි කළ උපකාර දන්නේ වෙයි. කළගුණ ප්‍රකටසේ දන්නේ වෙයි. යම් මේ කළගුණ දන්නා බවක්, ප්‍රකටසේ දන්නා බවක් වේද, මේ කාරණය සත්පුරුෂයන් විසින් වර්ණනා කරණ ලද්දේය. මහණෙනි, යම් මේ කළගුණ දන්නා භාවයක් වේද, කළගුණ ප්‍රකටසේ දන්නා භාවයක් වේද, සම්පූර්ණයෙන් මේ කාරණය සත්පුරුෂ භූමි නම්වේ.”

සුප්පතිකාර සූත්‍රය:—“මහණෙනි, දෙදෙනෙකුන්හට සුදුසුසේ කළගුණ සැළකීම නොකළහැකියයි මම කියමි. කවර දෙදෙනෙකුන්ටද යත්, තමන් දාකළ මවටද ජනක පියාටද වෙත්.

2. “මහණෙනි, වර්ෂ සියයක් ආයු ඇත්තාවූ වර්ෂ සියයක් ජීවත්වන්නාවූ (පුතෙක්) එක් අංශයකින් මව පොෂණය කරන්නේද එක් අංශයකින් පියා පොෂණය කරන්නේද, හෙතෙම ඔවුන්ගේ ඇඟ ඉලීමෙන්, පිරිමැදීමෙන් නෑවීමෙන්, අත්පා මැඩීම කිරීමෙන් ඔවුන්ට උපස්ථාන කෙරේද, එකී දෙමවුපියෝ එහිම හුන්නාහු මලමුත්‍ර පහ කෙරෙත්ද, මහණෙනි, (එපමණකිනුදු) මවුපිය දෙදෙනාට උපකාර කරණ ලද්දේ හෝ නොවේමය.

3. “මහණෙනි, යම් පුත්‍රයෙක් මව්පිය දෙදෙනා බොහෝ සප්තවිධ රත්නයන් ඇත්තාවූ මේ මහා පෘථුවියෙහි ඉසුරු බව හා අධිපති බව ඇත්තාවූ චක්‍රවර්ති රාජ්‍යයෙහි පිහිටු වන්නේද (එපමණකිනිදු මහණෙනි, මවුපිය දෙදෙනාට උපකාර කරණ ලද්දේ හෝ කළගුණ සලකන ලද්දේ හෝ නොවේමය ඊට හේතු කවරේද? මහණෙනි, මවුපිය දෙදෙනා පුත්‍රයන්ට බොහෝ උපකාර ඇත්තෝය, ඔවුන් වර්ධනය කරන්නෝය, පොෂණය කරන්නෝය, මේ ලෝකය දක්වන්නෝය එහෙයිනි.”

කිංවාදි සූත්‍රය:—1. ඉක්බිති එක්තරා බ්‍රාහ්මණයෙක් තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය, පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටුවිය. සතුටු සාමීචි කථාකොට එක් පසෙක උන්නේය. එක්පසෙක හුන්නාවූ ඒ බ්‍රාහ්මණතෙම භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය සැලකෙළේය.

2. “භවත් ගෞතම තෙමේ කිනම් ලබ්ධි ඇත්තේද? කිනම් ප්‍රතිපත්තියක් ප්‍රකාශ කරන්නේද?”

“බ්‍රාහ්මණය, මම ක්‍රියාවාදී වෙමි. අක්‍රියාවාදීද වෙමි.”

3. “භවත් ගෞතම තෙමේ කෙසේ නම් ක්‍රියාවාදීත් වේද, අක්‍රියාවාදීත් වේද?”

“බ්‍රාහ්මණය, මම වනාහි කායදුශ්චරිතයාගේද වාග්දුශ්චරිතයාගේද මනොදුශ්චරිතයාගේද නොකටයුතු බව කියමි. නොයෙක් ආකාර ලාමකවූ අකුශලධර්මයන් නොකට යුතු බව කියමි. බ්‍රාහ්මණය, මම වනාහි කායසුචරිතයාගේද වාක්සුචරිතයාගේද මනොසුචරිතයාගේද කිරීම කියමි. තුන්වැදෑරුම් වූ කුශලධර්මයන් කිරීම කියමි. බ්‍රාහ්මණය, මෙසේ මම වනාහි ක්‍රියාවාදීත් වෙමි, අක්‍රියාවාදීත් වෙමි.”

4. “භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපති. භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපති. භවත් ගෞතම තෙමේ අද පටන් දිවිහිම්කොට සරණගියාවූ උපාසකයෙක් කොට මා දරණසේක්වා. (දැන වදාරණසේක්වා.)”

දක්ඛිණෙය්‍ය සූත්‍රය:—ඉක්බිති අනාථපිණ්ඩික ගෘහපතිතෙම භාග්‍යවතුන් වහන්සේ යම්තෙනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වැඳ එකත්පසෙක හුන්නේය. එකත්පසෙක හුන්නාවූ අනාථපිණ්ඩික ගෘහපති තෙම භාග්‍යවතුන්වහන්සේට මේ කාරණය සැලකෙළේය.

