අංගුත්තර නිකාය

එක නිපාතය

8. ආනන්ද වර්ගය

71. ඡන්නපරිබ්බාජක සූත්‍රය

“මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක ආනන්ද ස්ථවිරයෝ සැවැත්නුවර අසල අනේපිඬු සිටානන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩසිටියෝය. එකල්හි ඡන්න පරිබ්‍රාජක තෙමේ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන්වහන්සේ යම්තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ සමග සතුටුවිය. සතුටු වියයුතු සිහි කටයුතු කථාව කොට නිමවා එක්පසෙක හිඳගත්තේය.

“එක්පසෙක හිඳගත් ඡන්න පරිබ්‍රාජක තෙමේ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන්වහන්සේට මෙසේ කීය. “ඇවැත් ආනන්දයෙනි, ඔබවහන්සේලාද රාගය පහකිරීම පනවන්නාහුය, ද්වෙෂය පහකිරීම පනවන්නහුය, මොහය පහකිරීම පනවන්නාහුය. ඇවැත්නි, අපිද රාගය පහකිරීම පනවන්නෙමු දේවෙෂය පහකිරීම පනවන්නෙමු, මොහය පහකිරීම පනවන්නෙමු. ඇවැත්නි, නුඹවහන්සේලා රාගයෙහි කිනම් ආදීනවයක් දැක රාගය පහකිරීම පනවන්නහුද, ද්වෙෂයෙහි කිනම් ආදීනවයක් දැක ද්වෙෂය පහකිරීම පනවන්නහුද මොහයෙහි කිනම් ආදීනවයක් දැක මොහය පහකිරීම පනවන්නහුද?”

“ඇවැත්නි, රාගයෙන් ඇලුණාවූ රාගයෙන් මඩනා ලද්දාවූ රාගයෙන් විනාශ කළ සිත් ඇත්තාවූ පුද්ගලතෙම තමහට දුක් පිණිසද සිතයි. අනුන්ට දුක් පිණිසද සිතයි. දෙදෙනාටම දුක් පිණිසද සිතයි. මානසිකවූද දුකක් දොම්නසක් විඳියි.

“රාගය පහවූ කල්හි තමහට දුක් පිණිසද නොසිතයි. අනුන්ට දුක් පිණිසද නොසිතයි. දෙදෙනාටම දුක් පිණිසද නොසිතයි.

“ඇවැත්නි, රාගයෙන් ඇලුණාවූ රාගයෙන් මඩනා ලද රාගයෙන් විනාශ කළ සිත් ඇත්තේ කයින් දුශ්චරිත කරයි, වචනයෙන් දුශ්චරිත කරයි, සිතින් දුශ්චරිත කරයි. රාගය පහවූ කල්හි කයින් දුශ්චරිත නොකරයි. වචනයෙන් දුශ්චරිත නොකරයි, සිතින් දුශ්චරිත නොකරයි.

“ඇවැත්නි, රාගයෙන් ඇලුනාවූ රාගයෙන් මඩනා ලද්දාවූ රාගයෙන් විනාශ කළ සිත් ඇත්තේ තමාගේ අර්ථයද තත්වූ පරිදි නොදනියි, පරාර්ථයද තත්වූ පරිදි නොදනියි, අත්මාර්ථ පරාර්ථ දෙකමද තත්වූ පරිදි නොදනියි.

“රාගය පහවූ කල්හි තමාගේ අර්ථයද තත්වූ පරිදි දනියි, පරාර්ථයද තත්වූ පරිදි දනියි, ආත්මාර්ථ පරාර්ථ දෙකමද තත්වූ පරිදි දනියි.

“ඇවැත්නි, රාගය සත්වයා අන්ධ කරන්නෙකි, නුවණැස නැති කරන්නෙකි. නොදැනීම ඇතිකරන්නෙකි. ප්‍රඥාව නිරුද්ධ කරන්නෙකි. දුක්ඛ පක්ෂයෙහි සිටියේය. නිවන් පිණිස නොපවත්නේය.

(‘රාගයෙන්’ වෙනුවට ‘ද්වෙෂයෙන්’ යන වචනය මේ සූත්‍රයේ 3, 4, 5 ඡෙදයන්හි යෙදීමෙන් 6, 7, 8 ඡෙද සෑදෙත්.)

රැ (‘රාගයෙන්’ වෙනුවට ‘මෝහයෙන්’ යන වචනය 3, 4, 5 ඡෙදයන්හි යෙදීමෙන් 9, 10, 11 ඡෙද සෑදෙත්.)

“ඇවැත්නි, අපි රාගයෙහි මේ ආදීනව දැක රාගය පහකිරීම පනවමු. දේවෙෂයෙහි මේ ආදීනව දැක ද්වෙෂය පහකිරීම පනවමු. මොහයෙහි මේ ආදීනව දැක මොහය පහ කිරීම පනවමු.

“ඇවැත්නි, මේ රාගය ද්වෙෂය මොහය පහකිරීම පිණිස මාර්ගයක් ඇත්තේද? ප්‍රතිපදාවක් ඇත්තීද?”-“ඇවැත්නි, මේ රාගය ද්වෙෂය මොහය පහකිරීම පිණිස මාර්ගයක් ඇත්තේය. ප්‍රතිපදාවක් ඇත්තීය.”

“ඇවැත්නි, මේ රාගය ද්වේෂය මොහය පහකිරීම පිණිස පවත්නාවූ මාර්ගය කුමක්ද, ප්‍රතිපදාව කුමක්ද?”

“මේ ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගයමැයි. ඒ කෙසේද? සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පනාව, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් ස්මෘතිය, සම්‍යක් සමාධිය යන මේය. ඇවැත්නි, මේ රාගය

ද්වෙෂය මොහය පහකිරීම පිණිස මේ මාර්ගය වෙයි, මේ ප්‍රතිපදාව වෙයි.”

“ඇවැත්නි, මේ රාගය ද්වෙෂය මොහය පහකිරීම පිණිස පවත්නාවූ මාර්ගය යහපත්ය, ප්‍රතිපදාව යහපත්ය ඇවැත්නි, අප්‍රමාදවීමට සුදුසුයයි” කීය.