අංගුත්තර නිකාය

එක නිපාතය

6. බ්‍රාහ්මණ වර්ගය

51. ජරූපනීය සූත්‍රය

ඉක්බිත්තෙන් වනාහි ජරාවට ගියාවූ වයසින් වැඩිවූ මහළුවූ වයස් ඉක්මගියාවූ වයසට පැමිණියාවූ උත්පත්තියෙන් එකසිය විසි වයස් ඇත්තාවූ බමුණෝ දෙදෙනෙක් භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එහි පැමිණියාහුය. පැමිණ භාග්‍යවතුන්වහන්සේ සමග සතුටුවූවාහුය. සතුටුවිය යුතුවූ සිහි කටයුතුවූ කථාව කොට නිමවා එකත්පසෙක හුන්නාහුය.

එකත්පසෙක හුන් ඒ බමුණෝ භාග්‍යවතුන් වහන්සේට, “භවත් ගෞතමයන් වහන්ස, අපි ජරාවට ගියාවූ වයසින් වැඩිවූ මහළුවූ වයස් ඉක්ම ගියාවූ වයසට පැමිණියාවූ උත්පත්තියෙන් එකසිය විසි වයස් ඇත්තාවූ බමුණෝ වෙමු. ඒ අපි නොකරණ ලද යහපත් ක්‍රියා ඇත්තෝ වෙමු. නොකරණ ලද කුසල් ඇත්තෝ වෙමු. නොකරණ ලද භය ආරක්ෂා ඇත්තෝ වෙමු. යමක් බොහෝ කාලයක් මුළුල්ලෙහි අපට හිත පිණිස සැප පිණිස වන්නේද එවැනි අවවාදයකින් භවත් ගෞතමයන් වහන්සේ අපට අවවාද කරණසේක්වා. භවත් ගෞතමයන් වහන්සේ අපට අනුශාසනා කරණසේක් වායි” සැළකෙළේය.

“බ්‍රාහ්මණයෙනි, ඒකාන්තයෙන් තෙපි ජරාවට ගියාවූ වයසින් වැඩිවූ මහළුවූ වයස් ඉක්මගියාවූ වයසට පැමිණියාවූ උත්පත්තියෙන් එකසිය විසිවයස් ඇත්තෝවූවහුය. ඒ තෙපිද නොකරණ ලද යහපත් ක්‍රියා ඇත්තෝ වන්නහුය, නොකරණ ලද කුශල් ඇත්තාහුය, නොකරණ ලද භය ආරක්ෂා ඇත්තෝ වන්නහුය.

“බමුණෙනි, මේ ලොකය ජරාවෙන්ද රෝගයෙන්ද මරණයෙන්ද ගෙනයනු ලැබේ. බමුණෙනි, මෙසේ ජරාවෙන්ද ව්‍යාධියෙන්ද මරණයෙන්ද ගෙනයනු ලබන ලොකයෙහි යමෙක් කයින් හික්මෙයිද, වචනයෙන් හික්මෙයිද, සිතින් හික්මෙයිද, එය පරලොව ගියාවූ ඔහුට ආරක්ෂාවද සැඟවෙන ගුහාවද සරණද පිහිටද වෙයි.

(1) “ජීවිතය මරණය කරා ගෙන යනු ලැබේ. ආයුෂය ඉතා ස්වල්පය. ජරාව විසින් මරණය කරා ගෙන යන්නහුට ආරක්ෂාවක් නැත. මරණය පිළිබඳව මේ තුන් භය දකිමින් සැප එළවන්නාවූ පින් කරන්නේය.

(2) මේ ලොකයෙහි ජීවත්වෙන පුද්ගලතෙම යම් හෙයකින් පින් කරයිද ඔහුගේ කයින් වචනයෙන් සහ සිතින් යම් හික්මීමක් වෙයිද, එය පරලොව ගියාවූ ඔහුට සැප පිණිස වෙයි.