2. “ස්වාමීනි, ලොව සැදැහැවතුන්ගේ දන් ලැබීමට සුදුස්සෝ කීදෙනෙක් වෙත්ද? කොතැන්හි හෙවත් කවර පුද්ගලයෙකුට දන්දිය යුතුද?”

“ගෘහපතිය, දෙදෙනෙක් වනාහි ලොව දක්ෂිණාර්හයෝ වෙත් (එනම්) ශෛක්ෂපුද්ගලතෙමේද (සිල්වත් පෘථග්ජනයා සහ සෝවාන් පුද්ගලයා පටන් අර්හත් මාර්ගය පිළිපන් පුද්ගලයා) අශෛක්ෂ රහත් පුද්ගලතෙමේද (යන දෙදෙනයි). ගෘහපතිය, මේ දෙදෙන වනාහි දන්දීමට සුදුස්සෝය. තවද මේ පුද්ගලයන් කෙරෙහි දානය දියයුතුයි”

3. භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය වදාළසේක. සුගතවූ ශාස්තෲන්වහන්සේ මෙසේ වදාරා නැවත මේ ගාථාවද වදාළසේක.

“මෙලොව (සප්තවිධ) ශෛක්ෂපුද්ගල තෙමේද අශෛක්ෂ පුද්ගලතෙමේද දන්දෙන්නවුන්ගේ දන් පිළිගැණීමට සුදුස්සෝ වෙත්. ඔවුහු කයින්ද වචනයෙන්ද නැවත සිතින්ද ඍජුවූවෝය. දන්දෙන්නවුන්ට ඔවුහු පින් කෙතයි එහි දෙනලද්ද මහත් ඵල වේ”

සාරිපුත්ත සඤ්ඤොජන සූත්‍රය:—1. එක්සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවනයෙහි වසන සේක. එසමයෙහි වනාහි ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිර තෙම සැවැත්නුවර සමීපයෙහිවූ පූර්වාරාමයෙහි මිගාරමාතු නම්වූ (විශාඛා) උපාසිකාව විසින් කරවා පිළිගන්වනලද ප්‍රසාදයෙහි වැඩවාසය කෙරෙයි. එකල්හි වනාහි ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිර තෙම “ඇවැත්නි, මහණෙනි” කියා භික්ෂූන් ඇමතුයේය. ඒ භික්ෂූහු තුමූ “ඇවැත්නි” කියා ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන්ට පිළිතුරු දුන්හ. ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙම මෙසේ ප්‍රකාශ කෙළේය.

2. “ඇවැත්නි, අධ්‍යාත්ම සංයොජන ඇති පුද්ගලයාද (අද්ධ්‍යාත්ම නම් කාමභවයෙහි ඡන්දරාගය ඇත්තාවූ පුද්ගයා ද) බහිද්ධා සංයෝජන ඇති පුද්ගලයාද (බහිද්ධානම් රූපාරූප භවයන්හි ඡන්දරාගය ඇත්තාවූ පුද්ගලයාද) ප්‍රකාශකරන්නෙමි ඒ ශ්‍රවණය කරව්. මනාකොට මෙනෙහි කරව්, කියන්නෙමි.” ඒ භික්ෂූහු තුමූ “එසේය, පින්වතුන් වහන්සැ” යි ආයුෂ්මත්වූ ශාරීපුත්‍ර ස්ථවිරයන්ට පිළිතුරු දුන්හ. ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිර තෙම මෙසේ වදාළේය: “ඇවැත්නි, අද්ධ්‍යාත්ම සංයෝජන ඇත්තාවූ පුද්ගලතෙම කවරේද?

3. “ඇවැත්නි, මේ සාසනයෙහි මහණතෙම සිල්වත් වේද, ප්‍රාතිමොක්ෂසංවර ශීලයෙන් යුක්තවූයේ, ආචාර ගොචර දෙකින් යුක්තවූයේ, ස්වල්පමාත්‍රවූ අකුශල ධර්මයන්හි බිය දක්නා සුලුව වාසය කෙරේද, ශික්ෂා පදයන් සමාදන්ව එහි හික්මේද,

4. “හෙතෙම ශරීරයාගේ භෙදයෙන් මරණින් මත්තෙහි එක්තරා දිව්‍යනිකායෙක්හි උපදී. හෙතෙම එයින් චුතවූයේ යටට බස්නා ස්වභාව වූයේ, මේ මනුෂ්‍යාත්මභාවයට එන්නේ වේ. ඇවැත්නි මේ වනාහි අද්ධ්‍යාත්මික (ඔරම්භාගිය) සංයෝජනයෙන් (බැඳීමෙන්) යුක්තවූ යටට බස්නා සුලුවූ, මේ මනුෂ්‍යාත්මභාවයට එන්නාවූ පුද්ගලතෙමේයයි කියනු ලැබේ.

5. “ඇවැත්නි, බහිද්ධාසංයෝජනයෙන් (බැඳුමෙන්) යුක්තවූ පුද්ගලතෙමේ කවරේද?

