අංගුත්තර නිකාය
දුක නිපාතය
පළමුවෙනි පණ්ණාසකය
1. කම්මකාරණ වර්ගය
5. පිරිස් වර්ගය
උත්තානපරිස සූත්‍රය:—1. “මහණෙනි, මේ පිරිස්හු දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්: ප්‍රකටවූ (මතුපිට පෙණෙන) පිරිසද ගැඹුරුවූ පිරිසද (යන දෙකයි)
2. “මහණෙනි, ප්‍රකටවූ පිරිස කවරේද?
“මහණෙනි, මේ ශාසනයෙහි යම් පිරිසෙක්හි භික්ෂූහු උඩඟු වූවාහු, උද්ගතවූ හිස් මාන නමැති නළ ඇත්තාහු, චපල වූවාහු ක්‍රෑර වචන ඇත්තාහු, ප්‍රලාප වචන ඇත්තාහු, මුළාසිහි ඇත්තාහු, සම්‍යක් ප්‍රඥාව නැත්තාහු, එකඟ සිත් නැත්තාහු, විශෙෂයෙන් කලබල සිත් ඇත්තාහු, සංවරයට නොපැමිණි ඉඳුරන් ඇත්තාහු වෙත්ද, මහණෙනි, මේ වනාහි මතුපිටවූ (නොගැඹුරුවූ) පිරිසයයි කියනු ලැබේ.
3. “මහණෙනි, ගැඹුරුවූ පිරිස කවරීද?
“මහණෙනි, මේ ශාසනයෙහි යම් පිරිසෙක්හි භික්ෂූහු උඩඟු නොවූවාහු, උද්ගතවූ හිස් මාන නමැති නළ නැත්තාහු, චපල නොවූවාහු, රළුබස් නැත්තාහු, ප්‍රලාප වචන නැත්තාහු, එළඹ සිටි සිහි ඇත්තාහු, සම්‍යක් ප්‍රඥා ඇත්තාහු, තැන්පත් සිත් ඇත්තාහු එකඟවූ සිත් ඇත්තාහු, සංවරණය කරණලද ඉන්ද්‍රිය ඇත්තාහු වෙත්ද, මහණෙනි, මේ ගැඹුරු පිරිස යයි කියනු ලැබේ.
4. “මහණෙනි, මේ වනාහි පිරිස්හූ දෙදෙන වෙති. මහණෙනි, මේ පිරිස් දෙදෙන අතුරෙන් යම් මේ ගැඹුරුවූ පිරිසක්වේද, මේ පිරිස ශ්‍රෙෂ්ඨයි.”
වග්ගාපරිස සූත්‍රය:—1. “මහණෙනි, මේ පිරිස්හු දෙදෙනෙක් වෙත්, කවර දෙදෙනෙක්ද යත්, වර්ගවූ අසමගි
පිරිසද, සමගිවූ පිරිසද (යන දෙදෙනයි).
2. “මහණෙනි, වර්ගවූ පිරිස කවරීද?
“මහණෙනි, මේ ශාසනයෙහි යම් පිරිසෙක්හි භික්ෂූහු තුමූ හටගත් ඩබර ඇත්තාහු, හටගත් කෝලාහල ඇත්තාහු, විරුද්ධ වාදයට පැමිණියාහු, එකිනෙකා වචන නමැති සැත්වලින් විදිමින් වාසය කෙරෙත්ද, මහණෙනි, මේ වර්ගවූ පිරිසයයි කියනු ලැබේ.
3. “මහණෙනි, සමගි පිරිස කවරීද? මහණෙනි, මේ ශාසනයෙහි යම් පිරිසෙක්හි භික්ෂූහු තුමූ සමගි වූවාහු, (එක්ව) සතුටු වූවාහු විරුද්ධ වාද නොකරන්නාහු, කිරි හා ජලය මෙන් එක්වූවාහු, ඔවුනොවුන් ප්‍රිය ඇස්වලින් බලමින් වාසය කෙරෙත්ද, මහණෙනි, මේ සමඟි පිරිසයයි කියනු ලැබේ.
