අංගුත්තර නිකාය

එක නිපාතය

7. මහා වර්ගය

64. සරභ (පරිබ්බාජක) සූත්‍රය

එක් සමයක භාග්‍යවතුන්වහන්සේ රජගහනුවර ගිජ්ඣකූට පර්වතයෙහි වාසයකරන සේක. එකල්හි සරභ නම් පරිබ්‍රාජික තෙම මේ ශාසනයෙන් ඉවත්ව ගොස් නොබෝකල් ඇත්තේ විය. හෙතෙම රජගහනුවර පිරිස් මැද මේ වචනය කියයි. කුමක්ද “මා විසින් ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයන්ගේ ධර්මය දැනගන්නා ලදී. මම ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයන්ගේ ධර්මය දැනගෙන මෙසේ ඒ ධර්ම විනයෙන් අස්වූයෙමි”යනුයි.

“ඉක්බිති බොහෝ භික්ෂූහු හැඳ පාත්‍ර සිව්රු ගෙන රජගහනුවරට පිඬු පිණිස වැඩියහ. ඒ භික්ෂූහු ‘මා විසින් ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයන්ගේ ධර්ම දැනගන්නා ලදී. මම ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයන්ගේ ධර්මය දැන ඒධර්ම විනයෙන් අස්වූයෙමි’ යන රජගහනුවර පිරිස් මැද කියන්නාවූ, ඒ සරභ පරිබ්‍රාජකයාගේ වචනය ඇසූහ. ඉක්බිති ඒ භික්ෂූහු රජගහ නුවර පිඬු පිණිස හැසිර සවස් කාලයෙහි පිණ්ඩපාතයෙන් වැළකුණේ භාග්‍යවතුන්වහන්සේ යම් තැනෙක්හිද එහි පැමිණියාහුය. පැමිණ භාග්‍යවතුන්වහන්සේට වැඳ එක් පසෙක උන්හ. එක්පසක හුන්නාවූ ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය කීහ.

ස්වාමීනි, මේ ධර්මවිනය සංඛ්‍යාත ශාසනයෙන් නික්ම ගොස් නොබෝකල් ඇති සරභ පරිබ්‍රාජක තෙමේ රජගහනුවර පිරිස් මැද මේ වචනය කියයි. ‘මා විසින් ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයන්ගේ ධර්මය දැනගන්නා ලදී. මම ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයන්ගේ ධර්මය දැනගෙන ඒ ධර්ම විනයෙන් අස්වූයෙමි’ යනුයි. ස්වාමීනි, භාග්‍යවතුන්වහන්සේ සප්පීනිකා නම් ගංඉවුර යම් තැනෙකද පරිබ්‍රාජකාරාමය යම් තැනකද සරභ පරිබ්‍රාජකයා යම් තැනකද එහි වඩින සේක් නම් මැනවි” කියායි.

භාග්‍යවතුන්වහන්සේ තුෂ්ණීම්භාවයෙන් ඉවසූසේක. ඉක්බිති භාග්‍යවතුන්වහන්සේ සවස්භාගයෙහි විවෙකයෙන් නැඟී සිටියේ සප්පීනිකා ගංඉවුර යම් තැනෙක්හිද පරිබ්‍රාජිකාරාමය යම් තැනෙක්හිද සරභ පරිබ්‍රාජිකයා යම් තැනෙක්හිද එහි වැඩියහ. වැඩමවා පනවන ලද අසුනෙහි වැඩහුන්නේය. වැඩහිඳ භාග්‍යවතුන්වහන්සේ සරභ පරිබ්‍රාජකයාට මෙසේ වදාළේය.