(මෙහි මේ සූත්‍රයේ 3 වෙනි ඡෙදය යොදන්න.)

6. “හෙතෙම එක්තරා ශාන්තවූ චිත්තවිමුක්තියකට පැමිණ වාසය කෙරෙයි. හෙතෙම ශරීරයාගේ භෙදයෙන් පසු මරණින් මත්තෙහි එක්තරා දිව්‍ය නිකායෙක උපදී. හෙතෙම එයින් චුතවූයේ, පහළට නොබස්නා ස්වභාවවූයේ, මේ මිනිස් බවට නොඑන්නේ වේ. ඇවැත්නි, මේ වනාහි පහතට නොබස්නා ස්වභාවවූ මේ මිනිස් බවට නොඑන්නාවූ බාහිර සංයෝජනයෙන් යුක්තවූ පුද්ගලතෙමේයයි කියනුලැබේ

(මෙහි මේ සූත්‍රයේ 4 වෙනි ඡෙදය යොදන්න)

7. හෙතෙම කාමයන්හිම කලකිරීම පිණිස, නොඇලීම පිණිස, විනාශය පිණිස පිළිපන්නේවේ. හෙතෙම (තුන්) භවයන්හිම කලකිරීම පිණිසද, නොඇලීම පිණිසද, විනාශය පිණිසද පිළිපන්නේවේ. හෙතෙම තෘෂ්ණාව ක්ෂයකිරීම පිණිස පිළිපන්නේ වේ. හෙතෙම ලොභය ක්ෂයකිරීම පිණිස පිළිපන්නේවේ. හෙතෙම ශරීරයාගේ භේදයෙන් මරණින් මත්තෙහි එක්තරා දිව්‍ය නිකායෙක්හි උපදී. හෙතෙම එයින් චුතවූයේ, අනාගාමි වූයේ, මේ මිනිසත් බවට නොඑන්නේ වේ. ඇවැත්නි, මේ වනාහි පහතට කාමභවයට) නොබස්නා ස්වභාව වූ, මේ මිනිසත් බවට නොඑන්නාවූ බාහිර සංයෝජනයෙන් යුක්තවූ, පුද්ගලතෙමේ යයි කියනු ලැබේ.”

8. ඉක්බිත්තෙන් සමසිත් ඇත්තාවූ බොහෝවූ දෙවතාවෝ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියාහුය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එක්පසෙක සිටියාහුය. එක්පසෙක සිටියාවූ මේ දෙවතාවෝ භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය සැළකළාහුය.

9. “ස්වාමීනි, මේ ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරතෙම පූර්වාරාමයෙහි මිගාරමාතෘප්‍රාසාදයෙහි භික්ෂූන්ට අද්ධ්‍යාත්ම සංයෝජනය ඇති පුද්ගලයාද බහිද්ධාසංයොජනය ඇති පුද්ගලයාද දේශනා කෙරෙයි. ස්වාමීනි, (එහිවූ) පිරිස්තොමෝ සතුටුසිත් ඇත්තීය. ස්වාමීනි, භාග්‍යවත් තෙමෙ අනුකම්පා කොට ආයුෂ්මත්වූ ශාරිපුත්‍ර ස්ථවිරතෙම යම්තැනෙක්හිද එතැන්හි පැමිණෙනසේක් නම් ඒ මැනව.”

10. භාග්‍යවතුන් වහන්සේ තුෂ්ණිම්භාවයෙන් ඉවසූ සේක. ඉක්බිත්තෙන් භාග්‍යවත් තෙමේ යම්සේ ශක්තිමත් පුරුෂයෙක් වූකලී හකුළුවන ලද්දාවූ අතක් දිගුකරන්නේ හෝ වේද, දිගුකරණ ලද්දාවූ අතක් හකුළුවන්නේ හෝ වේද, එපරිද්දෙන්ම ජේතවනාරාම විහාරයෙහි අතුරුදන්වූයේ පූර්වාරාමයෙහි මිගාරමාතෘප්‍රාසාදයෙහි ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් ඉදිරියෙහි පහළවූසේක. භාග්‍යවතුන් වහන්සේ පනවනලද අසුන්හි වැඩහුන්සේක. ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිර තෙමේද භාග්‍යවතුන්

වහන්සේ වැඳ එක්පසෙක හුන්නේය. එක්පසෙක හුන්නාවූ ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන්ට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.

