අංගුත්තර නිකාය

එක නිපාතය

7. මහා වර්ගය

63. වෙනාගපුර සූත්‍රය

“එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ මහත් භික්ෂු සංඝයා හා කොසොල් ජනපදයෙහි චාරිකාවෙහි වඩිනුයේ වේනාගපුර නම් කොසොල් දනව් වාසීන්ගේ බමුණුගම යම් තැනෙක්හිද එහි පැමිණියේය වේනාගපුර වාසීවූ බ්‍රාහ්මණ ගෘහපතීහු මෙසේ ඇසුවාහුය. කෙසේද?

“ශාක්‍ය පුත්‍රවූ ශාක්‍ය කුලයෙන් නික්ම පැවිදිවූ ශ්‍රමණ ගෞතම තෙමේ වනාහි වේනාග පුරයට පැමිණියේය. ඒ භවත් ගෞතමයන් පිළිබඳව ඒ භාග්‍යවතුන් වහන්සේ අර්හත්යහ, සම්‍යක් සම්බුද්ධයහ, විද්‍යාචරණ සම්පන්නය, සුගතය, ලෝකවිදුය, අනුත්තර පුරිසධම්ම සාරථිය, දෙවි මිනිසුන්ට ශාස්තෘය, චතුස්සත්‍ය අවබොධ කළසේක, භගවත්යයි මෙසේ යහපත්වූ කීර්තිශබ්දය උස්ව පැනනැංගේය. හෙතෙම දෙවියන් සහිතවූ මරුන් සහිතවූ බඹුන් සහිතවූ දෙව් මිනිසුන් සහිතවූ ප්‍රජාව, තෙමේම විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්ෂකොට ගෙණ ප්‍රකාශ කෙරෙයි. හෙතෙම මුල යහපත්වූ මැද යහපත්වූ අග යහපත්වූ අර්ථ සහිතවූ ව්‍යඤ්ජන සහිත සියල්ලෙන් සම්පූර්ණවූ ධර්මය දෙශනා කෙරෙයි. පිරිසිදුවූ ශාසන බ්‍රාහ්මචරිය ප්‍රකාශ කෙරෙයි. එබඳුවූ රහතන් වහන්සේලාගේ දැකීම යහපත් වේය’ යනුයි.

ඉක්බිති වේනාගපුර බ්‍රාහ්මණ ගෘහපතීහු භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණීයාහුය. පැමිණ ඇතැම් අය භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත් පසෙක හුන්නාහුය. සමහරු භාග්‍යවතුන් වහන්සේ සමග සතුටුවූහ. සතුටුවිය යුතුවූ සිහිකටයුතුවූ කථාව කොට නිමවා එක්පසෙක හුන්නාහුය. ඇතැම්හු භාග්‍යවතුන් වහන්සේ යම් දිශාවෙක්හිද ඒ දිශාවට ඇදිලි බැඳ නමස්කාර කොට එකත්පසෙක හුන්නාහුය. ඇතැම්හු නාම ගොත්‍ර කියා එක්පසෙක හුන්නාහුය. ඇතැම්හු නිශ්ශබ්දව එකත් පසෙක හුන්නාහුය.

