අංගුත්තර නිකාය

එක නිපාතය

4. දේවදූත වර්ගය

34. කම්මනිදාන සූත්‍රය

“මහණෙනි, වට්ටගාමී කර්මයන්ගේ ඇතිවීම පිණිස මේ හෙතු තුනක් වෙත්. කවර තුනක්ද යත්? කර්මයන්ගේ ඇතිවීම පිණිස ලොභය හෙතු වෙයි. කර්මයන්ගේ ඇතිවීම පිණිස ද්වෙෂය හෙතුවෙයි, කර්මයන්ගේ ඇතිවීම පිණිස මොහය හෙතුවෙයි.

“මහණෙනි, ලොභයෙන් කරණ ලද්දාවූ ලොභයෙන් හටගත්තාවූ, ලොභය කරුණු කොට ඇත්තාවූ, ලොභය ප්‍රත්‍යකොට ඇත්තාවූ යම් කර්මයක් වේද, යම්තැනෙක්හි එය කළහුගේ ආත්මභාවය උපදීද, එහි කර්මය විපාක දෙයි, යම්තැනෙක්හි ඒ කර්මය විපාක දෙයිද එහි ඒ කර්මයාගේ විපාකය මේ ආත්මයෙහි හෝ අනතුරු ආත්මභාවයෙහි හෝ එයින් අනික් අනික් භවයක හෝ විපාක දෙයි.

“මහණෙනි, ද්වෙෂයෙන් කරණ ලද්දාවූ ද්වෙෂයෙන් හටගත්තාවූ, ද්වෙෂය කරුණු කොට ඇත්තාවූ, ද්වෙෂය ප්‍රත්‍යය කොට ඇත්තාවූ යම් කර්මයක් වේද, යම්තැනෙක්හි එය කළහුගේ ආත්මභාවය උපදීද, එහි ඒ කර්මය විපාක දෙයි. යම් තැනෙක්හි ඒ කර්මය විපාක දෙයිද, එහි ඒ කර්මයාගේ විපාකය මේ ආත්මයෙහි හෝ අනතුරු ආත්මබැව්හි හෝ එයින් අනික් අනික් භවයක හෝ විපාක දෙයි.

“මහණෙනි, මොහයෙන් කළ මොහයෙන් හටගත් මොහය කරුණු කොට ඇති මොහය ප්‍රත්‍යයකොට ඇති යම් කර්මයක් වේද, යම්තැනෙක්හි එය කළහුගේ ආත්මභාවය උපදීද එහි කර්මය විපාක දෙයි, යම්තැනෙක්හි ඒ කර්මය විපාක දෙයිද, එහි ඒ කර්මයාගේ විපාකය මේ ආත්මයෙහි හෝ අනතුරු ආත්මභාවයෙහි හෝ එයින් අනික් අනික් භවයක හෝ විපාක දෙයි.

“මහණෙනි, යම්සේ නොකැඩුණු කුණු නොවූ අව් සුළඟින් නොනැසුනාවූ නිස්සාර නොවූ බීජයෝ යම්සේ යහපත් කුඹුරක මනාකොට සීසෑම් ආදිය කරණ ලද බිමක ඉසින ලද්දාහු සැපසේ හෝනාහු වෙත්ද, වර්ෂාවද මනාකොට වර්ෂා ධාරාව නැවත නැවත හෙලන්නේද, මහණෙනි, එසේ ඇති කල්හි ඒ බීජයෝ උඩට නැගීමෙන් වෘද්ධියටද මුල් ඇදීමෙන් විරූඩිභාවයටද හාත්පස පැතිරීමෙන් විපුලත්වයටද පැමිණෙන්නාහුය.”

“මහණෙනි, එසේම ලොභයෙන් හටගත් ලොභය නිදානකොට ඇති ලොභය හේතුකොට ඇති ලොභයෙන් කළ යම් කර්මයක් වේද, යම්තැනෙක්හි ඔහුගේ ආත්මභාවය උපදීද ඒ ආත්මභාවයෙහි ඒ ස්කන්ධ පඤ්චකයෙහි විපාකදේ, යම්තැනෙක්හි ඒ කර්මය විපාකදේද, එහි ඒ කර්මයාගේ විපාක විඳී. මේ ආත්මයෙහි හෝ අනතුරු ආත්මභාවයෙහි හෝ අනික් අනික් ආත්මභාවයක හෝ විපාක දෙයි.”

