අංගුත්තර නිකාය

එක නිපාතය

10. ලෝණඵල වර්ගය

102. අර්ධචිත්තානුයොග සූත්‍රය

“මහණෙනි, සමථ විදර්ශනාවන්හි යෙදී වාසය කරන්නාවූ භික්ෂුව විසින් කලින් කල කරුණු තුනක් මෙනෙහි කළයුතුය කලින් කල සමාධිය පිළිබඳ කරුණු මෙනෙහි කළ යුතුය. කලින් කල වීර්‍ය්‍ය පිළිබඳ කරුණු මෙනෙහි කළ යුතුය. කලින් කල උපෙක්ෂාව පිළිබඳ කරුණු මෙනෙහි කළ යුතුය.

“මහණෙනි, සමථ විදර්ශනාවන්හි යෙදුනාවූ මහණ තෙමේ ඉදින් සමාධිය පිළිබඳ කරුණුම ඒකාන්තයෙන් මෙනෙහි කරන්නේ නම්, එය සිත කුසීත භාවයෙහි වැටීමට ඉඩ ඇත්තේය. මහණෙනි, ඉදින් සමථ විදර්ශනාවන්හි යෙදුනු භික්ෂුව ඉදින් වීර්‍ය්‍යය පිළිබඳ කරුණුම ඒකාන්තයෙන් මෙනෙහි කරන්නේ නම් සිත වික්ෂිප්ත භාවයෙහි වැටීමට ඉඩ ඇත්තේය. මහණෙනි, ඉදින් සමථ විදර්ශනාවන්හි යෙදුණු භික්ෂුව ඒකාන්තයෙන් උපෙක්ෂාව පිළිබඳ කරුණුම මෙනෙහි කරන්නේ නම් සිත ආශ්‍රවයන් ක්ෂය කිරීම පිණිස මනාව එකඟ නොවීමට හෙතු ඇත්තේය.

“මහණෙනි, යම්කලෙක සමථ විදර්ශනාවන්හි යෙදුණාවූ භික්ෂුව කලින් කල සමාධිය පිළිබඳ කරුණු මෙනෙහි කරයි නම් කලින් කල වීර්‍ය්‍ය පිළිබඳ කරුණු මෙනෙහි කරයි නම් කලින් කල උපෙක්ෂාව පිළිබඳ කරුණු මෙනෙහි කරයි නම් ඒ සිත මෘදුද වෙයි, කර්මන්‍යද වෙයි, බබලන්නේද වෙයි, නොබිඳෙන්නේද වෙයි, ආශ්‍රවයන් ක්ෂය කිරීම පිණිස මනාව සමාධියට පැමිණෙයි.

“මහණෙනි, රන්කරුවෙක් හෝ රන්කරු අතවැසියෙක් හෝ අඟුරුකබලක් පිළියෙලකරන්නේය. අඟුරුකබලක් පිළියෙල කොට එහි අඟුරු දමා ගිනි දල්වා නළයෙන් පිඹ ගිනිගන්වන්නේය. ගිනිගන්වා අඬුවෙන් රත්රන්ගෙන අඟුරු මැද තබන්නේය. අඟුරු මැද තබා කලින් කල පිඹින්නේය. කලින්කල වතුර ඉසින්නේය. කලින් කල මධ්‍යස්ථ වන්නේය. මහණෙනි, ඉදින් රන්කරුවා හෝ රන්කරු අතවැසියා හෝ ඒකාන්තයෙන් ඉතා වැඩියෙන් පිඹින්නේ නම් ඒ රත්රන් දැවී යන්නට ඉඩ ඇත්තේය. මහණෙනි, ඉදින් ඒ රන්කරුවා හෝ රන්කරු අතවැසියා හෝ ඒකාන්තයෙන් වැඩියෙන් වතුර ඉසින්නේ නම් ඒ රත්රන් නිවීයන්නට ඉඩ ඇත්තේය. මහණෙනි ඉදින් රන්කරුවා හෝ රන්කරු අතවැසියා හෝ වැඩියෙන් මැදහත් වන්නේ නම් ඒ රත්රන් මනාව පැසීමට යන්නේය. මහණෙනි, යම්කලෙක රන්කරුවා හෝ රන්කරු අතවැසියා හෝ කලින් කල පිඹින්නේද කලින් කල වතුර ඉසින්නේද කලින් කල මැදහත් වන්නේද ඒ රත්රන් මෘදුද කර්මන්‍යද බබලන්නේද නොබිඳෙන්නේද වෙයි. යම් යම් පළඳනා විකෘති කැමති වෙයි නම්, ඉදින් රන්පටකින් ඉදින් කුණ්ඩලාභරණයකින්, ඉදින් ග්‍රීවාභරණයකින්, ඉදින් රන්මාලයකින් කැමති වේනම් ඒ ඒ දෙය සම්පූර්ණ වන්නේය.