4. “මහණෙනි, මේ වනාහි පිරිස්හු දෙදෙන වෙත්. මහණෙනි, මේ පිරිස් දෙදෙන අතුරෙන් යම් මේ සමගි පිරිසක් වේද, එය ශ්‍රෙෂ්ඨයි.”
අග්ගවතිපරිස සූත්‍රය:—‘මහණෙනි, මේ පිරිස්හු දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්: උත්තම පුද්ගලයන් ඇත්තාවූ පිරිසද උතුම්වූ පුද්ගලයන් නැත්තාවූ පිරිසද (යන දෙකයි).
2. “මහණෙනි, උත්තම පුද්ගලයන් නැත්තාවූ (නිකෘෂ්ට) පිරිස කවරීද? මහණෙනි, මේ ශාසනයෙහි යම් පිරිසෙක්හි ස්ථවිර භික්ෂූහු බහුල භාවය පිණිස පිළිපන්නාහු, (ශාසනය) ලිහිල්කොට ගන්නාහු, ශික්ෂා ගරුක නොව පසුබැසීම් නම් පඤ්චනීවරණ ධර්මපූරණයෙහි පූර්වාංගම (පෙරදැරි) වූවාහු, නිර්වාණයෙහි බහා තබනලද, හරණලද, උත්සාහ ඇත්තාහු වෙත්ද, ඔව්හු පෙර නොපැමිණෙන ලද්දට පැමිණීම පිණිසත් අනධිගත (අවබොධ නෙ කරණලද) ධ්‍යානාදීන්ගේ අවබොධය පිණිසත් (කායික චෛතසික) වීර්‍ය්‍යය පටන් නොගණිත්.”
3. “පශ්චිම ජන සමූහයා ද, තමන් දුටු දේ අනුව පිළිපැදීමට පැමිණේ (සැරසේ). ඕතොමෝද (ඒ පශ්චිම ජනතාවද), (ප්‍රත්‍ය) බාහුල්‍යාදියෙන් යුක්තවූවා, සස්න ලිහිල් කොට ගත්තී, පහත බැසීම් නම් පඤ්චනීවරණ ධර්මපූරණයෙහි පෙරටුව යන්නී නිර්වාණයෙහි බහා තබනලද උත්සාහ ඇත්තී, පෙර නොපැමිණෙන ලද ගුණයන්ට පැමිණීම පිණිස හා අවබොධ නොකළ ගුණ විශෙෂයන්ගේ අවබොධය පිණිසද, ප්‍රත්‍යක්ෂ නොකළ ධර්මයන් ප්‍රත්‍යක්ෂ කිරීම පිණිසද (කායික චෛතසික) වීර්‍ය්‍යය පටන් නොගණී. මහණෙනි, මේ අග්‍ර නොවූ පුද්ගලයන් ඇති පිරිසයයි කියනුලැබේ.
4. “මහණෙනි, උතුම් පුද්ගලයන් ඇති පිරිස කවරීද? මහණෙනි, මේ ශාසනයෙහි යම් පිරිසෙක්හි ස්ථවිර භික්ෂූහු (ප්‍රත්‍ය) බාහුල්‍යයෙන් යුක්ත නොවෙත්ද, ශාසනය ලිහිල් කොට නොගන්නේ (ශික්ෂාගරුකයෝ) වෙත්ද, පසුබැසීම් නම් පඤ්චනීවරණ ධර්මයෙහි හරණ ලද වීර්‍ය්‍යය ඇත්තෝ වෙත්ද, නිර්වාණ ධර්මයෙහි පූර්වංගම (පෙරදැරි) වූවෝ වෙත්ද, ඔවුහු නොලැබූ ගුණයන් ලැබීම පිණිසද, අවබොධ නොකරණ ලද ධර්මයන් අවබොධ කිරීම පිණිසද ප්‍රත්‍යක්ෂ නොකරණලද ධර්මයන් ප්‍රත්‍යක්ෂ කිරීම පිණිසද වීර්‍ය්‍යය පටන් ගණිති.