“මහණෙනි, එසේම ද්වෙෂයෙන් හටගත් ද්වෙෂය නිදානකොට ඇති, ද්වෙෂය හේතුකොට ඇති, ද්වෙෂයෙන් කළ යම් කර්මයක් වේද, යම්තැනෙක්හි ඔහුගේ ආත්මභාවය උපදීද ඒ ආත්මභාවයෙහි ඒ ස්කන්ධ පඤ්චකයෙහි විපාකදේ, යම්තැනෙක්හි ඒ කර්මය විපාක දේද, එහි ඒ කර්මයාගේ විපාක විඳී. මේ ආත්මයෙහි හෝ අනතුරු ආත්මභාවයෙහි හෝ අනික් අනික් ආත්මභාවයක හෝ විපාක දෙයි.”

“මහණෙනි, එසේම මොහයෙන් හටගත් මොහය නිදානකොට ඇති, මොහය හේතුකොට ඇති, මොහයෙන් කළ යම් කර්මයක් වේද, යම් තැනෙක්හි ඔහුගේ ආත්මභාවය උපදීද, ඒ ආත්මභාවයෙහි ඒ ස්කන්ධ පඤ්චකයෙහි විපාකදේ. යම්තැනෙක්හි ඒ කර්මය විපාකදේද, එහි ඒ කර්මයාගේ විපාක විඳී. මේ ආත්මයෙහි හෝ අනතුරු ආත්මභාවයෙහි හෝ අනික් අනික් ආත්මභාවයක හෝ විපාක දෙයි.” මහණෙනි, කර්මයන්ගේ හටගැනීමට මේ හෙතු තුනයි.

“මහණෙනි, නිර්වාණයට යන සුලු කර්මයන්ගේ හට ගැනීම පිණිස මේ හේතු තිදෙනෙක් වෙත්. කවර තිදෙනෙක්ද යත්, අලොභය තෙම නිර්වාණගාමී කර්මයන් රැස් කිරීමට කරුණුවේ. අද්වෙෂය නිර්වාණගාමී කර්මයන් රැස් කිරීමට කරුණුවේ. අමොහය නිර්වාණගාමී කර්මයන් රැස් කිරීමට කරුණුවේ.

“මහණෙනි, අලොභයෙන් කරණ ලද්දාවූ අලොභයෙන් හටගත්තාවූ අලොභය නිදානකොට ඇත්තාවූ, අලොභය හේතුකොට ඇත්තාවූ යම් කර්මයක් වේද, ලොභය පහව ගිය කල්හි මෙසේ ඒ කර්මය ප්‍රහීන වෙයි. උදුරාහරින ලද මුල් ඇත්තේවේ. මස්තකය කපන ලද තල්ගසක් මෙන් කරණ ලද්දේ වේ. නැවත නොවීම කරණ ලද්දේවේ. මත්තෙහි නොඉපදීම ස්වභාවකොට ඇත්තේ වේ.

“මහණෙනි, අද්වෙෂයෙන් කරණ ලද්දාවූ අද්වෙෂයෙන් හටගත්තාවූ, අද්වෙෂය නිදානකොට ඇත්තාවූ, අද්වෙෂය හේතුකොට ඇත්තාවූ යම් කර්මයක් වේද, ද්වෙෂය පහව ගිය කල්හි මෙසේ ඒ කර්මය ප්‍රහීනවෙයි. උදුරා හරින ලද මුල් ඇත්තේ වේ. මස්තකය කපන ලද තල්ගසක් මෙන් කරණ ලද්දේ වේ. නැවත නොවීම කරණ ලද්දේ වේ. මත්තෙහි නොඉපදීම ස්වභාවකොට ඇත්තේ වේ.