එකත්පසක හුන් වේනාගපුර වාසීවූ වච්ඡගොත්ත බ්‍රාහ්මණ තෙම “භවත් ගෞතමයන් වහන්ස, ආශ්චර්‍ය්‍යයකි භවත් ගෞතමයන් වහන්ස පුදුමයකි. භවත් ගෞතමයන් වහන්සේගේ ඉන්ද්‍රියයෝ විශෙෂයෙන් ප්‍රසන්නයහ ශරීරවර්ණය පිරිසිදුය, පැහැපත්ය, භවත් ගෞතමයන් වහන්ස, යම්සේ වනාහි සරත් කාලයෙහි හටගත්තාවූ වඩා නොපැසුනු ඩෙබර ඵලයක් පිරිසිදු වේද, පැහැපත් වේද, එපරිද්දෙන්ම භවත් ගෞතමයන්ගේ ඉන්ද්‍රියයෝ විශෙෂයෙන් ප්‍රසන්නයහ. ඡවි වර්ණය, පිරිසිදුය, පැහැපත්ය, එකෙණෙහි නටුවෙන් ගිලිහුණු තල්ගෙඩියක් යම්සේ පිරිසිදු වේද, පැහැපත් වේද එසේම භවත් ගෞතමයන් වහන්සේගේ ඉන්ද්‍රියයෝ විශෙෂයෙන් ප්‍රසන්නයහ, ඡවිවර්ණය, පිරිසිදුය, පැහැපත්ය භවත් ගෞතමයන්වහන්ස, දක්ෂවූ කර්මාර පුත්‍රයෙකු විසින් මනාකොට පරිකර්ම කරණ ලද්දාවූ කෝවෙහි දමා මනාකොට මට්ටම් කරන ලද්දාවූ රත් පලසක තබන ලද්දාවූ ජාම්බොනද රත්රනක් යම්සේ බබලන්නේද දිලිසෙන්නේද එලිය වැටෙන්නේද එපරිද්දෙන් භවත් ගෞතමයන් වහන්සේගේ ඉන්ද්‍රියයෝ විශෙෂයෙන් ප්‍රසන්නයහ, ඡවිවර්ණය, පිරිසුදුය, පැහැපත්ය. භවත් ගෞතමයන් වහන්ස, ඒකාන්තයෙන් යම් ඒ උච්චාසයන මහාසයනයෝ වෙද්ද.

“ඒ නම් දික්හඟලාපුටුය, පර්‍ය්‍යංකය දිග් ලොම් ඇති මහ කොඳු පලස්ය එළුලොම් ඇතිරිය සුදු එලු ලොම් ඇතිරිය ඝන පුප් ඇතිරිය, පුලුනින් කළ ඇතිරිය සිංහ ව්‍යාඝ්‍රාදී රූපයෙන් විසිතුරුවූ එළුලොම් ඇතිරිය, දෙදාවලු ඇති එළුලොම් ඇතිරිය, එක්දාවලු ඇති එළු ලොම් ඇතිරිය, රත්න මිශ්‍රව කළ කොසෙය්‍ය ඇතිරිය, කොසෙය්‍ය නූලින් කළ ඇතිරිය, නාටක ස්ත්‍රීන් සොළොස් දෙනෙකුට නැටීමට සුදුසු එළුලොම් ඇතිරිය, ඇතුන් පිට අතුරණ ඇතිරිය, රථයන්හි අතුරණ ඇතිරිය, ඇඳුම් දිවිසම්ය, කෙසෙල් මුව සමින් කළ උතුම් පසතුරුණුය, උඩුවියන් සහිතවූ දෙපාර්ශවයෙහි රතු කොට්ට ඇති අසුන්ය යන මේයි.

“භවත් ගෞතම තෙමේ ඒකාන්තයෙන් මෙබඳුවූ උච්චාසයන මහාසයන කැමතිසේ ලබන්නේය. පහසුවෙන් ලබන්නේය. නොවෙහෙසී ලබන්නේයයි” කීය.

“බමුණ යම් ඒ උච්චාසයන මහාසයනයෝ වෙද්ද, (මෙහි මේ සූත්‍රයේ 5 ඡෙදය යෙදිය යුතුයි) ඒ උච්චාසයන මහාසයන පැවිද්දන්ට දුර්ලභයහ. ලබන ලද්දාහුද, කැප නොවෙත් බමුණ යම් උච්චාසයන මහාසයනයක් මම දැන් කැමතිසේ ලබන්නෙම්ද පහසුවෙන් ලබන්නෙම්ද නිදුකින් ලබන්නෙම්ද එබඳු උච්චාසයන මහාසයන තුනක් වෙත්. කවර තුනක්ද, දිව්‍ය උච්චාසයන මහාසයනය, බ්‍රහ්ම උච්චාසයන මහාසයනය, ආර්‍ය්‍ය උච්චාසයන මහාසයනය යන මේයි. බමුණ මම යම් උච්චාසයන මහාසයනයක් දැන් කැමතිසේ ලබන්නෙම්ද පහසුවෙන් ලබන්නෙම්ද නිදුකින් ලබන්නෙම්ද මේ තුන වෙත්”

“භවත් ගෞතමයන්වහන්ස, භවත්ගෞතම තෙමේ යම් උච්චාසයන මහාසයනයක් කැමතිසේ ලබන්නේද පහසුවෙන් ලබන්නේද නිදුකින් ලබන්නේද ඒ දිව්‍ය උචචාසයන මහාසයනය කවරේද?