“සරභය, ඔබ මෙසේ කියන්නෙහි යනු ඇත්තක්ද? කෙසේද? ‘ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයන්ගේ ධර්මය මා විසින් දැනගන්නාලදී. මම ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයන්ගේ ධර්මය මෙසේ දැන ඒ ධර්ම විනයෙන් අස්වූයෙමී’ යනුයි.” මෙසේ කීකල්හි සරභ පරිබ්‍රාජක තෙමේ නිශ්ශබ්ද විය. දෙවනුවද භාග්‍යවතුන්වහන්සේ (මෙහි මේ සූත්‍රයේ 5 ඡෙදය යොදගත යුතුයි) සරභ පරිබ්‍රාජකයාහට මෙසේ වදාළේය. සරභය කියව තොප විසින් ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයන්ගේ ධර්මය කුමකැයි දැනගන්නා ලද්දේද? ඉදින් තොපගේ යම් අඩුවක් වන්නේ නම් මම එය සම්පූර්ණ කරන්නෙමි. ඉදින් තොපගේ දැනීම සම්පූර්ණ නම් මම අනුමෝදන් වන්නෙමියි” වදාළේය. දෙවනුවද සරභ පරිබ්‍රාජක තෙමේ නිශ්ශබ්ද විය.

තුන්වෙනුවත් භාග්‍යවතුන්වහන්සේ සරභ පරිබ්‍රාජකයාහට මෙසේ වදාළේය. කෙසේද? “සරභය කියව, තොප විසින් ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයන්ගේ ධර්මය කුමකැයි දැනගන්නා ලද්දේද? ඉඳින් තොපගේ අඩුවක් වෙයිනම් එය මම සම්පූර්ණ කරමි ඉඳින් තොපගේ දැනීම සම්පූර්ණ නම් එයම අනුමෝදන් වන්නෙමි” කියයි. තුන්වෙනුවත් සරභ පරිබ්‍රාජික තෙමේ නිශ්ශබ්ද විය.

ඉක්බිත්තෙන් වනාහි ඒ පරිබ්‍රාජකයෝ සරභ නම් පරිබ්‍රාජකයාට මේ වචනය කීවාහුය. “ඇවත් සරභයෙනි, නුඹ යමක් ශ්‍රමණ ගෞතමයන් ඉල්වන්නෙහි නම් එයම තට ශ්‍රමණ ගෞතම තෙමේ පවරයි. ඇවත් සරභයෙනි කියව තා විසින් ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයන්ගේ ධර්මය කුමකැයි කියා දැනගන්නා ලද්දේද, ඉඳින් තොපගේ අඩුවක් වෙයිනම් ශ්‍රමණ ගෞතම තෙමේ එය සම්පූර්ණ කරන්නේය. ඉඳින් තොපගේ දැනීම සම්පූර්ණ නම් ශ්‍රමණ ගෞතම තෙමේ අනුමොදන්වන්නේය” යනුයි.

මෙසේ කීකල්හි සරභ පරිබ්‍රාජක තෙම ඔද බිඳී ගොස් කරනමා බිම බලා නිහඬව කල්පනා කරමින් වැටහීමක් නැතිව හුන්නේය.

ඉක්බිති භාග්‍යවතුන්වහන්සේ සරභ නම් පරිබ්‍රාජකයා නිශ්ශබ්දව ඔද බිඳී කරනමා බිම බලාගෙන නිහඬව කල්පනා කරමින් වැටහීමක් නැතිව හුන්නාහු දැන පරිබ්‍රාජකයන්ට (මෙසේ) වදාළහ. “පරිබ්‍රාජකයෙනි, යමෙක් වනාහි මට මෙසේ කියන්නේද ‘මම සම්‍යක් සම්බුද්ධ වෙමියි ප්‍රතිඥා කරන්නාවූ ඔබ විසින් මේ ධර්මයෝ අවබොධ නොකරණ ලද්දාහුය’ කියායි. මම ඔහුගෙන් කරුණු මනාකොට විචාරන්නෙමි. හෙතු යුක්ති විමසන්නෙමි කරුණු කියන්නෙමි.