“මහණෙනි, එසේම සමථ විදර්ශනා භාවනාවන්හි යෙදෙන්නාවූ භික්ෂුව විසින් කරුණු තුනක් මෙනෙහි කළ යුතුය කලින් කල සමාධි නිමිත්ත මෙනෙහි කළ යුතුය. කලින් කල පග්ගහ නිමිත්ත (වීර්‍ය්‍යය) මෙනෙහි කළ යුතුය. කලින් කල උපෙක්ඛා නිමිත්ත (මැදහත්වීම) මෙනෙහි කළ යුතුය.

“මහණෙනි, සමථ විදර්ශනා භාවනාවෙහි යෙදුනාවූ මහණතෙමේ ඒකාන්තයෙන් සමාධි නිමිත්තම මෙනෙහි කරන්නේ නම් එය සිත කුසීත බව පිණිස පැවැත්මට හෙතු වන්නේය. මහණෙනි, ඉදින් සමථ විදර්ශනාවෙහි යෙදුණු මහණතෙමේ ඒකාන්තයෙන් පග්ගහ නිමිත්ත (වීර්‍ය්‍යය) මෙනෙහි කරන්නේ නම් එය සිත වික්ෂිප්තභාවය පිණිස පැවැත්මට හෙතු වන්නේය. මහණෙනි, ඉදින් සමථවිදර්ශනා භාවනාවෙහි යෙදුණ මහණතෙමේ උපෙක්ඛා නිමිත්ත මෙනෙහි කරන්නේ නම් එය සිත ආශ්‍රවයන් ක්ෂය කිරීම පිණිස මනාව සමාධියට නොපැමිණීමට හෙතුවන්නේය.

“මහණෙනි, යම්කලෙක සමථ විදර්ශනා භාවනාවෙන් යුත් මහණතෙමේ කලින්කල සමාධි නිමිත්ත මෙනෙහි කරයිද කලින් කල පග්ගහ නිමිත්ත මෙනෙහි කරයිද කලින් කල උපෙක්ඛා නිමිත්ත මෙනෙහි කරයිද ඒ සිත මෘදුද කර්මන්‍යද පිරිසිදුද නොබිඳෙන සුලුදු වෙයි. ආශ්‍රවයන් ක්ෂය කිරීම පිණිස සිත මනාකොට සමාධියට පැමිණෙයි.

“අභිඥාවෙන් දත යුතුවූ යම් යම් ධර්මයකට අභිඥාවෙන් දැනගැනීම පිණිස සිත නමයිද ඒ ඒ දෙයෙහි කරුණු ඇතිසැටියෙන් හැකි බවට පැමිණෙයි. ඉදින් හෙතෙම කැමති වන්නේ නම් නොයෙක් ඍද්ධිවිධි අනුභව කරන්නේය.

“ඉදින් ආශ්‍රවයන් ක්ෂයකිරීමෙන් ආශ්‍රව රහිතවූ අර්හත් ඵල සමාධියත් අර්හත්ඵල ප්‍රඥාවත් මේ ආත්මයෙහි තෙමේම විශෙෂ ඥානයෙන් ප්‍රත්‍යක්ෂකොට ඊට පැමිණ වාසය කරන්නෙම්යයි කැමතිවන්නේ නම් කරුණු ඇතිසැටියෙන් ඒ ඒ දෙයෙහි කළහැකි බවට පැමිණෙන්නේය”

(දහවෙනි ලොණඵල වර්ගය නිමි) (දෙවැනිවූ මහා පණ්ණාසකය නිමි.)

තතිය පණ්ණාසකය.