අංගුත්තර නිකාය

දුක නිපාතය

පළමුවෙනි පණ්ණාසකය

2. දෙවෙනි පණස

6. පුද්ගල වර්ගය

ද්වෙ පුග්ගල සූත්‍රය:—“මහණෙනි, මේ පුද්ගලයෝ දෙදෙනෙක් ලොකයෙහි උපදින්නාහු බොහෝදෙනාට හිත පිණිස බොහෝ දෙනාට සැප පිණිස බොහෝ ජනයාට වැඩ පිණිස දෙවි මිනිසුන්ට හිත පිණිස සැප පිණිස උපදිත්. කවර දෙදෙනෙක්දයත්, අර්හත්වූ සම්‍යක් සම්බුද්ධවූ තථාගතයන් වහන්සේද සක්විති රජතෙමේද (යනදෙදෙන) වෙත්. මහණෙනි, මේ පුද්ගලයෝ දෙදෙන වනාහි ලොව උපදින්නාහු බොහෝ දෙනාට හිත පිණිස බොහෝදෙනාට සැප පිණිස බොහෝ ජනයාට වැඩ පිණිස දෙවි මිනිසුන්ට හිත පිණිස සැප පිණිස උපදිත්.”

අච්ඡරිය මනුස්ස සූත්‍රය:—“මහණෙනි, මේ පුද්ගලයෝ දෙදෙනෙක් ලොව උපදින්නාහු ආශ්චර්‍ය්‍ය මනුෂ්‍යයෝව උපදිත්. කවර දෙදෙනෙක්ද යත්, තථාගතවූ අර්හත්වූ සම්‍යක් සම්බුද්ධයන් වහන්සේද සක්විති රජ තෙමේද වෙත්. මහණෙනි, මේ පුද්ගලයෝ දෙදෙන වනාහි ලොව උපදින්නාහු ආශ්චර්‍ය්‍ය මනුෂ්‍යයෝව උපදිත්.”

කාලකිරිය සූත්‍රය:—“මහණෙනි, පුද්ගලයන් දෙදෙනෙක්හුගේ කාලක්‍රියාව මහජනයාට සිත් තැවුල් වේ. කවර දෙදෙනෙකුන්ගේද යත්, තථාගතවූ අර්හත්වූ සම්‍යක් සම්බුද්ධයන් වහන්සේගේද සක්විති රජහුගේද වෙත්. මහණෙනි මේ පුද්ගලයන් දෙදෙනෙක්හුගේ කාලක්‍රියා තොමෝ මහජනයා හට සිත් තැවුල්වේ.”

ඵුපාරහ සූත්‍රය:—“මහණෙනි, මේ දෙදෙනෙක් චෛත්‍යයට සුදුස්සෝ වෙත්. කවර දෙදෙනෙක්ද යත්. තථාගතවූ අර්හත්වූ සම්‍යක් සම්බුද්ධයන් වහන්සේද සක්විති රජ තෙමේද වෙත්. මහණෙනි, මේ දෙදෙන ථූපයට සුදුස්සෝ වෙත්.”

ද්වෙ බුද්ධ සූත්‍රය:—“මහණෙනි, මේ බුදුවරයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද? තථාගතවූ අර්හත්වූ සම්මා සම්බුද්ධ තෙමේද පසේබුදු තෙමේද යන දෙදෙනයි. මහණෙනි, මේ දෙදෙන බුදුවරයෝ වෙත්.”

අසනි සූත්‍රය:—“මහණෙනි, මේ දෙදෙනෙක් හෙන පුපුරණ කල්හි තැති නොගනිත්. කවර දෙදෙනෙක්ද යත්, ක්ෂීණාශ්‍රව (රහත්) භික්ෂු තෙමේද අජානීය අශ්ව තෙමේද වෙති. මහණෙනි, මේ දෙදෙන වනාහි හෙන පුපුරණ කල්හි තැතිනොගනිත්.”

දුතිය අසනි සූත්‍රය:—“මහණෙනි, මේ දෙදෙනෙක් හෙන පුපුරණ කල්හී තැතිනොගනිත්. කවර දෙදෙනෙක්ද යත්, ක්ෂීණාශ්‍රව (රහත්) භික්ෂු තෙමේද අජානීය අශ්ව තෙමේද වෙත්. මහණෙනි, මේ දෙදෙන වනාහි හෙන පුපුරණ කල්හි තැතිනොගනිත්.”

තතිය අසනි සූත්‍රය:—“මහණෙනි, මේ දෙදෙනෙක් හෙන පුපුරණ කල්හි බිය නොවෙත්. කවර දෙදෙනෙක්ද යත්, ක්ෂීණාශ්‍රව (රහත්) භික්ෂු තෙමේද මෘගරාජවූ සිංහ තෙමේද වෙත්. මහණෙනි, මේ දෙදෙනා වනාහි හෙන පුපුරණ කල්හි බිය නොවෙත්.”