11. “ශාරිපුත්‍රය, මෙහි සමාන සිත් ඇත්තාවූ බොහෝ දෙවතාවෝ මම යම් තැනෙක්හිද එතැන්හි පැමිණියාහුය. පැමිණ මා වැඳ එකත්පසෙක සිටියාහුය. ශාරිපුත්‍රය, එක් පසෙක සිටියාවූ ඒ දේවතාවෝ මට මෙසේ කීවාහුය. ‘ස්වාමීනි, මේ ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරතෙම පූර්වාරාමයෙහි මිගාරමාතෘප්‍රාසාදයෙහි භික්ෂූන්ට අද්ධ්‍යාත්මසංයොජනයෙන් යුත් පුද්ගලයාද බහිද්ධාසංයොජනයෙන් යුත් පුද්ගලයාද දෙශනා කෙරෙයි. ස්වාමීනි, පිරිස්තොම තුටුපහටු සිත් ඇත්තීය. ස්වාමීනි, භාග්‍යවත්තෙමේ අනුකම්පාකොට ආයුෂ්මත්වූ ශාරිපුත්‍ර ස්ථවිරතෙම යම් තැනෙක්හිද එතැනට එළඹෙන සේක්වා, ශාරිපුත්‍රය, ඒ දෙවතාවෝ වනාහි දසදෙනෙක්වද, විසිදෙනෙක්වද, තිස්දෙනෙක්වද, සතළිස්දෙනෙක්වද, පණස්දෙනෙක්වද, සැටදෙනෙක්වද, පිරිස් වශයෙන් රැස්ව ඉදිකටු තුඩක් හෙළන පමණ තන්හි සිටිත්. නමුත් එකිනෙකා නොපෙළෙත්.

12. “ශාරිපුත්‍රය, ඉදින් තොපට මේ කරුණු ගැන මෙබඳු සිතක් ඇතිවිය හැකියි. යම්හෙයකින් ඒ දේවතාවෝ දසදෙනෙක්වද, විසිදෙනෙක්වද, තිස්දෙනෙක්වද, හතළිස්දෙනෙක්වද, පනස්දෙනෙක්වද, සැටදෙනෙක්වද ඉදිකටු තුඩක් හෙළන පමණ තන්හිත් සිටිත්ද, එහෙත් එකිනෙකා නොපෙළෙත්ද, ඒකාන්තයෙන් එපරිද්දෙන් ඒ දෙවතාවන් විසින් (ඒ සමාපත්ති) සිත වඩනලද්දේ එහි (ඔවුන්ගේ දෙව ලොකයෙහිය) කියායි ශාරීපුත්‍රය, මේ කාරණය එසේ නොසැලකිය යුතුය. (මක්නිසාදයත්,) යම් හෙයකින් ඒ දෙවතාවෝ දසදෙනෙක්වද, විසිදෙනෙක්වද, තිස්දෙනෙක්වද, සතළිස්දෙනෙක්වද, පනස්දෙනෙක්වද, සැටදෙනෙක්වද ඉදිකටු තුඩක් හෙළන පමණ තන්හිත් සිටිත්ද, එහෙත් එකිනෙකා නොපෙළෙත්ද, ශාරිපුත්‍රය. ඒ දේවතාවන් විසින් එසේකිරීමට හැකිවනසේ (සමාපත්ති) සිතක් වඩනලද්දේ මේ ලොකයෙහිම නොහොත් මේ ශාසනයෙහිමය.

13. “ශාරිපුත්‍රය, එහෙයින් මේ කරුණෙහි මෙසේ හික්මිය යුතුයි, (කෙසේද?) ‘සන්සුන් ඉඳුරන් ඇත්තෝ, සන්සුන් සිත් ඇත්තෝ වන්නෙමු’යි (කියායි). ශාරිපුත්‍රය, තොප විසින් හික්මියයුතු මෙසේමය. ශාරිපුත්‍රය, සන්හුන් ඉඳුරන් ඇත්තාවූ සන්සුන් සිත් ඇත්තාවූ තොපගේ කාය කර්මය ශාන්තවන්නේමය වාක්කර්මය ශාන්ත වන්නේමය, මනො කර්මය ශාන්තවන්නේමය. ශරිපුත්‍රය, ‘සමාන බඹසර ඇත්තන් කෙරෙහි ශාන්තවූම කය සිත දෙකින් කරණ පූජාව පමුණුවන්නෙමු’යි තොප විසින් මෙසේම හික්මියයුතුයි. යමෙක් තුමූ මේ ධර්මදෙශනාව නොඇසුවාහුද ඒ අන්‍යතීර්ථක පරිබ්‍රාජකයෝ පිරිහුණාහුම වෙත්.”

ආරාමදණ්ඩ සූත්‍රය:—1. මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි ආයුෂ්මත් මහාකච්ඡාන ස්ථවිරතෙම චරණ නම් නුවර කද්දම නම් විල්තෙර වාසය කරයි. එකල්හි වනාහි ආරාමදණ්ඩ නම් බ්‍රාහ්මණතෙම ආයුෂ්මත් මහාකච්චාන ස්ථවිරයන් වෙත පැමිණ සතුටුසාමීචි කථාකොට එක්පසෙක හුන්නේය. එක්පසෙක හුන්නවූ ඒ ආරාමදණ්ඩ බමුණු මහා කච්චාන ස්ථවිරයන්ට මේ කරුණ සැළකළේය.

2. “භවත් කච්චානයෙනි යමක් හේතුකොටගෙන ක්ෂත්‍රියයෝත් ක්ෂත්‍රියන් සමග විවාද කෙරෙත්ද, බ්‍රාහ්මණයෝත් බ්‍රාහ්මණයන් සමග විවාද කෙරෙත්ද ගෘහපතියෝත් ගෘහපතියන් සමග විවාද කෙරෙත්ද ඊට හේතු කවරේද? ඊට ප්‍රත්‍යය කවරේද?