5. “පශ්චිම ජනසමූහයාද ඔවුන්ගේ දෘෂ්ටිය (තමන් දුටුදේ) අනුව යාමට සැරසේ. ඕ තොමෝද ප්‍රත්‍ය බාහුල්‍යයෙන් යුක්ත නොව සස්න ලිහිල්කොට නොගත්තී පහත බැසීම් නම් පඤ්ච නීවරණ ධර්මපූරණයෙහි පෙරටුව නොයන්නී නිර්වාණයෙහි බහා නොතබන ලද උත්සාහ ඇත්තී පෙර නොපැමිණෙන ලද ගුණයන්ට පැමිණීම පිණිස හා අවබොධ නොකළ ගුණ විශෙෂයන්ගේ අවබොධය පිණිසද, ප්‍රත්‍යක්ෂ කළ ධර්මයන් ප්‍රත්‍යක්ෂ කිරීම පිණිසද (කායික චෛතසික) වීර්‍ය්‍යය පටන්ගණී. මහණෙනි, මේ අග්‍රවතී (උතුමන් ඇති) පිරිසයයි කියනු ලැබේ.
6. “මහණෙනි, මේ වනාහි පිරිස් දෙකකි. මහණෙනි, මේ පිරිස් දෙක අතුරෙන් යම් මේ අග්‍රවතී පිරිසක් වේද මෙය උතුම් වේ.”
අරිය සූත්‍රය:—“මහණෙනි, මේ පිරිස්හු දෙදෙනෙක් වෙත් කවර දෙදෙනෙක්ද යත්, ආර්‍ය්‍යවූ පිරිසද අනාර්‍ය්‍ය (පෘථග්ජන) වූ පිරිසද (යන දෙදෙනයි.)
2. “මහණෙනි, අනාර්‍ය්‍ය (පෘථග්ජන) පිරිස කවරීද? මහණෙනි, මේ ශාසනයෙහි යම් පිරිසෙක්හි භික්ෂූහු මේ (පඤ්චස්කන්ධය) දුක් යයි ඇතිසැටියෙන් නොදනිත්ද, මේ (තෘෂ්ණාව) දුක් හටගැණීමේ හේතුවයයි ඇතිසැටියෙන් නොදනිත්ද, මේ (තෘෂ්ණා නිරොධය) දුක් නැසීමයයි ඇති සැටියෙන් නොදනිත්ද, මේ (ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය) දුක් නිරුද්ධ කිරීමට පමුණුවන පිළිවෙතයයි ඇතිසැටියෙන් නොදනිත්ද, මහණෙනි, මේ ආර්‍ය්‍ය නොවූ පිරිසයයි කියනු ලැබේ
3. “මහණෙනි, ආර්‍ය්‍ය පිරිස කවරීද? මහණෙනි, මේ ශාසනයෙහි යම් පිරිසෙක්හි භික්ෂූහු තුමූ මේ දුකයයි තත්වූ පරිද්දෙන් දනිත්ද, මේ දුක් උපදින හේතුවයයි තතුසේ දනිත්ද, මේ දුක් නැතිකිරීමයි තතුසේ දනිත්ද, මේ දුක් නැති කිරීමේ පිළිවෙත යයි තතුසේ දනිත්ද, මහණෙනි, මේ ආර්‍ය්‍ය පිරිසයයි කියනු ලැබේ.
4. “මහණෙනි, මේ වනාහි පිරිස් දෙකකි. මහණෙනි මේ පිරිස් දෙක අතුරෙන් යම් මේ ආර්‍ය්‍ය පිරිසක් වේද, ඒ අග්‍ර වේ.
කසට සූත්‍රය:—“මහණෙනි, මේ පිරිස්හු දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, කසට (හිස්) පිරිසද මණ්ඩ (සාර) පිරිසද (යන දෙදෙනයි.)