කිම්පුරිස සූත්‍රය:—“මහණෙනි, මේ කරුණු දෙකක් දක්නාවූ (සලකන්නාවූ) කින්නරයෝ මිනිස් බස් නොකියත්. කවර දෙකක්ද යත්, බොරු නොකියමු. අන්‍යයෙකුට බොරුවෙන් නින්දා නොකරමු. මහණෙනි මේ කරුණු දෙක බලමින් කින්නරයෝ මිනිස් බස් නොකියත්.”

අතිත්ත මාතුගාම සූත්‍රය:—“මහණෙනි, කරුණු දෙකක් සම්බන්ධව තෘප්තියට නොපැමිණි පසුබැසීම් නැතිව (සාමාන්‍ය) ස්ත්‍රිය මැරෙයි. කවර කරුණු දෙකක් සම්බන්ධවද යත්, මෙවුන්දම් සෙවීම සම්බන්ධවද; වැදීම සම්බන්ධවද වෙත්. මහණෙනි, මේ දෙයාකාර ධර්මයන් සම්බන්ධව තෘප්ති රහිතවූ පසුබැසීම් නැත්තාවූ ස්ත්‍රිය වනාහි කලුරිය කෙරේ.”

සන්නිවාස සූත්‍රය:—“මහණෙනි, තොපට අසත් පුරුෂයන්ගේ සමාගමයද සත්පුරුෂයන්ගේ සමාගමයද දෙශනා කරන්නෙමි. ඒ අසව්, යහපත්කොට සිත්හි තබා ගනිව්. කියන්නෙමි. “එසේය ස්වාමීනි”යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.

2. “මහණෙනි, කෙසේ නම් අසත්පුරුෂයන්ගේ සහ වාසය වේද, කෙසේ නම් අසත්පුරුෂයෝ සමග වෙසෙද්ද? මහණෙනි, මේ ශාසනයෙහි ස්ථවිර භික්ෂු නමකට මෙබඳු සිතක් වෙයි.

3. “ස්ථවිර භික්ෂුවක් මට යමක් නොකියාවා, මධ්‍යම භික්ෂුවක් මට යමක් නොකියාවා, නවක භික්ෂුවක්ද මට යමක් නොකියාවා, මමත් ස්ථවිර භික්ෂුවට නොකියන්නෙමි. මම මධ්‍යම භික්ෂුවටත් නොකියන්නෙමි. මම නවක භික්ෂුවටත් නොකියන්නෙමි. ඉදින් ස්ථවිර තෙමේත් මට අවවාදාදියක් කියන්නේ නම් මට අවැඩ කැමැතිව කියන්නේය. හිත කැමැතිව නොකියන්නේය. මෙසේ හෙයින් තොපගේ වචනය නොකරන්නෙමියි මම ඕහට කියන්නෙමි. ඕහට වෙහෙසද කරන්නෙමි. ඔහුගේ වචනය (සත්‍යයයි) දන්නේ නමුදු ඊට ප්‍රතිකර්ම නොකරන්නෙමී’ යි (කියා මෙබඳු සිතක් උපදී.)

4. “මධ්‍යම භික්ෂු තෙමේත් මට කියන්නේ නම් නවක භික්ෂු තෙමේත් මට කියන්නේ නම් මට අහිතානුකම්පීව කියන්නේය. හිතයෙන් අනුකම්පා ඇතිව නොකියන්නේය. හිත කැමැතිව නොකියන්නේය. (නොපිළිපැදීමෙන්) ඕහට වෙහෙසද කරමි. ඔහුගේ වචනය සත්‍යයයි දන්නේ නමුදු ඊට ප්‍රතිකර්ම නොකරමි.

5. “මධ්‍යම භික්ෂුවටද මෙබඳු සිතක් වෙයි. (මෙහි මේ සූත්‍රයේ 3, 4 ඡෙද යොදාගත යුතුයි.)

6. “නවක භික්ෂුවටද මෙබඳු සිතක් වෙයි. (මෙහි මේ සූත්‍රයේ 3, 4 ඡෙද යොදා ගත යුතුයි.)

7. “මහණෙනි, මෙසේ වනාහි අසත්පුරුෂයන්ගේ සහවාසය වෙයි. මෙසේම අසත්පුරුෂයෝ සමග වෙසෙත්.

8. “මහණෙනි, කෙසේනම් සත්පුරුෂයන්ගේ සහවාසය වේද කෙසේ නම් සත්පුරුෂයන් (සමග) වෙසෙද්ද? මහණෙනි මේ ශාසනයෙහි ස්ථවිර භික්ෂුවකට මෙබඳු අදහසක් වෙයි.