“මහණෙනි, අමොහයෙන් කරණ ලද්දාවූ අමොහයෙන් හටගත්තාවූ අමොහය නිදානකොට ඇත්තාවූ, අමොහය හේතුකොට ඇත්තාවූ යම් කර්මයක් වේද, මොහය පහවගිය කල්හි මෙසේ ඒ කර්මය ප්‍රහීනවෙයි. උදුරා හරින ලද මුල් ඇත්තේ වේ. මස්තකය කපන ලද තල්ගසක් මෙන් කරණ ලද්දේ වේ. නැවත නොවීම කරණ ලද්දේ වේ. මත්තෙහි නොඉපදීම ස්වභාවකොට ඇත්තේ වේ.

“මහණෙනි, අද්වෙෂයෙන් කරණ ලද්දාවූ අද්වෙෂයෙන් හටගත් අද්වෙෂය කරුණු කොට ඇති අද්වෙෂය ප්‍රත්‍යයකොට ඇත්තාවූ යම් කර්මයක් වේද, ද්වෙෂය පහවූ කල්හි මෙසේ ඒ කර්මය ප්‍රහීනවේ. උදුරා හරින ලද මුල් ඇත්තේ වේ. මස්තකය කපන ලද තල්ගසක් මෙන් කරණ ලද්දේය. නැවත නොවීම කරණ ලද්දේ වේ.

“මහණෙනි, අමොහයෙන් කරණ ලද්දාවූ අමොහයෙන් හටගත් අමොහය කරුණු කොට ඇති අමොහය ප්‍රත්‍යය කොට ඇත්තාවූ යම් කර්මයක් වේද, මෝහය පහවූ කල්හි මෙසේ ඒ කර්මය ප්‍රහීනවේ. උදුරා හරින ලද මුල් ඇත්තේ වේ. මස්තකය කපන ලද තල්ගසක් මෙන් කරණ ලද්දේය. නැවත නොවීම කරණ ලද්දේවේ.

“මහණෙනි, යම්සේ කඩ නොවූ, කුණු නොවූ, අව් සුළඟින් නොනැසුනාවූ, ගන්නාලද හර ඇත්තාවූ, මොනවට තැන්පත් කළ බීජයෝ වෙද්ද ඒ බීජයන් පුරුෂයෙක් තෙම ගින්නෙන් දවන්නේද, ගින්නෙන් දවා හළු කරන්නේද හළු කොට මහා වාතයෙහි හෝ පිඹ හරින්නේද සීඝ්‍රවූ සැඩ පහර ඇති ගඟක හෝ පාකොට හරින්නේද, මහණෙනි, එසේ ඇති කල්හි ඒ බීජයෝ උපුටාහරිනලද මුල් ඇත්තාහු අග සිඳිනලද තල්ගසක් මෙන් කරණ ලද්දාහු නැවත ඇති නොවීම කරණ ලද්දාහු, මත්තෙහි නොඉපදීම ස්වභාවකොට ඇත්තාහු (වෙද්ද)

(මේ ඡෙදය මේ සූත්‍රයේ 9 ඡෙදය මෙනි)

(මේ ඡෙද සාදාගැනීමට මේ සූත්‍රයේ 9 ඡෙදයට ‘අලෝභ’ වෙනුවට ‘අදෝෂ’ ‘අමෝහ’ යන වචන යොදාගත යුතුයි.)

මහණෙනි, මෙ තුන කර්මයන්ගේ ඉපදීමට හේතුය.

(1) ‘අඥාන පුද්ගලතෙම ලොභයෙන් උපදනාවූද ද්වෙෂයෙන් උපදනාවූද, මොහයෙන් උපදනාවූද, (කර්ම කෙරේද?) ඔහු විසින් කරණ ලද්දාවූ ස්වල්පවූ හෝ බොහෝ වූ හෝ යම් කර්මයක් වේද ඒ කර්මය ස්වකීය ආත්මභාවයෙහිම ඔහු විසින්ම වින්ද යුතුයි. එය විඳීමට අනික් වස්තුවක් නැත්තේය.

(2) “එහෙයින් ප්‍රඥාවත් පුද්ගලතෙම ලොභයෙන් උපදින්නාවූද, ද්වෙෂයෙන් උපදින්නාවූද, මොහයෙන් උපදින්නාවූද (කර්ම නොකරන්නේය) අර්හත් මාර්ග විද්‍යාව උපදවන්නාවූ ඒ මහණතෙම සියලු දුර්ගතීන් හරින්නේයයි (වදාළේය.)”