“බමුණ, මෙහි මම යම්බඳුවූ ගමක් හෝ නියම් ගමක් හෝ ඇසුරුකොට වෙසෙම්ද ඒ මම පෙරවරු කාලයෙහි හැඳ පොරවා පාසිවුරු ගෙණ එම ගමට හෝ නියම් ගමට හෝ පිඬු පිණිස ප්‍රවිෂ්ටවෙමි. ඒ මම සවස් කාලයෙහි පිණ්ඩපාතයෙන් වැළකුණේ වනයටම ප්‍රවිෂ්ට වෙමි. ඒ මම එහි තෘණ හෝ කොළ හෝ යමක් ඇත්තේද ඒවා එකතු කොට පර්‍ය්‍යංක බැඳ කය ඍජුකොට තබා සිහිය අරමුණට අභිමුඛ කොට තබා හිඳිමි

“ඒ මම කාමයන්ගෙන් වෙන්වම අකුසලයන්ගෙන් වෙන්වම විතර්ක සහිතවූ විචාර සහිතවූ විවෙකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වාසය කරමි. විතර්ක විචාරයන් සංසිඳවීමෙන් අධ්‍යාත්මයෙහි පැහැදීම් ඇති සිත හා එකඟ කරන්නාවූ විතර්ක නැති විචාර නැති සමාධියෙන් උපන් ප්‍රීතිය හා සැප ඇති ද්විතීයධ්‍යානයට පැමිණ වාසය කරමි. ප්‍රීතියෙහිද නොඇල්මෙන් ධ්‍යාන උපෙක්ෂාවෙන් යුක්තව සිහියෙන් යුක්තව ප්‍රඥාවෙන් යුක්තව කයින් සුව විඳීද යම් ධ්‍යානයක් උපෙක්ෂාවෙන් යුක්තව සිහියෙන් යුක්තව සැප විහරණ ඇත්තේයයි ආර්‍යයෝ කියත්. මම ඒ තෘතීය ධ්‍යානයට පැමිණ වාසය කරමි. සැපය පහකිරීමෙන්ද දුක නැති කිරීමෙන්ද ධ්‍යානය ලැබීමට පළමුවම සොම්නස් දොම්නස් දෙදෙනාගේ දුරුකිරීමෙන් දුක්ද නොවූ සැපද නොවූ උපෙක්ෂා සති දෙකින් පිරිසිදුවූ චතුර්ථධ්‍යානයට පැමිණ වාසය කරමි.”

“බමුණ, එසේවූ මම ඉදින් සක්මන් කෙරෙම්ද ඒ කාලයෙහි මාගේ මේ සක්මන් කිරීම දිව්‍ය සක්මන් කිරීමකි. බමුණ එසේවූ මම ඉදින් ඒ මම සිටිම්ද ඒ කාලයෙහිදී මාගේ මේ සිටීම දිව්‍ය සිටීමක් වේ. එසේවූ මම ඉඳින් හිදිනෙම්ද එකල්හි එය මාගේ ඒ දිව්‍ය ආසනයක් වෙයි. බමුණ එසේවූ මම සයනය කෙරෙම්ද එකල්හි ඒ මාගේ දිව්‍ය උච්චාසයනය මහාසයනය වෙයි. බමුණ මම දැන් යම් උච්චාසයන මහාසයනයක් කැමතිසේ ලබන්නෙම්ද පහසුවෙන් ලබන්නෙම්ද නිදුකින් ලබන්නෙම්ද බ්‍රාහ්මණය මේ වනාහි ඒ දිව්‍ය උච්චාසයන මහාසයනය වෙයි