2. “මහණෙනි, කසට (බොල් හෙවත් නිස්සාර) පිරිස කවරීද? මහණෙනි, මේ ශාසනයෙහි යම් පිරිසෙක්හි භික්ෂූහු ඡන්දයෙන් අගතියට යෙත්ද, ද්වෙෂයෙන් අගතියට යෙත්ද, මොහයෙන් අගතියට යෙත්ද, භයින් අගතියට යෙත්ද, මහණෙනි, මේ කසට (හිස්) පිරිස යයි කියනු ලැබේ.
3. “මහණෙනි, ප්‍රසන්න (සාර) වූ පිරිස කවරීද? මහණෙනි, මේ ශාසනයෙහි යම් පිරිසෙක්හි භික්ෂූහු ඡන්දයෙන් අගතියට නොයත්ද, ද්වෙෂයෙන් අගතියට නොයත්ද, මොහයෙන් අගතියට නොයත්ද, භයින් අගතියට නොයත්ද, මහණෙනි, මේ ප්‍රසන්නවූ පිරිස යයි කියනු ලැබේ.
4. “මහණෙනි, මේ වනාහි පිරිස් දෙකකි. මහණෙනි, මේ පිරිස් දෙක අතුරෙන් යම් මේ ආර්‍ය්‍ය පිරිසක් වේද, ඒ අග්‍රයි.”
උක්තා සූත්‍රය:—1 “මහණෙනි, මේ පිරිස් දෙකක් වෙත් කවර දෙකක්ද යත්, හික්මවන්නට නොහැකිවූ ධර්මය අසා දැනනොගෙන නොහික්මුනාවූ පිරිසද, ධර්මය අසා දැන ගෙන හික්මුනාවූ, සුවිනීතවූ පිරිසද වෙත්.
2. “මහණෙනි, හික්මවන්නට නොහැකිවූ ධර්මය අසා දැනනොගෙන නොහික්මුනාවූ පිරිස කවරීද? මහණෙනි, මේ ශාසනයෙහි යම් පිරිසෙක්හි භික්ෂූහු තථාගතයන් වහන්සේ විසින් දෙශනා කරණ ලද ගැඹුරුවූ, ගැඹුරු අර්ථ ඇත්තාවූ, ලොකොත්තරාර්ථ දක්වන්නාවූ, ශූන්‍යතාප්‍රතිසංයුක්තවූ යම් ඒ සූත්‍රාන්තයෝ වෙත් නම් ඒ සූත්‍රාන්තයන් කියනු ලබන කල්හි සතුටින් නොඅසත්ද, කන් යොමු නොකරත්ද, දැනගැණීම පිණිස සිත එළවා නොතබද්ද, ඒ ධර්මයන් ඉගෙණ ගතයුතුය. පුහුණු කළ යුතුයයි නොහඟිද්ද, (බාහිර) කවීන් විසින් කරන ලද, කවීන් පිළිබඳ විසිතුරු අකුරු ඇත්තාවූ, විසිතුරු ව්‍යඤ්ජනයන් ඇත්තාවූ, ශාසනයෙන් බැහැරවූ බාහිරක ශ්‍රාවකයන් විසින් කියන ලද්දාවූ යම් ඒ සූත්‍රාන්තයෝ වෙත් නම් ඒ සූත්‍රාන්තයන් කියනු ලබන කල්හි සතුටින් අසත්ද, කන් යොමු කරත්ද, දැනගැණීම පිණිස සිත එළවා තබත්ද, ඒ ධර්මයන් ඉගෙණගතයුතුයයි ප්‍රගුණ කටයුතුයයි හඟිත්ද, ඔව්හු ඒ ධර්මය ප්‍රගුණ කොට කෙසේද, මේ පද වචනාදිය කුමක්ද? මෙහි අර්ථය කවරේදැ?යි” ඔවුනොවුන්ගෙන් නොවිචාරත්ද, (එසේ විචාරීම පිණිස) ඔබමොබ නොහැසිරෙත්ද, ඔව්හු තුමූ වැසුණාවූ අර්ථ විවෘත නොකෙරෙත්ද, නොයෙක් ආකාරවූ සැකයට කරුණුවූ ධර්මයන් කෙරෙහි සැකය පහනොකෙරෙත්ද, මහණෙනි, මේ (පිරිස) දුර්විනීතවූ (අසා දැනගැනීමෙන්) නොහික්මුණාවූ පිරිස යයි කියනු ලැබේ.
