අංගුත්තර නිකාය

එක නිපාතය

4. දේවදූත වර්ගය

40. ආධිපතෙය්‍ය සූත්‍රය

“මහණෙනි, මේ අධිපති භාවයෝ තුන්දෙනෙක් වෙත්. කවර තුන්දෙනෙක්ද යත්, මහණෙනි, තමා අධිපතිකොට ඇති බවද ලෝකයා අධිපති කොට ඇති බවද ධර්මය අධිපතිකොට ඇති බවද වෙත්. මහණෙනි, තමා අධිපති කොට ඇති බව කවරේද?

“මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම ආරණ්‍යයකට ගියේ හෝ වෘක්ෂ මූලයකට ගියේ හෝ ශූන්‍යාගාරයකට ගියේ හෝ මෙසේ ප්‍රත්‍යවෙක්ෂා කෙරෙයි. මම වනාහි සිව්රු හේතු කොට ගෙණ ගිහිගෙයින් නික්ම ශාසනයෙහි පැවිදි නොවීමි. ආහාරය හේතුකොටගෙණ ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිනුවූයෙමි, සෙනසුන් හේතුකොටගෙණ ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි නුවූයෙමි. භවසම්පත් හේතුකොටගෙණ ගිහිගෙයින් නික්ම ශාසනයෙහි පැවිදි නොවීමි. යලිදු වනාහි ඉපදීමෙන්ද ජරාවෙන් හා මරණයෙන්ද ශෝකයෙන්ගෙන්ද වැළපීම්වලින්ද කායික දුක්වලින්ද, චෛතසික දුක්වලින්ද, දැඩි ආයාසවලින්ද වැළඳගත්තේ වෙමි. දුකට බැසගන්නා ලද්දේ වෙමි. දුකින් පීඩිතවූයේ වෙමි. මේ සියලු දුක්ඛයන්ගේ කෙළවර කිරීමක් පෙනේනම් යහපතැයි පැවිදි වූයෙමි.

“මම වනාහි යම්බඳුවූ කාමයන් හැර ගිහිගෙයින් නික්ම ශාසනයෙහි පැවිදිවූයෙම් නම් එබඳුවූ හෝ ඊටත් වඩා අතිශයින් ලාමකවූ හෝ කාමයන් සොයන්නෙම් නම් මට එය සුදුසු නොවන්නේයයි සිතයි.

“හෙතෙම මෙසේද සිතයි. ‘මා විසින් නොහැකිළෙන වීර්‍ය්‍යය පටන්ගන්නා ලදී. සිහිය නොමුළාවිය, කය සංසිඳුනේය. සැහැල්ලුවිය, සිත සමාධියට පැමිණියේය. එකඟවිය’ කියායි. මෙසේ හෙතෙම තමන් අධිපතිකොට අකුශලය දුරු කෙරෙයි, කුසලය වඩයි, වරද දුරුකරයි, නිවරද වඩයි. පිරිසුදු ආත්මය පරිහරණය කරයි, මහණෙනි, මේ තමා අධිපති කොට ඇතිබවයයි කියනු ලැබේ

“මහණෙනි, ලොකය අධිපතිකොට ඇති බව නම් කවරේද? මහණෙනි, මේශාසනයෙහි මහණතෙම ආරණ්‍යයකට ගියේ හෝ වෘක්ෂ මූලයකට ගියේ හෝ ශූන්‍යාගාරයකට ගියේ හෝ මෙසේ ප්‍රත්‍යවෙක්ෂා කෙරෙයි. ‘මම වනාහි සිව්රු හේතු කොටගෙණ ගිහිගෙයින් නික්ම ශාසනයෙහි පැවිදි නොවීමි. ආහාරය හේතුකොට ගෙණ ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිනුවූයෙමි. සෙනසුන් හේතුකොටගෙණ ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි නොවූයෙමි. භව සම්පත් හේතුකොට ගෙණ ගිහිගෙයින් නික්ම ශාසනයෙහි පැවිදිනොවීමි. යලිදු වනාහි ඉපදීමෙන්ද ජරාවෙන් හා මරණයෙන්ද ශෝකයන්ගෙන්ද වැළපීම් වලින්ද කායික දුක් වලින්ද චෛතසික දුක් වලින්ද, දැඩි ආයාස වලින්ද වැළඳගත්තේ වෙමි. දුකට බැසගන්නාලද්දේ වෙමි දුකින් පීඩිතවූයේ වෙමි. මේ සියලු දුක්ඛයන්ගේ කෙළවර කිරීමක් පෙනේනම් යහපතැයි මම පැවිදිවූයෙමි.’

“මෙසේ පැවිදිවූ මම වනාහි කාම විතර්ක හෝ සිතන්නෙම් නම් ව්‍යාපාද විතර්ක හෝ සිතන්නෙම් නම් විහිංසා විතර්ක හෝ සිතන්නෙම් නම් මේ ලෝක සන්නිවාසය මහත්ය. මහත්වූ ලෝක සන්නිවාසයෙහි ඍද්ධි ඇත්තාවූ, දිවැස් ඇත්තාවූ, පරසිත් දන්නාවූ මහණ බමුණෝ ඇත්තාහුය.

