අංගුත්තර නිකාය

එක නිපාතය

14. යොධාජීව වර්ගය

140. ඛලුංක සූත්‍රය

“මහණෙනි, අශ්ව පොතකයන් තිදෙනෙකුත්, පුරුෂ පොතකයන් තිදෙනෙකුත් දෙසනා කරන්නෙමි. එය අසව්, මනාකොට මෙනෙහි කරව්, කියන්නෙමි.” “එසේය, ස්වාමීනියි” කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කළසේක.

“මහණෙනි, අශ්වපොතකයන් තිදෙනා නම් කවරහුද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් අශ්ව පොතකයෙක් ජවයෙන් යුක්තවෙයි. වර්ණයෙන් යුක්ත නොවෙයි. උස මහතින් යුක්ත නොවෙයි. මහණෙනි, ලොකයෙහි ඇතැම් අශ්ව පොතකයෙක් ජවයෙන් යුක්තවූයේද වෙයි. වර්ණයෙන් යුක්තවූයේද වෙයි උස මහතින් යුක්තවූයේ නොවෙයි, මහණෙනි, ලොකයෙහි ඇතැම් අශ්ව පොතකයෙක් ජවයෙන් යුක්තවූයේද වෙයි. වර්ණයෙන් යුක්තවූයේද වෙයි උස මහතින් යුක්තවූයේද වෙයි. මහණෙනි, මේ අශ්වපෝතකයෝ තිදෙන වෙත්.

“මහණෙනි, පුරුෂ පොතකයෝ තිදෙන කවරහුද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුරුෂපොතකයෙක් ජවයෙන් යුක්තවූයේ වෙයි. වර්ණයෙන් යුක්තවූයේ නොවෙයි. උසමහතින් යුක්තවූයේ නොවෙයි. මහණෙනි මේ ලෝකයෙහි ඇතැම් පුරුෂ පොතකයෙක් ජවයෙන් යුක්තවූයේද වෙයි, වර්ණයෙන් යුක්තවූයේද වෙයි, උසමහතින් යුක්තවූයේ නොවෙයි. මහණෙනි, ලොකයෙහි ඇතැම් පුරුෂ පොතකයෙක් ජවයෙන් යුක්තවූයේද වෙයි. වර්ණයෙන් යුක්තවූයේද වෙයි. උස මහතින් යුක්තවූයේද වෙයි.

මහණෙනි, කෙසේ නම් පුරුෂ පොතක තෙමේ ජවයෙන් යුක්ත වෙයිද, වර්ණයෙන් යුක්තනොවෙයිද, උස මහතින් යුක්ත නොවෙයිද?

“මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම මෙය දුක යයි තත්වාකාරයෙන් දනීද, මේ දුකට හේතුවයයි තත්වාකාරයෙන් දනීද, මේ දුක නිරුද්ධකිරීමයයි තත්වාකාරයෙන් දනීද, මෙය දුක නිරුද්ධ කිරීමේ මාර්ගයයි තත්වාකාරයෙන් දනීද’ මෙය ඔහුගේ ජවයයි කියමි.

“අභිධර්මයෙහි හෝ අභිවිනයෙහි ප්‍රශ්නයක් අසන ලද්දේ පැකිලෙයිද නොවිසඳයිද මෙය ඔහුගේ වර්ණයෙන් යුක්ත නොවීමයයි කියමි. චීවර පිණ්ඩපාත සෙනාසන ගිලානප්පච්චය හෙසජ්ජ පරික්ඛාරයන්ගේ ලාභියෙක් නොවේද මෙය ඔහුගේ උස මහතින් යුක්ත නොවීමයයි කියමි. මහණෙනි, මෙසේ වනාහි පුරුෂ පොතක තෙම ජවයෙන් යුක්ත වූයේ වෙයි. වර්ණයෙන් යුක්ත නොවුයේද වෙයි. උස මහතින් යුක්ත නොවූයේද වෙයි. මහණෙනි, කෙසේ නම් පුරුෂපොතකතෙම ජවයෙන් යුක්ත වූයේ වේද, වර්ණයෙන් යුක්ත වූයේ වේද, උස මහතින් යුක්ත වූයේ නොවේද?

(මේ ඡෙදය මේ සූත්‍රයේ 4 වෙනි ඡෙදය මෙනි.)

“අභිධර්මයෙහි හෝ අභිවිනයෙහි ප්‍රශ්නයක් අසන ලද්දේ විසඳයිද නොපැකිලෙයිද මෙය ඔහුගේ වර්ණයයි කියමි. චීවර පිණ්ඩපාත සෙනාසන ගිලානප්පච්චය භෙසජ්ජ පරික්ඛාරයන් නොලබන්නේවේද, මෙය ඔහුගේ උස මහතින් යුක්ත නොවීමයයි කියමි. මහණෙනි, මෙසේ වනාහි පුරුෂ පොතකතෙම ජවයෙන් යුක්තවූයේද වෙයි. වර්ණයෙන් යුක්ත වූයේද වෙයි, උසමහතින් යුක්තනොවූයේද වෙයි.

“මහණෙනි කෙසේ නම් පුරෂ පොතකතෙම ජවයෙන් යුක්තවූයේත් වෙයිද, වර්ණයෙන් යුක්තවූයේත් වෙයිද, උසමහතින් යුක්තවූයේත් වෙයිද?

(මේ ඡෙදය මේ සූත්‍රයේ 4 වෙනි ඡෙදය මෙනි.)

“අභිධර්මයෙහි හෝ අභිවිනයෙහි හෝ ප්‍රශ්නයක් අසන ලද්දේ විසඳයිද, නොපැකිලෙයිද මෙය ඔහුගේ වර්ණයෙන් යුක්තවීමයයි කියමි. චීවර පිණ්ඩපාත සෙනාසන ගිලානපච්චය භෙසජ්ජ පරික්ඛාරයන් ලබන්නේ වෙයිද, මෙය ඔහුගේ උස මහතින් යුක්තවීමයයි කියමි.

“මහණෙනි, මෙසේ වනාහි පුරුෂතෙමේ ජවයෙන් යුක්ත වූයේද, වර්ණයෙන් යුක්ත වූයේද, උස මහතින් යුක්තවූයේද වෙයි”