3. “මහණෙනි, අසා දැනගැනීමෙන් හික්මුනාවූ, සුවිනීතවූ පිරිස කවරීද? මහණෙනි, මේ ශාසනයෙහිවූ යම් පිරිසෙක්හි භික්ෂූහු කවීන් විසින් කරණ ලද, කවීන්ට හිතවූ (කවීන් පිළිබඳවූ) විසිතුරු අකුරු හා විසිතුරු පද වචනාදිය ඇත්තාවූ, බාහිරක ශ්‍රාවකයන් විසින් කියන ලද්දාවූ යම් ඒ සූත්‍රාන්තයෝ වෙත් නම් ඒ සූත්‍රාන්තයන් කියනු ලබන කල්හි සතුටින් නොඅසත්ද, කන් යොමු නොකරත්ද, දැනගැණීම පිණිස සිත එළවා නොතබත්ද, ඒ ධර්මයන් ඉගෙණ ගතයුතු යයි ප්‍රගුණ කටයුතු යයි නොහඟිත්ද, තථාගතයන් වහන්සේ විසින් දෙශනා කරණ ලද ගැඹුරුවූ ගැඹුරු අර්ථ ඇත්තාවූ ලොකොත්තරාර්ථ දක්වන්නාවූ ශූන්‍යතා ප්‍රතිසංයුක්තවූ යම් ඒ සූත්‍රාන්තයෝ වෙත් නම් ඒ සූත්‍රාන්තයන් කියනු ලබන කල්හි සතුටින් අසත්ද, කන් යොමු කරත්ද, දැනගැණීම පිණිස සිත එලවා තබත්ද, ඒ ධර්මයන් උද්ග්‍රහණය කටයුතුය ප්‍රගුණ කටයුතුයයි හඟිත්ද, ඔව්හු ඒ ධර්මය ප්‍රගුණ කොට මේ පද වචනාදිය කුමක්ද මෙහි අර්ථය කවරේදැයි ඔවුනොවුන් විචාරත්ද, ඔබමොබ හැසිරෙත්ද ඔව්හු වැසුණාවූ අර්ථ විවෘත කෙරෙත්ද, ප්‍රකට නොවූවක් (ගැඹුරුවූවක්) ප්‍රකට කෙරෙත්ද, නොයෙක් ආකාරවූ සැකයට කරුණුවූ ධර්මයන් කෙරෙහි සැකය පහකෙරෙත්ද, මහණෙනි, මේ පිරිස පිළිවිසීමෙන් හික්මුනාවූ හික්මවන්ට හැකිවූ පිරිස යයි කියනු ලැබේ.
4. “මහණෙනි, මේ වනාහි පිරිස්හු දෙකකි. මේ පිරිස් දෙක අතුරෙන් යම් මේ පිළිවිසීමෙන් හික්මුනාවූ සුවිනීතවූ පිරිසක් වේද මේ පිරිස අග්‍ර වේ.”
ආමිසගරු සූත්‍රය-1. “මහණෙනි, මේ පිරිස් දෙකක් වෙත්. කවර දෙකක්ද යත්, සිවුපසය ගරු කොට ඇත්තාවූ දහම් ගරුකොට නැත්තාවූ පිරිසද, දහම් ගරුකොට ඇත්තාවූ ආමිෂය (සිවුපසය) ගරුකොට නැත්තාවූ පිරිසද වෙත්.