“භවත් ගෞතමයන් වහන්ස ආශ්චර්‍ය්‍යයි, භවත් ගෞතමයන් වහන්ස අද්භූතයි, භවත් ගෞතමයන් වහන්සේ හැර මේ උච්චාසයන මහාසයනයක් කැමැතිසේ ලබන්නාවූ පහසුවෙන් ලබන්නාවූ නිදුකින් ලබන්නාවූ අන් කවරෙක් ඇත්තේද, භවත් ගෞතමයන් වහන්ස, දැන් භවත් ගෞතම තෙමේ යම් බ්‍රහ්ම උච්චාසයන මහාසයනය කැමති පරිදි ලබන්නේවේද පහසුවෙන් ලබන්නේ වේද නිදුකින් ලබන්නේවේද ඒ බ්‍රහ්ම උච්චාසයන මහාසයනය කවරේද?

“බ්‍රාහ්මණය, මම යම් ගමක් හෝ නියම් ගමක් හෝ ඇසුරුකොට වාසය කෙරෙම්ද, ඒ මම පෙරවරු කාලයෙහි හැඳ පාත්‍ර සිවුරු ගෙන එම ගමට නියම් ගමට හෝ පිඬු පිණිස යන්නෙමි. ඒ මම සවස් කාලයෙහි පිණ්ඩ පාතයෙන් වැළකුණේ එම වනයටම ප්‍රවිෂ්ට වෙමී ඒ මම එහි යම් තෘණ හෝ කොළ වෙද්ද ඒවා එකතුකොට එහි පර්‍ය්‍යංක බැඳ කය ඍජුව තබා සිහිය ඉදිරිපත්කොට තබා හිඳ ගනිමි.

ඒ මම මෛත්‍රී සහගත සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කරමි.

එසේම දෙවෙනි දිශාවද එසේම තුන්වැනි දිශාවද එසේම හතරවැනි දිශාවද, මෙසේ උඩද යටද සරසද සැම තන්හි හීන මධ්‍යාදී සියල්ල ඇති බැවින් සියලු සත්වයන් ඇත්තාවූ ලෝකය මහත්වූ මහත් බවට ගියාවූ අවෛරීවූ, ව්‍යාපාද රහිතවූ මෛත්‍රී සහගත සිතින් පතුරුවා වාසය කරමි.

(මේ ඡෙදය මේ සූත්‍රයේ 12 ඡෙදය මෙනි.)

“කරුණා සහගත සිතින් එක් දිශාවක් පතුරුවා වාසය

කරමි.

(මේ ඡෙදය මේ සූත්‍රයේ 12 ඡෙදය මෙනි.)

“මුදිතා සහගත සිතින් එක් දිශාවක් පතුරුවා වාසය

කරමි.

(මේ ඡෙදය මේ සූත්‍රයේ 12 ඡෙදය මෙනි.)

“උපෙක්ෂා සහගත සිතින් එක්දිශාවක් පතුරුවා වාසය

කරමි.

(මේ ඡෙදය මේ සූත්‍රයේ 12 ඡෙදය මෙනි.)

“එසේවූ මම ඉදින් සක්මන් කරම්ද, එකල්හි ඒ මාගේ සක්මන බ්‍රහ්ම සක්මනක් වෙයි. බ්‍රාහ්මණය, එකල්හි එසේවූ මම ඉදින් සිටිම්ද, හිදීම්ද, සයනය කෙරෙම්ද එකල්හි එය මාගේ බ්‍රහ්ම උච්චාසයන මහාසයනය වෙයි. බ්‍රාහ්මණය, මම දැන් යම් උච්චාසයන මහාසයනයක් කැමති පරිදි ලබන්නෙම්ද පහසුවෙන් ලබන්නෙම්ද නිදුකින් ලබන්නෙම්ද ඒ මාගේ උච්චාසයන මහාසයනය වෙයි.