“බ්‍රාහ්මණය, කාමරාගයෙහි ඇතුල්වීමය, කාමරාගයෙන් බැඳීමය, කාමරාගයෙහි ගිජුවීමය, කාමරාගයෙන් සිත වැළඳ ගැන්මය, කාමරාගයෙහි ගැලීමය යන මේ හේතුකොටගෙණ ක්ෂත්‍රියයෝත් ක්ෂත්‍රියයන් සමග විවාද කෙරෙති. බමුණෝත් බමුණන් සමග විවාද කෙරෙති. ගහපතියෝත් ගහපතියන් සමග විවාද කෙරෙති”

3. “භවත් කච්චානයෙනි, යමක් හේතුකොටගෙන ශ්‍රමණයෝත් ශ්‍රමණයන් සමග විවාද කෙරෙත්ද, ඊට හේතු කවරේද, ඊට ප්‍රත්‍යය කවරේද?”

“බ්‍රාහ්මණය, දෘෂ්ටිරාගයෙහි ඇතුල්වීමය, දෘෂ්ටිරාගයෙන් බැඳීමය, දෘෂ්ටිරාගයෙන් ගිජුවීමය, දෘෂ්ටිරාගයෙන් සිත වැළඳගැන්මය, දෘෂ්ටිරාගයෙහි ගැලීසිටීමය යන මේ හේතුකොටගෙන ශ්‍රමණයෝත් ශ්‍රමණයන් සමග විවාද කෙරෙත්.”

4. “භවත් කච්චානයෙනි, මෙම කාමරාගයෙහි ඇතුල් වීමය, කාමරාගයෙන් බැඳීමය, කාමරාගයෙහි ගිජුවීමය, කාම රාගයෙන් සිත වැළඳගැන්මය, කාමරාගයෙහි ගැලීමය යන මේ දේ ඉක්මෙව්වාවූ කිසිවෙක් ඇද්ද? මෙම දෘෂ්ටිරාගයෙන් ඇතුල්වීමය, දෘෂ්ටිරාගයෙන් බැඳීමය, දෘෂ්ටිරාගයෙන් ගිජුවීමය, දෘෂ්ටිරාගයෙන් සිත වැළඳගැන්මය දෘෂ්ටිරාගයෙහි ගැලී සිටීමය යන මේ දේ ඉක්මෙව්වාවූ කිසිවෙක් ඇද්ද?”

“බ්‍රාහ්මණය, කාමරාගයෙහි ඇතුල්වීමය, කාමරාගයෙන් බැඳීමය, කාමරාගයෙ ගිජුවීමය, කාමරාගයෙන් සිත වැළඳ ගැන්මය, කාමරාගයෙහි ගැලීමය යන මේ දේ ඉක්මෙව්වාවූද, මෙම දෘෂ්ටිරාගයෙහි ඇතුල්වීමය, බැඳීමය, ගිජුවීමය, සිත වැළඳගැන්මය, ගැලීමය යන මේ දේ ඉක්මෙව්වාවූද කිසිවෙක් ලෝකයෙහි ඇත්තේය”

5. “භවත් කච්චානයෙනි, මේ කාමරාගයෙහි ඇතුල් වීමය, බැඳීමය, ගිජුවීමය, සිත වැළඳගැන්මය ගැලීමය යන මේ දේ ඉක්මෙව්වාවූද මෙම දෘෂ්ටිරාගයෙහි ඇතුල්වීමය, බැඳීමය, ගිජුවීමය, සිත වැළඳගැන්මය, ගැලීමය යන මේ දේ ඉක්මෙව්වාවූද යම් කිසිවෙක් ලොව ඇත්නම් හෙතෙම කවරේද?”

“බ්‍රාහ්මණය, පූර්වදිශා ජනපදයන්හි සැවැත් නම් නුවරෙක් ඇත. අර්හත්වූ සම්‍යක් සම්බුද්ධවූ ඒ භාග්‍යවතුන් වහන්සේ එහි දැන් වාසය කරණසේක. බ්‍රාහ්මණය, ඒ භාග්‍යවතුන් වහන්සේ වනාහි මේ කාමරාගයෙහි ඇතුල්වීමය, බැඳීමය, ගිජුවීමය, සිත වැළඳගැන්මය, ගැලීමය යන මේ දේ ඉක්මගියේය මේ දෘෂ්ටිරාගයෙහි ඇතුල්වීමය, බැඳීමය ගිජුවීමය, සිත වැළඳගැන්මය, ගැලීමය යන මේ දේද ඉක්ම ගියසේක.