2. “මහණෙනි, සිවුපසය ගරුකොට සලකන්නාවූ සදහම් ගරුකොට නොසලකන්නාවූ පිරිස කවරීද? මහණෙනි මේ ශාසනයෙහි යම් පිරිසෙක්හි භික්ෂූහු සුදුවත් හඳින්නාවූ ගිහීන් ඉදිරියෙහි එකිනෙකාගේ ගුණ දොස් කියමින් ‘අසවල් මහණතෙම (විස්කම්භන සමුච්ඡෙද යන) දෙකොටසින් මිදුණේය, අසවල් මහණතෙම ප්‍රඥාවෙන් විමුක්තය, අසුවලා කයින් ධ්‍යාන ස්පර්ශකොට පසුව නිවන් ප්‍රත්‍යක්ෂ කෙළේය. අසුවලා මාර්ග දෘෂ්ටියට පැමිණියේය. අසුවලා ශ්‍රද්ධාව නිසා මිදුනේය, අසුවලා ධර්මය අනුව සිහිකරන ස්වභාවය, අසුවලා ශ්‍රද්ධානුසාරීය, අසුවලා සිල්වත්ය, අසුවලා කල්‍යාණ ස්වභාව ඇත්තේය, අසුවල් මහණතෙම ලාමකවූ ස්වභාව ඇත්තේය. දුශ්ශීලයයි කියත්. ඔව්හු තුමූ ඒ ගුණාගුණ කීමෙන් සිවුපසය ලබත්. ඔව්හු ඒ ලාභයෙහි (තෘෂ්ණාවෙන්) ගැටගැසුනාහු මූර්ඡා වූවාහු ගැලී සිටියාහු ආදීනව (වරද) නොදක්නා ස්වභාව වූවාහු ඡන්දරාගය දුරුකරණ ප්‍රඥාවෙන් තොර වූවාහු (සිවුපසය) පරිභොග කෙරෙත්. මහණෙනි, මේ ආමිසය ගරු කොට ඇත්තාවූ සදහම් ගරුකොට නැත්තාවූ පිරිස යයි කියනු ලැබේ
3. මහණෙනි, දහම ගරුකොට ඇත්තාවූ සිවුපසය ගරුකොට නැත්තාවූ පිරිස කවරීද? මහණෙනි, මේ ශාසනයෙහි යම් පිරිසෙක්හි භික්ෂූහු සුදුවත් හඳින්නාවූ ගිහීන්ගේ ඉදිරියෙහි එකිනෙකාගේ ගුණ නොකියන්නේ අසවල් මහණ තෙම (විස්කම්භන සමුච්ඡෙද යන) දෙකොටසින් විමුක්තය, අසවල් භික්ෂුතෙම ප්‍රඥාවෙන් විමුක්තය, අසවල් මහණතෙම කයින් ධ්‍යාන ස්පර්ශකොට පසුව නිවන් පසක් කෙළේය. අසවල් මහණතෙම මාර්ගදෘෂ්ටියට පැමිණීයේය, අසවල් මහණ තෙම ශ්‍රද්ධාවිමුක්තිය, අසවල් මහණතෙම ධර්මානුසාරීය, අසවල් මහණතෙම ශ්‍රද්ධානුසාරීය, අසවල් මහණතෙම සිල්වත්ය, යහපත් ස්වභාව ඇත්තේය. අසවල් මහණතෙම දුශ්ශීලය පාප ස්වභාව ඇත්තේයයි නොකියත්ද, ඔව්හු තුමූ සිවුපසය ලැබීමෙහි (තෘෂ්ණාවෙහි) ගැට නොගැසුනාහු මුසපත් නොවූවාහු ගැලී නොසිටියාහු ආදීනව දක්නාසුලු වූවාහු නිස්සරණ ප්‍රඥාවෙන් යුක්තවූවාහු (සිවුපසය) පරිභොග කරත්. මහණෙනි, මේ සද්ධර්මය ගරුකරන්නාවූ ආමිෂය ගරුනොකරන්නාවූ පිරිසයයි කියනු ලැබේ. මහණෙනි, මේ වනාහි පිරිස් දෙකකි.
