අංගුත්තර නිකාය

එක නිපාතය

13. භාරංඩු (හෝ) කුසිනාරා වර්ගය

128. කටුවිය කත සූත්‍රය

“එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ බරණැස් නුවර මිගදාය නම් ඉසිපතනයෙහි වැඩ වාසය කරති. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පාත්‍රා සිව්රු ගෙන බරණැස් නුවරට පිඬු පිණිස වැඩියහ. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ගවයන් විකුණන තැනක හටගත් පුලිල ගසක් සමීපයෙහි පිඬු පිණිස හැසිරෙන සේක් ධ්‍යාන සැපයක් නැති හෙයින්, ස්වල්ප ආශ්වාදයක් ඇති කාම ගුණ සැප වශයෙන් ශාසනයෙන් බාහිර ආශ්වාදයක් ඇති මුළාවූ සිහිය ඇති නුවණ නැති සමාධියෙන් තොරවූ විසිර ගිය සිත් ඇති විවෘත කළ ඉන්ද්‍රියයන් ඇති භික්ෂුවක් දැක ඒ භික්ෂුවට මෙසේ වදාළේය.

“මහණ, මහණ, තෝ තමා ඉඳුල් අහරක් මෙන් නොකළ යුතුය. මහණ, ඒ ඉඳුල් අහරක් මෙන් කරන ලද ක්‍රොධය නමැති පිලී ගඳ හමන කෙලෙසුන්ගෙන් තෙත්වූ ඒ තමා ක්ලෙශ නමැති මැස්සෝ ලුහුනොබඳිත්. ලුහුබැඳ නොකත් යන මීට හෙතු නැත්තේය යනුයි.

“එකල්හි භාග්‍යවතුන් වහන්සේ විසින් මේ අවවාදයෙන් අවවාද කරන ලද ඒ මහණ තෙමේ සෝවාන් ඵලයට පැමිණියේය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ බරණැසෙහි පිඬු පිණිස හැසිර සවස් කාලයෙහි පිණ්ඩපාතයෙන් වැළකුණේ භික්ෂූන්ට ආමන්ත්‍රණය කළ සේක.

“මහණෙනි, මම පෙරවරු කාලයෙහි පාත්‍ර සිව්රු ගෙන බරණැසෙහි පිඬු පිණිස පැමිණියෙමි. මහණෙනි, මම ගවයන් විකුණන ස්ථානයෙහි හටගත් පුලිල ගස සමීපයෙහි පිඬු පිණිස හැසිරෙන්නෙම් ස්වල්ප ආශ්වාදය ඇති බාහිර ආශ්වාදය ඇති සිහිමුළාවූ නුවණ නැත්තාවූ සමාධියක් නැත්තාවූ වික්ෂිප්ත සිත් ඇත්තාවූ විවෘත කළ ඉන්ද්‍රිය ඇත්තාවූ එක්තරා භික්ෂුවක් දිටිමි. දැක ඒ භික්ෂුවට මෙසේ කීමි. කෙසේද?

(මේ ඡෙදය මේ සූත්‍රයේ 2 ඡෙදය මෙනි.)

“මහණෙනි, එකල්හි මා විසින් මේ අවවාදයෙන් අවවාද කරන ලද ඒ මහණ තෙම සෝවාන් ඵලයට පැමිණියේයයි වදාළේය.

“මෙසේ වදාළ කල්හි එක්තරා භික්ෂුවක් ‘ස්වාමීනි, ඉඳුල් බත යනු කුමක්ද? පිලීගඳ යනු කුමක්ද? මැස්සෝ යනු කුමක්දැ?යි” භාග්‍යවතුන් වහන්සේගෙන් ඇසීය.

“මහණ, ඉඳුල් බත නම් අභිද්‍යාවය, පිලීගඳ නම් ව්‍යාපාදයය, මැස්සෝ නම් ලාමක අකුසල විතර්කයෝය. මහණ, ඒ ඉඳුල් බතක් කරන ලද පිලීගඳ හමන්නාවූ කෙලෙසුන්ගෙන් තෙත්වූ තමා අකුශල විතර්ක නමැති මැස්සෝ ලුහුනොබඳිත්. ලුහුබැඳ නොකත් යන මීට හෙතු නැත්තේයයි”

“ඇස් කන් නොරක්නා ලද ඉන්ද්‍රියන්හි සංවර නොවූවහු රාග සහගත විතර්ක නමැති මැස්සෝ ලුහුබඳිත්.”

“තමා ඉඳුල් බතක් මෙන් කරන ලද්දාවූ පිලීගඳ හමන්නාවූ කෙලෙසුන්ගෙන් තෙත්වූ මහණ තෙමේ නිර්වාණයෙන් දුරුවූයේ දුකටම භාජනවූවෙක් වන්නේය.’

“ගමෙහි හෝ ආරණ්‍යයෙහි හෝ තමාගේ සංසිඳීමක් නොලත් අඥාන බාල තෙමේ මැස්සන්ගෙන් පෙරටුව ගමන් කරන්නේය.”

“යම් කෙනෙක් සීලයෙන් යුක්තව ප්‍රඥාවෙන් සංසිඳීමෙහි ඇලී වෙසෙත්ද ඔව්හු මැස්සන් නසා සංසිඳුනාහු සැපසේ සයනය කරත්.”