මෙසේ කී කල්හි ආරාමදණ්ඩ නම් බ්‍රාහ්මණතෙම හුනස්නෙන් නැඟිටපියා උතුරුසළුව එකස්කොට දකුණු දණමඬල බිමගසා භාග්‍යවතුන් වහන්සේ යම් දිශාවෙක්හිද ඒ දිශාවට වැඳ නමස්කාරකොට (ඇඳිලිබැඳ) (මෙසේ) ප්‍රීතිවාක්‍යය පහළ කෙළේය. (කෙසේද යත්,) “යම් ඒ භාග්‍යවතුන් වහන්සේ කෙනෙක් මේ කාමරාගයෙහි ඇතුල්වීමය. ගිජුවීමය, බැඳීමය, සිත වැළඳගැන්මය, ගැලීමය, මේ දෘෂ්ටිරාගයෙහි ඇතුල්වීමය. බැඳීමය, ගිජුවීමය, සිත වැළඳගැන්මය, ගැලීමය යන මේ දේ ඉක්මගියසේක්ද, ඒ භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේට නමස්කාරවේවා

ඒ භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේට නමස්කාරවේවා.

ඒ භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේට නමස්කාර වේවා.

“භවත් කාත්‍යායනයෙනි, භවත් කාත්‍යායනයෙනි, ඉතාම යහපත. භවත් කාත්‍යායනයෙනි, මුව යටිකුරුවකොට තබන ලද්දක් යම්සේ මුව උඩුකුරු කොට තබන්නේද, වසනලද්දක් යම්සේ විවෘත කරන්නේද, මංමුළාවූවෙකුට යම්සේ මාර්ගය කියන්නේද, ඇස් ඇත්තාහු රූපයන් දකිත්වායි අන්ධකාරයෙහි තෙල් පහනක් යම්සේ දල්වන්නේද, එපරිද්දෙන්ම භවත් කාත්‍යායන ස්ථවිරයන් වහන්සේ විසින් නොයෙක්ක්‍රමයෙන් ධර්මය දෙශනා කරන ලද්දේය. භවත් කාත්‍යායන ස්ථවිරයන් වහන්ස, මේ මම භවත් ගෞතමයන් වහන්සේද, ධර්මයද, භික්ෂු සංඝයාද සරණයෙමි. භවත් කාත්‍යායන ස්ථවිර තෙමේ අද පටන් දිවිහිමිකොට සරණගියාවූ උපාසකයෙකු කොට මා දරණසේක්වායි.

මධුරා සූත්‍රය:—එක් සමයෙක්හි ආයුෂ්මත් මහා කාත්‍යායන ස්ථවිරතෙම මධුරා නම් නුවර ගුන්දා වනයෙහි වාසය කෙරෙයි. එකල්හි කණ්ඩරායන නම් බ්‍රාහ්මණ තෙමේ මහා කාත්‍යායන ස්ථවිරතෙම යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ එකත්පස්ව උන්නේය. එකත්පසෙක උන්නාවූ කණ්ඩරායණ

බ්‍රාහ්මණතෙම ආයුෂ්මත් මහා කාත්‍යායන ස්ථවීරයන්ට මෙසේ සැලකෙළේය.

2. “භවත් කාත්‍යායනයෙනි, මවිසින් මෙසේ අසන ලද්දේය. (කෙසේද යත්:) ‘මහා කාත්‍යායන ශ්‍රමණතෙමේ (ජරාවෙන්) ජීර්ණවූ ජාතිමහල්ලකවූ, දීර්ඝ කාලයක් ඉක්මුණාවූ පශ්චිම වයසට පිළිවෙලින් පැමිණියාවූ බ්‍රාහ්මණයන් නොවඳියි, දැක හුනස්නෙන්ද නැඟීනොසිටියි, ආසනයෙන්ද, නොපවරයි’ (කියායි). භවත් කාත්‍යායනයෙනි, ඒ මේ කරුණු එසේමය.

භවත් කාත්‍යායනයෝ (ජරාවෙන්) ජීර්ණවූ, වයොවෘද්ධවූ, ජාතිමහල්ලකවූ දීර්ඝ කාලයක් ඉක්මුණාවූ පශ්චිම වයසට පිළිවෙලින් පැමිණියාවූ බ්‍රාහ්මණයන් නොවඳියි, දැක හුනස්නෙන්ද නැඟී නොසිටියි, ආසනයෙන්ද, නොපවරත්ද, “භවත් කාත්‍යායනයෙනි, ඒ මේ කාරණය නුසුදුසුමය.”

3. “බ්‍රාහ්මණය, (දතයුතු සියලු දේ) දන්නාවූ, (සියල්ල) දක්නාවූ, අර්හත්වූ, සම්‍යක්සම්බුද්ධවූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රකාශ කරණලද්දාවූ වෘද්ධයෙන් වන කාරණයද තරුණයෙක් වන කාරණයද ඇත. බ්‍රාහ්මණය, ඉදින් අසූවයස් ඇත්තාවූ හෝ අනූවයස් ඇත්තාවූ හෝ උත්පත්තියෙන් අවුරුදු සියයක් ඇත්තාවූ හෝ වෘද්ධයක්වේද, එහෙත් හෙතෙමේ කාමයන් පරිභොග කෙරේද, ද්විවිධවූ කාමයන් මධ්‍යයෙහි වාසය කෙරේද, කාමදැවිල්ලෙන් හාත්පසින් දැවේද, කාම විතර්කයන් විසින් කනු (පෙළනු) ලැබේද, නොයෙක් කාමයන් සෙවීමෙහි උත්සාහවත් වේද, එසේ ඇතිකල්හි හෙතෙම බාලය වෘද්ධ නැත, යන කොටසට යෙයි (බාලයයි) සලකනු ලැබේ)