4. “මහණෙනි, මේ පිරිස් දෙක අතුරෙන් යම් මේ සද්ධර්මය ගරුකරන්නාවූ ආමිෂය ගරුනොකරන්නාවූ පිරිසක් වේද, මේ පිරිස අග්‍රවේ.”
විසමපරිස සූත්‍රය:—1. “මහණෙනි, මේ පිරිස්හු දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, විසමවූ (පැකිලීම් ඇති) පිරිසද, සමවූ (නොපැකිලෙන) පිරිසද (යන දෙක) වෙත්. මහණෙනි, විසම පිරිස කවරීද?
2. “මහණෙනි, මේ ශාසනයෙහි යම් පිරිසෙක්හි අධර්ම කර්මයෝ පවතිත්ද, ධර්ම කර්මයෝ නොපවතිත්ද, විනයට විරුද්ධ කර්මයෝ පවතිත්ද, විනය කර්මයෝ නොපවතිත්ද, අධර්ම කර්මයෝ බබලත්ද, ධර්ම කර්මයෝ නොබබලත්ද, විනයට විරුද්ධවූ කර්මයෝ දීප්තියට පැමිණෙත්ද, විනය කර්මයෝ දීප්තියට නොපැමිණෙත්ද, මහණෙනි, මේ විෂමවූ පිරිස යයි කියනු ලැබේ. මහණෙනි, පිරිස විසම බැවින් අධර්ම කර්මයෝ පවතිත්, ධර්ම කර්මයෝ නොපවතිත්. විනයට විරුද්ධ කර්මයෝ පවතිත්. විනය කර්මයෝ නොපවතිත්. අධර්ම කර්මයෝ දීප්තියට පැමිණෙත්. ධර්ම කර්මයෝ නොබැබලෙත්. විනය විරුද්ධ කර්මයෝ දීප්තියට පැමිණෙත්. විනය කර්මයෝ දීප්තියට නොපැමිණෙත්.
4. ‘මහණෙනි, සමවූ පිරිස කවරීද?
5. “මේ ශාසනයෙහි යම් පිරිසෙක්හි ධර්ම කර්මයෝ පවතිත්ද, අධර්ම කර්මයෝ නොපවතිත්ද, විනය කර්මයෝ පවතිත්ද, අවිනය කර්මයෝ නොපවතිත්ද, ධර්ම කර්මයෝ බැබලෙත්ද, අධර්ම කර්මයෝ නොබැබලෙත්ද, විනය කර්මයෝ
බැබලෙත්ද, විනය විරුද්ධ කර්මයෝ නොබැබලෙත්ද, මහණෙනි, මේ සමපිරිසයයි කියනු ලැබේ. මහණෙනි, පිරිස සම බැවින් ධර්ම කර්මයෝ පවතිත්, අධර්ම කර්මයෝ නොපවතිත්. විනය කර්මයෝ පවතිත්, අවිනය කර්මයෝ නොපවතිත්. ධර්ම කර්මයෝ බැබලෙත්, අධර්ම කර්මයෝ නොබැබලෙත්, විනය කර්මයෝ බැබලෙත්, විනය විරුද්ධ කර්මයෝ නොබැබලෙත්.
6. “මහණෙනි, මේ වනාහි පිරිස් දෙකකි. මහණෙනි, මේ පිරිස් දෙක අතුරෙන් යම් මේ සමවූ පිරිසක් වේද, එය අග්‍රයි.
අධම්මක සූත්‍රය:—“මහණෙනි, මේ පිරිස්හු දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, අධාර්මික පිරිසද ධාර්මික පිරිසද (යන දෙක) වෙත්.
2. “මහණෙනි, අධාර්මික පිරිස කවරීද?