“ඔව්හු දුරදීත් දකිත්. ළඟ සිටියාහුද අන්‍යයන් විසින් දකිනු නොලැබෙත්. සිතින්ද සිත දැනගනිත්. ඔව්හු මෙසේ දැනගන්නාහුය. ‘පින්වත්නි, බලව්. මේ කුලපුත්‍රයා ශ්‍රද්ධාවෙන් ගිහිගෙයින් නික්ම ශාසනයෙහි පැවිදිව ලාමක අකුශල ධර්මයන්ගෙන් ගැවසීගෙන වාසය කෙරෙයි’ කියායි.

දිවැස් ඇත්තාවූ පරසිත් දන්නාවූ දෙවියෝ ඇත්තාහ.

(මෙහි මේ සූත්‍රයේ 7. ඡෙදය යොදාගත යුතුයි)

හෙතෙම මෙසේද සිතයි. ‘මා විසින් නොහැකිළෙන වීර්‍ය්‍යය පටන්ගන්නා ලදී. සිහිය නොමුළාවිය, කය සංසිඳුනේය, සැහැල්ලුවිය, සිත සමාධියට පැමිණියේය, එකඟවිය’ කියායි. මෙසේ හෙතෙම ලොකයාම අධිපතිකොට අකුශලය දුරු කෙරෙයි, කුශලය වඩයි, වරද දුරුකරයි, නිවරද වඩයි, පිරිසුදු ආත්මය පරිහරණය කරයි, මහණෙනි, මේ ලොකයා අධිපති කොට ඇති බවයයි කියනු ලැබේ.

“මහණෙනි, ධර්මය අධිපතිකොට ඇති බව නම් කවරේද? (මෙහි මේ සූත්‍රයේ 5. ඡෙදය යෙදිය යුතුයි.) භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මයතෙම මනාකොට ප්‍රකාශ කරණ ලද්දේය. එකෙණෙහි ලැබියයුතු ඵල ඇත්තේය. දියයුතු විපාක ඇත්තේය. එව බලවයි කීමට සුදුසුය, තමන් වෙත එළවාගතයුතු ගුණ ඇත්තේය නුවණැත්තන් විසින් තම තමන් කෙරෙහිලා දතයුතුයයි කියායි. ඒ ධර්මය දැන දැක වාසය කරන්නාවූ සබ්‍රහ්මචාරීහු වෙසෙත්. මමද මෙසේ මනා කොට ප්‍රකාශ කරණ ලද ධර්ම විනය සංඛ්‍යාත ශාසනයෙහි පැවිදිව කුසීතව ප්‍රමාදව වාසය කරන්නෙම් නම් එය මට සුදුසු නොවන්නේය කියායි.

“හෙතෙම මෙසේද සිතයි, මා විසින් නොහැකිළෙන වීර්‍ය්‍ය පටන්ගන්නා ලදී. සිහිය නොමුළාවිය, කය සංසිඳුනේය, සැහැල්ලුවිය, සිත සමාධියට පැමිණියේය, එකඟවිය’ කියායි.

මෙසේ හෙතෙම තමන් අධිපතිකොට අකුශලය දුරුකෙරෙයි, කුශලය වඩයි, වරද දුරු කරයි, නිවරද වඩයි, පිරිසුදු ආත්මය පරිහරණය කරයි. මහණෙනි, මේ ධර්මය අධිපතිකොට ඇත්තේ වේ. මහණෙනි, මේ අධිපතිභාවයෝ තුන නම් වෙත්.”

(1) “ලෝකයෙහි පව්කම් කරන්නාහට රහසක් නම් නැත්තේය. පුරුෂය, තාගේ සත්‍යය හෝ ඉදින් බොරුව හෝ තෙමේ දනී.

(2) පින්වත ඒකාන්තයෙන් යහපත සාක්ෂිවේ. තමා ඉක්මවා සිතන්නෙහිද? යමෙක් තෙම තමා කෙරෙහි ඇත්තාවූ පාපය තමා කෙරෙහි සඟවන්නෙහිද?

(3) (4) (සත්ව) ලෝකයෙහි විසම සේ හැසිරෙන්නාවූ අඥානයා දෙවියෝද, තථාගතයෝද දකිත්. එහෙයින් තවුස්තෙම තමා අධිපතිකොට ගෙනද, ලෝකයා අධිපති කොට ගෙනද, ප්‍රඥාවෙන් යුක්තවද, ධ්‍යාන කරණ සුලුවද, ධර්මය අධිපතිකොට ගෙනද ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි හැසිරෙණ සුලුවද, ස්ථිර වීර්‍ය්‍යය ඇතිවද, සිහි ඇතිවද හැසිරෙන්නේය. වීර්‍ය්‍යය ඇත්තාවූ යමෙක් තෙම මාරයා පරාජය කොට මාරයා අභිභවනය කොට ජාතිය ක්ෂය කිරීමයයි කියන ලද අර්හත්වය ස්පර්ශ කෙළේද, එබඳුවූ තුන්ලොව දන්නාවූ යහපත් ප්‍රඥා ඇත්තාවූ සියලු ත්‍රෛභූමක ධර්මයන්හි තෘෂ්ණා සංඛ්‍යාත තම්මය රහිතවූ (තෘෂ්ණා නැත්තාවූ) ඒ ක්ෂීණාශ්‍රව මුනිතෙම නොපිරිහෙන්නේයයි” වදාළේය.

(4 වෙනි දේවදූත වර්ගය සමාප්තයි)