4. “බ්‍රාහ්මණය, ඉදින් තරුණ බැව් ඇති, මනාව කළුවූ කෙස් ඇති සොඳුරු යොවුන් වියෙන් සමන්විතවූ, (තෙතිස් වයස් නො ඉක්මවූ) පළමුවෙනි වයසින් යුක්තවූ, තරුණයෙක් වේද, එහෙත් හෙතෙම ද්විවිධ කාමයන් පරිභොග නො කෙරේද, කාමයන් මධ්‍යයෙහි නොවසාද, කාම දැවිල්ලෙන් හාත්පස නොදැවේද, කාම විතර්කයන්ගෙන් කනු (පෙළනු) නොලැබේද, කාමයන් සෙවීමෙහි උත්සාහවත් නොවේද, එසේ ඇති කල්හි හෙතෙම පණ්ඩිතය, ස්ථවිරය යන කොටසට පැමිණේ”

5. මෙසේ වදාළ කල්හි කණ්ඩරායන නම් බ්‍රාහ්මණතෙම හුනස්නෙන් නැගිට උතුරුසළුව එකාංශකොට පොරවා. ‘තරුණවූ, භික්ෂූන්ගේ ‘පාදයන් හිසින් වඳී. පින්වතුන් වහන්සේලා වෘද්ධයෝය. වෘද්ධභූමියෙහි සිටියෝය, අපි තරුණයෝ වම්හ. තරුණභූමියෙහි සිටුම්හ.

“භවත් කාත්‍යායන ස්ථවිරයන් වහන්ස, ඉතාම යහපත. භවත් කාත්‍යායනයෙහි, මුව යටිකුරු කොට තබනලද්දක් යම්සේ මුව උඩුකුරුකොට තබන්නේද, වසන ලද්දක් යම්සේ විවෘත කරන්නේද, මංමුළාවූවෙකුට යම්සේ මාර්ගය කියන්නේද, ඇස් ඇත්තාහු රූපයන් දකිත්වායි අන්ධකාරයෙහි තෙල් පහනක් යම්සේ දල්වන්නේද එපරිද්දෙන්ම භවත් කාත්‍යායන ස්ථවිරයන් වහන්සේ විසින් නොයෙක් ක්‍රමයෙන් ධර්මය දෙශනා කරණ ලද්දේය. භවත් කාත්‍යායන ස්ථවිරයන් වහන්ස, මේ මම භවත් ගෞතමයන් වහන්සේද, ධර්මයද භික්ෂු සංඝයාද සරණයෙමි. භවත් කාත්‍යායන ස්ථවිරතෙමේ අද පටන් දිවිහිම්කොට සරණ ගියාවූ උපාසකයෙකු කොට මා දරණසේක්වා.”

චොරබල සූත්‍රය:—“මහණෙනි, යම් කාලයෙක්හි සොරු බලවත් වූවාහුවෙත්ද, ඒකාලයෙහි රජවරු දුර්වලවූවාහු වෙත්. මහණෙනි, එකල්හි රජුට (ඇතුළු නුවරට සිතු කෙණෙහි) පිවිසෙන්නට හෝ (ඇතුළු නුවරින්) නික්ම යාමට හෝ පසල් දනව්වෙහි කටයුතු දේ පාලනය කිරීමට හෝ පහසු නොවේ. ඒ කාලයෙහි බ්‍රාහ්මණ ගෘහපතියන්ටද යන්නට හෝ පිටත්ව යන්නට හෝ බාහිර කර්මාන්තයන් පරීක්ෂා කිරීමට හෝ පහසු නොවෙයි.

2. “මහණෙනි, එපරිද්දෙන්ම යම් කාලයෙක්හි පාප භික්ෂූහු බලවත් වූවාහු වෙත්ද, ඒ කාලයෙහි ප්‍රියශිලී භික්ෂූහු දුර්වල වූවාහු වෙත්. මහණෙනි, එකල්හි ප්‍රියශීලී භික්ෂූහු නිශ්ශබ්දවූවාහු සඟමැද තූෂ්ණිම්භූතව දුර්මුඛව සිටිත්. පසල් දනව් හෝ සොයා යත්. මහණෙනි, ඒ මේ කාරණය බොහෝදෙනාට අහිත පිණිස, බොහෝදෙනාට නොසැප පිණිස, බොහෝදෙනාට අනර්ථය පිණිස, දෙව්මිනිසුන්ට අවැඩ පිණිස, දුක් පිණිස වේ.”