“මා විසින් කරුණු විචාරනු ලබන්නාවූ හෙතු යුක්ති විමසනුලබන්නාවූ කරුණු කියනු ලබන්නාවූ හෙතෙම කරුණු තුනකින් එක්තරා කරුණකට පැමිණේය යන මීට හෙතු නැත්තේය. කවර තුනක්ද යත් අන් වචනයකින් අන් වචනයක් වසන්නේය. කථාව අන් අතකට යොමුකරන්නේය. කෝපයද ද්වේෂයද නොසතුටු බවද පහළ කරන්නේය. නිශ්ශබ්දව තෙදබිඳී කර පාත්කොට මුහුණ යට හෙළා කල්පනා කරමින් කරුණු නොවැටහී සරභ පරිබ්‍රාජකයා මෙන් හිඳන්නේය යන කරුණු තුනය.”

“පරිබ්‍රාජකයෙනි යමෙක් වනාහි මට මෙසේ කියන්නේද මම ක්ෂීණශ්‍රව වෙමියි ප්‍රතිඥාකරන්නාවූ ඔබ විසින් මේ ආශ්‍රවයෝ ක්ෂය නොකරන ලද්දාහුය’ කියායි. පරිබ්‍රාජකයෙනි, යමෙක් මට ක්ෂීණාශ්‍රවයෙකැයි ප්‍රතිඥාකරන ඔබ විසින් මේ ආශ්‍රවයෝ ක්ෂය නොකරන ලදහ’ කියායි.

(මේ ඡෙදය මේ සූත්‍රයේ 10 ඡෙදය මෙනි.)

ඉක්බිති භාග්‍යවතුන්වහන්සේ සප්පීනිකා ගංඉවුරෙහිවූ පරිබ්‍රාජකාරාමයෙහි තුන්වරක් අභීත නාදය කොට අහසින් වැඩියේය. ඉක්බිති ඒ පරිබ්‍රාජකයෝ භාග්‍යවතුන් වහන්සේ වැඩි නොබෝ වේලාවකින් සරභ නම් පරිබ්‍රාජකයා හට හාත්පසින් වචන නැමති කෙවිටෙන් නිරතුරුවම ඇන්නාහුය.

“ඇවැත්නි සරභයෙනි, යම්සේ වනාහි මහ වනයෙහි ජර සිවලෙක් සිංහනාද කරන්නෙමියි සිවල් හඬම කෙරේද අප්‍රිය හඬම කෙරේද ඇවත් සරභයෙනි, එමෙන්ම නුඹ ශ්‍රමණ ගෞතමයන් හැර සිංහනාද කරන්නෙමියි සිවල් හඬම කෙරෙහිය. අප්‍රිය හඬම කෙරෙහිය, ඇවැත්, සරභයෙනි යම්සේ වනාහි කුකුල් පැටියෙක් මහ කුකුළ් හඬ කරන්නෙමියි කුඩා කුකුළ් හඬම කෙරේද, ඇවත් සරභයෙනි, යම්සේ වනාහි කුකුළ් පැටියෙක් වැනි ඔබ ශ්‍රමණ ගෞතමයන් හැර මහ කුකුළ් හඬ කරන්නෙමියි කුකුළ් පැටියෙකුගේ හඬම කෙරෙහිය. ඇවැත් සරභයෙනි, යම්සේ වනාහි ගොනෙක් තෙම වෘෂභයන්ගෙන් හිස්වූ ගව ගාලෙක වෙත්හි ගැඹුරු කොට නාදකළ යුතුයයි. හඟීද ඇවැත් සරභය එමෙන්ම ඔබ ශ්‍රමණ ගෞතමයන් හැර ගැඹුරු කොට නාදකළ යුතුයයි හඟින්නෙහිය” කියායි. ඉක්බිති පරිබ්‍රාජකයෝ සරභ පරිබ්‍රාජකයා හට හාත්පස වර්ධන නමැති කෙවිටෙන් නිරතුරු ඇන්නාහුය.