“භවත් ගෞතමයන් වහන්ස, ආශ්චර්‍ය්‍යයකි, භවත් ගෞතමයන් වහන්ස, අද්භූතයකි. මෙවැනි බ්‍රහ්ම උච්චාසයන මහාසයනයක් කැමැති පරිදි ලබන්නාවූ පහසුවෙන් ලබන්නාවූ නිදුකින් ලබන්නාවූ භවත් ගෞතමයන් හැර අන් කවරෙක් ඇත්තේද? භවත් ගෞතමයන් වහන්ස, භවත් ගෞතම තෙමේ දැන් යම් ආර්‍ය උච්චාසයන මහාසයනයක් කැමතිසේ ලබන්නේ නම් පහසුවෙන් ලබන්නේ නම් නිදුකින් ලබන්නේ නම් ඒ ආර්‍ය්‍ය උච්චාසයන මහාසයනය කුමක්ද?

“බ්‍රාහ්මණය මම ගමකට හෝ නියම් ගමකට හෝ ඇසුරුකොට වෙසෙම්ද (මේ සූත්‍රයේ 12 ඡෙදය යොදා ගතයුතුයි) ඒ මම මාවිසින් රාගය පහකරන ලදී, මුල් සිඳින ලදී, කරටිය කැපූ තල්ගසක් මෙන් කරන ලදී. විනාශ කරන ලදී, නැවත නූපදින ස්වභාවයට පමුණුවන ලදැයි මෙසේ දැනගනිමි.

‘මා විසින් ද්වෙෂය පහකරන ලදී, මුල් සිඳින ලදී, කරටිය කැපූ තල්ගසක් මෙන් කරන ලදී, විනාශ කරන ලදී, නැවත නූපදින ස්වභාවයට පමුණුවන ලදැයි මෙසේ දැන ගනිමි.

“මා විසින් මොහය පහකරන ලදී, මුල් සිඳිනලදී. කරටිය කැපූ තල් ගසක්මෙන් කරන ලදී. විනාශ කරන ලදී. නැවත නූපදින ස්වභාවයට පමුණුවන ලදැයි මෙසේ දැන ගනිමි.

බ්‍රාහ්මණය, මෙසේවූ ඒ මම ඉදින් සක්මන් කෙරෙම්ද එකල්හි ඒ මාගේ ආර්‍ය්‍ය සක්මන වෙයි. බ්‍රාහ්මණය ඒ මම ඉදින් සිටිම්ද හිඳිම්ද සයනය කෙරෙම්ද එකල්හි එය මාගේ ආර්‍ය්‍ය උච්චාසයන මහාසයනය වෙයි. බ්‍රාහ්මණය, දැන් මම යම් උච්චාසයන මහාසයනයක් කැමති පරිදි ලබම්ද පහසුවෙන් ලබම්ද නිදුකින් ලබම්ද බ්‍රාහ්මණය මේ ඒ ආර්‍ය්‍ය උච්චාසයන මහාසයනය වෙයි.

“භවත් ගෞතමයන් වහන්ස, ආශ්චර්‍ය්‍යයකි. භවත් ගෞතමයන් වහන්ස, අද්භූතයෙකි. භවත් ගෞතමයන් වහන්ස, මෙවැනි ආර්‍ය්‍ය උච්චාසයන මහාසයනක් ලබන්නාවූ භාග්‍යවතුන් වහන්සේ හැර අන් කවරෙක් ඇත්තේද?

“භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපති, භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපති, භවත් ගෞතමයන් වහන්ස යම්සේ යටිකුරු කරණ ලද්දක් උඩුකුරු කරණ ලද්දේද, වැසුණු දෙයක් විවෘත කරන්නේද, මංමුළාවූවෙකුට මාර්ගය කියන්නේද, ඇස් ඇත්තෝ රූපදකිත්වායි කියා තෙල් පහනක් දරන්නේද එසේම ධර්මය ප්‍රකාශ කරන ලදී. ස්වාමීනි ඒ අපි භවත් ගෞතමයන් වහන්සේද ධර්මයද භික්ෂු සංඝයාද සරණ යමු. භවත් ගෞතමයන්වහන්සේ අද පටන් අප දිවිහිම් කොට උපාසකයන් කොට දරන සේක්වා.”