රජබල සූත්‍රය:—“මහණෙනි, යම් කලෙක්හි රජවරු බලවත් වූවාහු වෙත්ද, එකල සොරු දුර්වල වූවාහු වෙත්. ඒ කාලයෙහි රජුට පිවිසෙන්නට හෝ නික්ම යන්නට හෝ පසල් දනව්වෙහි කටයුතු දේ පාලනය කිරීමට හෝ පහසු වේ. ඒ කාලයෙහි බමුණු ගැහැවියන්ටද පිවිසෙන්නට හෝ නික්මෙන්නට හෝ කර්මාන්තයන් පරීක්ෂා කරන්නට හෝ පහසු වෙයි.

2. “මහණෙනි, එපරිද්දෙන්ම යම් කාලයෙක්හි ප්‍රියශීලී භික්ෂූහු බලවත්වූවාහු වෙත්ද, ඒ කාලයෙහි පාප භික්ෂූහු දුර්වල වූවාහු වෙත් මහණෙනි, ඒ කාලයෙහි පාප භික්ෂූහු සඟමැද අතිශයින් නිශ්ශබ්දව තූෂ්ණිම්භූතව දුර්මුඛව සිටිත්. කොතැන්හි හෝ පලා යෙත්. මහණෙනි, ඒ මේ කාරණය බොහෝ දෙනාට හිත පිණිස බොහෝ දෙනාට සැප පිණිස බොහෝ දෙනාට යහපත පිණිස, දෙව් මිනිසුන්ගේ හිත පිණිස සැප පිණිස වේ”

මිච්ඡාපටිපත්ති සූත්‍රය-“මහණෙනි, මම දෙදෙනෙකුන්ගේ මිථ්‍යා ප්‍රතිපත්තිය වර්ණනා නොකරමි. (එනම්): ගිහියාගේ හෝ පැවිද්දාගේ හෝ යනදෙදෙනාගේයි. මහණෙනි, ගිහියෙක් හෝ පැවිද්දෙක් හෝ වරදවා පිළිපන්නේවේද, හෙතෙම වරදවා පිළිපන්නේවේද, හෙතෙම වරදවා පිළිපැදීමේ කාරණය හේතුකොටගෙණ කුසල්වූ න්‍යාය ධර්මය (විදර්ශනා සහිත ආර්‍ය්‍ය මාර්ගය) සම්පාදනය කරන්නෙක් නොවේ.”

සම්මාපටිපත්ති සූත්‍රය:—“මහණෙනි, මම දෙදෙනකුන්ගේ සම්‍යක් ප්‍රතිපත්තිය වර්ණනා කරමි. (එනම්ත) ගිහියා ගේ හෝ පැවිද්දාගේ හෝ යන දෙදෙනාගේයි. මහණෙනි, ගිහියෙක් හෝ පැවිද්දෙක් හෝ මනාකොට පිළිපන්නේවේද, හෙතෙම මනාකොට පිළිපැදීම් හේතුකොටගෙණ කුසල්වූ න්‍යාය ධර්මය (විදර්ශනා සහිත ආර්‍ය්‍ය මාර්ගය) සම්පාදනය කරන්නෙක් වේ.”

ධම්මපටිබාහන සූත්‍රය:—“මහණෙනි, යම් භික්ෂූහු වරදවා ගන්නා ලද්දාවූ, අකුරෙන් පමණක් සමානවූ, අර්ථයෙන් අසමානවූ සූත්‍රාන්තයන් කරණකොටගෙන අර්ථයත් පාළි ධර්මයත් ඉවත දමත්ද, මහණෙනි, ඒ භික්ෂූහු බොහෝ දෙනාට අහිත පිණිස, බොහෝ දෙනාට නොසැප පිණිස බොහෝ දෙනාට අනර්ථය පිණිස දෙව් මිනිසුන්ට අවැඩ පිණිස දුක් පිණිස පිළිපන්නාහු වෙත් මහණෙනි, ඒ භික්ෂූහු බොහෝ අකුසල්ද රැස් කරත්. ඔව්හු මේ සද්ධර්මයද අතුරුදහන් කරන්නාහු වෙත්.”

ධම්මානුලොමක සූත්‍රය:—“මහණෙනි, යම් භික්ෂූහු මනාකොට ගන්නාලද්දාවූ, ව්‍යඤ්ජනයෙන්ම නොව අර්ථයෙන්ද සමානවූ සූත්‍රාන්තයන් කරණකොට ගෙණ, අර්ථ කථාවද පාළි ධර්මයද සුදුසුසේ තබත්ද, මහණෙනි, ඒ භික්ෂූහු තුමූ බොහෝ දෙනාට හිත පිණිස, බොහෝදෙනාට සැප පිණිස බොහෝ දෙනාට අර්ථය පිණිස දෙව් මිනිසුන්ට හිත පිණිස, සැප පිණිස පිළිපන්නාහු වෙත්. මහණෙනි, ඒ භික්ෂූහු බොහෝවූ කුසල්ද රැස්කරත්. ඔව්හු මේ සද්ධර්මය පිහිටුවත්.’

(සතරවෙනි සමචිත්ත වර්ගය නිමි.)