9. “ස්ථවිර තෙමේත් මට අවවාදයක් කෙරේවා, මධ්‍යම ස්ථවිර තෙමේත් මට අවවාදාදියක් කෙරේවා, නවක භික්ෂු තෙමේද මට අවවාදාදියක් කෙරේවා, මම ස්ථවිර භික්ෂුවටත් අවවාදාදියක් කියන්නෙමි. මම මධ්‍යම භික්ෂුවටත් අවවාදාදියක් කියන්නෙමි. මම නවක භික්ෂුවටත් අවවාදාදියක් කියන්නෙමි. ඉදින් ස්ථවිර තෙමේත් මට අවවාදාදියක් කරන්නේ නම් මට හිත කැමැත්තෙන් කරන්නේය අහිත කැමැත්තෙන් මට නොකියන්නේය. මම ඕහට මැනව තොප කීයේ යහපතැයි කියන්නෙමි. ඕහට වෙහෙස නොකරන්නෙමි. (මගේ දොෂය) දක්නේ ඊට ප්‍රතිකර්ම කරන්නෙමි’යි කියායි.

10. “මධ්‍යම භික්ෂුතෙමේද මට (අවවාද) කියන්නේ නම් නවක භික්ෂු තෙමේත් මට කියන්නේ නම් මට හිත අනුකම්පාව කියන්නේය. හිතයෙන් අනුකම්පා ඇතිව කියන්නේය. හිත කැමතිව කියන්නේය. (පිළිපැදීමෙන් ඕහට වෙහෙසද නොකරමි ඔහුගේ වචනය සත්‍යයයි දන්නේ ඊට ප්‍රතිකර්ම කරමි. නවක භික්ෂු තෙමේද මට අවවාද වශයෙන් කියන්නේ හිත කැමැත්තෙන්ම කියන්නේය, අහිත කැමැත්තෙන් නොකියන්නේය. මම ඕහට ‘මැනව තොප කීසේ යහපතැ’යි කියන්නෙමි. ඕහට වෙහෙස නොකරන්නෙමි, (මගේ දොෂය) දුටුයේ ඊට ප්‍රතිකර්මද කරන්නෙමියි කියායි.

11. “මධ්‍යම භික්ෂුවටද මෙබඳු සිතක් වෙයි. (මෙහි මේ සූත්‍රයේ 9, 10 ඡෙද යොදා ගතයුතුයි.)

12. “නවක භික්ෂුවටද මෙබඳු සිතක් වෙයි. (කෙසේද? මෙහි මේ සූත්‍රයේ 9 ඡෙදය යොදා ගත යුතුයි.)

13. “මහණෙනි, සත්පුරුෂයන් සහවාසය වනාහි මෙසේ වෙයි. මෙසේම සත්පුරුෂයෝ වාසය කෙරෙත්.”

වචීසංසාර සූත්‍රය:—“මහණෙනි, යම් විනිශ්චයට එළඹි කරුණෙක්හි දෙපසෙහි පවත්නා වචන හුවමාරුවද දෘෂ්ටිය කියා උපන් තදපරුෂ බවද සිතේ කොපයද දොම්නස හා අනුන්ගේ සැපතෙහි නොසතුටුවීම ඇතිවේද (ස්වකීය චිත්තය හා ස්වකීය පිරිස) මනාකොට නොසංසිඳුනේ වේද, මහණෙනි, ඒ විනිශ්චයෙහි මෙබන්දක් අවශ්‍යයෙන් සිදුවන්නේය. (ඒ අධිකරණය) බොහෝකල් පැවැත්ම පිණිසද නපුරුකම හා චණ්ඩභාවය පිණිසද ඇතිවන්නේය (ඊට මැදහත්වූ) භික්ෂූහුද සැපසේ වාසය නොකරන්නාහුය (යනුයි.)

දුතිය වචීසංසාර සූත්‍රය:—“මහණෙනි, යම් විනිශ්චයෙක්හි වනාහි දෙපාර්ශවයෙහි අක්‍රොශාදි වශයෙන් පවත්නා වචන හුවමාරුවද දෘෂ්ටිය නිසා උපන් තදපරුෂ බවද සිතේ කොපයද, දොම්නසද අනුන්ගේ සැපතෙහි නොසතුටුවීම පවත්නේ නම්, ස්වකීය චිත්තය හා ස්වකීය පිරිස මනාකොට නොසංසිඳුනේ වේද, මහණෙනි, ඒ විනිශ්චය ගැණ මෙසේ බලාපොරොත්තුවිය යුතුයි. (කෙසේද?) බොහෝකල් නොපැවැත්ම පිණිසද කෲර භාවය පිණිසද චණ්ඩභාවය පිණිසද පවතින්නේය. (ඊට මැදහත්වූ) භික්ෂූහුද සැපසේ වාසය කරන්නාහුය යන මෙයයි.

(පළමුවන වර්ගය නිමි.)