(මේ වර්ගයේ 8 සූත්‍රයේ 3 වෙනි ඡෙදය මෙනි)
3. “මහණෙනි, ධාර්මික පිරිස කවරීද? (මේ ඡෙදය මේ වර්ගයේ 8 සූත්‍රයේ 5 ඡෙදය මෙනි)
4. “මහණෙනි, මේ පිරිස් දෙකක්වේ. මහණෙනි, මේ පිරිස් දෙක අතුරෙන් යම් මේ ධාර්මික පිරිසක් වේද, මෙය අග්‍රවේ
ධම්මිය සූත්‍රය:—1 “මහණෙනි, මේ පිරිස්හු දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, මහණෙනි, අධර්මවාදි පිරිසද ධර්මවාදි පිරිසද (යන දෙක) වෙත්.
2. “මහණෙනි, අධර්මවාදී පිරිස කවරීද? මහණෙනි, මේ ශාසනයෙහි යම් පිරිසෙක්හි භික්ෂූහු ධාර්මිකවූ හෝ අධාර්මිකවූ හෝ විවාද ආදි විනිශ්චය කළයුතු කරුණක් ගනිත්ද, ඔව්හු ඒ අධිකරණය ගෙණ එකිනෙකාට ඒ බව නොමදන්වත්ද, දැන්වීම සඳහා රැස්නොවෙත්ද, නොදක්වත්ද, දැක්වීමට නොඑළඹෙත්ද, ඔව්හු තුමූ අසඤ්ඤත්තිය (නොදැන්වීම) බලය කොට ගත්තාහු නොදැක්වීම බලයකොට ගත්තාහු විවාදය අත්හැරීමට අදහස් නැත්තාහු ඒ අධිකරණයම ශක්තියෙන් අල්වාගෙන ඒ දෘෂ්ටිය සිතෙහි ඇතුල්කොට (මෙසේ) ප්‍රකාශ කෙරෙත්ද, මේ (අපගේ
වචනය) ම සත්‍යය මෙයින් අන්‍යවූ වචන තුච්ඡය’යි කියායි. මහණෙනි, මෙබඳුවූ පිරිස අධර්මවාදි පිරිස යයි කියනු ලැබේ.
3. “මහණෙනි, ධර්මවාදි පිරිස කවරීද? මහණෙනි, මේ ශාසනයෙහි යම් පිරිසෙක්හි භික්ෂූහු ධාර්මිකවූ හෝ අධාර්මිකවූ හෝ (විවාද ආදි) අධිකරණයක් ගණිත්ද, ඔව්හු තුමූ මේ අධිකරණය ගෙණ එකිනෙකාට මේ ගැණ දන්වත්ද දැන්වීම් පිණිස රැස්වෙත්ද, දක්වත්ද, දැක්වීම පිණිස පැමිණෙත්ද, ඔව්හු තුමූ දැන්වීම් බලයකොට ඇත්තාහු, දැක්වීම බලයකොට ඇත්තාහු, බැහැරලීමෙහි අදහස් ඇත්තාහු, ඒ අධිකරණයම ශක්තියෙන් අල්වාගෙන ඒ හැඟීම (සිතෙහි) ඇතුල්කොට මෙසේ ප්‍රකාශ නොකෙරෙත්ද, (කෙසේද?) ‘මේ අපගේ වචනයම සත්‍යය, අන්‍යයන්ගේ වචනය තුච්ඡය’යි කියායි. මහණෙනි, මෙබඳු පිරිස ධර්මවාදී පිරිස යයි කියනුලැබේ.
4. “මහණෙනි, මෙසේ මේ පිරිස්හු දෙදෙනෙක් වෙත්. මහණෙනි, මේ පිරිස් දෙක අතුරෙන් යම් මේ ධර්මවාදී පිරිසක් වේද, මේ පිරිස අග්‍රය.”
(පස්වෙනි වර්ගය නිමි.)
පළමුවෙනි පණස නිමි.