අංගුත්තර නිකාය

එක නිපාතය

10. ලෝණඵල වර්ගය

95. අග්ගවතී (හෝ) පරිසත්තය සූත්‍රය

“මහණෙනි, මේ පිරිස් තුනකි. කවර තුනක්ද? අග්‍රවූ පිරිසය, වර්ග (භෙද) වූ පිරිසය. සමඟි පිරිසය යනුයි.

“මහණෙනි, අග්‍රවූ පිරිස නම් කවරීද? මහණෙනි, මේ ශාසනයෙහි යම් පිරිසක ස්ථවිර භික්ෂූහු ප්‍රත්‍ය බහුලකොට ඇත්තෝ නොවෙත්ද, ශාසනය ලිහිල්කොට ගත්තෝ නොවෙත්ද නීවරණයන්හි බහා තබන ලද බර ඇත්තාහු වෙත්ද, ත්‍රිවිධ විවෙකය පෙරටුකොට ඇත්තාහු වෙත්ද, නොපැමිණ ගුණයන්ට පැමිණීම පිණිසද, අවබොධ නොකළ ගුණයන් අවබොධ කරනු පිණිසද, ප්‍රත්‍යක්ෂ නොකළ ගුණයන් ප්‍රත්‍යක්ෂ කිරීම පිණිසද, වීර්‍ය්‍යය කරන්නේ වෙයිද, ඔවුන්ගේ පසු ජනතාව ඔවුන් අනුව යන්නීය. පසු ජනතාවද ප්‍රත්‍ය බහුලකොට ඇත්තී නොවෙයි. ශාසනය ලිහිල්කොට ගන්නී නොවෙයි. නීවරණයන්හි බහා තබන ලද බර ඇත්තී වෙයි, විවේකය පෙරටුකොට ඇත්තී වෙයි. නොපැමිණ ගුණයන්ට පැමිණීම පිණිසත් අවබොධ නොකළ ගුණයන් අවබොධ කිරිම පිණිසත් ප්‍රත්‍යක්ෂ නොකළ ගුණයන් ප්‍රත්‍යක්ෂ කිරීම පිණිසත් වීර්‍ය්‍යය කරයි. මහණෙනි, මේ අග්‍ර පිරිසයයි කියනුලැබේ.

“මහණෙනි, වර්ග පිරිස නම් කවරීද? මහණෙනි, මේ ශාසනයෙහි යම් පිරිසක් භික්ෂූහු හටගත් ඩබර ඇතිව හටගත් කලහ ඇතිව විරුද්ධ වාදයට පැමිණ ඔවු නොවුන් වචන නමැති ආවුධවලින් විදගනිමින්, වාසය කෙරෙද්ද, මහණෙනි, මේ වර්ග පිරිසයයි කියනුලැබේ.

“මහණෙනි, සමගි පිරිස නම් කවරීද? මහණෙනි, මේ ශාසනයෙහි යම් පිරිසක භික්ෂූහු සමගිව සතුටු වෙමින් විවාද නොකරමින් කිරිත් වතුරත් මෙන් එක්ව ඔවුනොවුන් ප්‍රිය ඇසින් බලමින් වාසය කරත්ද, මහණෙනි, මේ පිරිස සමඟි පිරිසයයි, කියනු ලැබේ.

“මහණෙනි, යම් කලෙක භික්ෂුහු සමගිව සතුටුව විවාද නොකරමින් කිරිත් වතුරත් මෙන් එක්ව ඔවුනොවුන් ප්‍රිය ඇසින් බලමින් වාසය කරද්ද

“මහණෙනි, එකල්හි භික්ෂූහු බොහෝ පින් රැස් කරත්, මහණෙනි, එකල්හි යම් මුදිතා චිත්ත සමාධියක් වේද ඒ මුදිතා චිත්තසමාධියයි කියන ලද බ්‍රහ්ම විහරණයෙන් යුක්තව වාසයකරත්. මුදිතායෙන් සතුටු වූවහුට ප්‍රීතිය උපදියි. ප්‍රීති සිත් ඇත්තාහුගේ නාම කය සංසිදෙයි. සංසිඳුණු කය ඇත්තේ සැපය විඳියි. සැපවත් වූවහුගේ සිත සමාධියට පැමිණෙයි.

“මහණෙනි, මෙසේ කඳුකරයෙහි මහපොද ඇති වැසි වස්නා කල්හි ජලය පහත් තැන් කරා ගලායන්නේ කඳුරැලි ඇල දොළ පිරීයන්නේද, කඳුරැලි ඇල දොළ පිරී යාමෙන් කුඩා පතස් පිරෙයිද, කුඩා පතස් පිරීමෙන් මහ පතස් පිරෙයිද, මහ පතස් පිරීමෙන් කුඩා ගංගා පිරෙයිද කුඩා ගංගා පිරීමෙන් මහගංගා පිරෙයිද, මහගංගා පිරීමෙන් සමුද්‍රය පිරෙයිද, මහණෙනි, එපරිද්දෙන් යම් කලෙක භික්ෂූහු සමඟිව සතුටුව විවාද නොකරමින් කිරිත් දියත් මෙන් එක්ව ඔවුනොවුන් ප්‍රිය චක්ෂූසින් බලමින් වාසය කරත්ද, මහණෙනි.

“එකල්හි භික්ෂූහු බොහෝ පින් රැස් කරත්. මහණෙනි, එකල්හි භික්ෂූහු යම් මුදිතා සමාධියක් ඇත්නම් ඒ මුදිතා බ්‍රහ්මවිහරණයෙන් යුක්තව වාසය කරයි, මුදිතාවෙන් යුක්තවූවහුට ප්‍රීතිය උපදියි. ප්‍රීතියෙන් යුක්තවූවහුගේ නාම කාය සංසිඳෙයි. සංසිඳුණු කය ඇත්තේ සැපය විඳියි. සැප ඇත්තහුගේ සිත සමාධියට පැමිණෙයි. මහණෙනි, මේ වනාහි තුන්පිරිස වේයයි වදාළේය.