අඞ්ගුත්තරනිකායො

චතුක්ක නිපාතය

3. තුන්වෙනි පණ්ණාසකය

(12) 2. කෙසී වර්‍ගය

1. කෙසී සූත්‍රය

ඉක්බිති කෙසී නම් අශ්වයන් දමනය කරන්නා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත් පසෙක සිටියේය. එකත් පසෙක සිටි කෙසී නම් අශ්වයන් දමනය කරන්නාට භාග්‍යවතුන් වහන්සේ, ’’කෙසීය, ඔබ ප්‍රසිද්‍ධ අශ්වයන් දමනය කරන්නෙක් වෙහිය. ඔබ කෙසේ වනාහි දමනය කටයුතු අශ්වයන් හික්මවන්නෙහිදැ’’ යි ඇසූ සේක.

’’ස්වාමීනි, මම දමනය කළයුතු අශ්වයකු මෘදුකමින්ද, ඵරුෂකමින්ද, මෘදු ඵරුෂකමින්ද හික්මවමි.’’

’’කෙසිය, ඉදින් තොප විසින් දමනය කළ යුතු අශ්වයා මෘදු කමින් හික්මීමට නොපැමිණේද, ඵරුෂකමින්ද හික්මීමට නොපැමිණේද, මෘදු ඵරුෂකමින් හික්මීමට නොපැමිණේද, ඔහුට කුමක් කරන්නෙහිද?’’

’’ස්වාමීනි, ඉදින් මගේ දමනය කළ යුතු අශ්වයා මෘදුකමින් හික්මීමට නොපැමිණේද, ඵරුෂකමින් හික්මීමට නොපැමිණේද, මෘදුකමින් හා ඵරුෂකමින් හික්මීමට නොපැමිණේද, ස්වාමීනි, ඔහු නසමි. ඊට හේතු කවරේද? මාගේ ආචාර්‍ය්‍ය කුලයට අවනම්බුවක් නොවේවා කියායි. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ නිරුත්තර පුරුෂයන් හික්මවන්නෙකි. කෙසේ වනාහි ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ කෙසේ දමනය කළ යුතු පුරුෂයන් හික්මවන්නේද?’’

’’කෙසිය, මම දමනය කළ යුතු පුරුෂයන් මෘදු කමින්ද හික්මවමි. ඵරුෂකමින්ද හික්මවමි. මෘදු ඵරුෂකමින්ද හික්මවමි.

’’කාය සුචරිතය මෙසේය, කාය සුචරිතයාගේ විපාකය මෙසේය, වචී සුචරිතය මෙසේය, වචී සුචරිතයාගේ විපාකය මෙසේය, මනො සුචරිතය මෙසේය, මනො සුචරිතයාගේ විපාකය මෙසේය,

’’දෙවියෝ මෙසේය, මනුෂ්‍යයෝ මෙසේය, කෙසිය, මෙය මෘදුකමය, කාය දුෂ්චරිතය මෙසේය. කාය දුශ්චරිතයාගේ විපාකය මෙසේයි. වාග් දුෂ්චරිතය මෙසේයි. වාග් දුශ්චරිතයාගේ විපාකය මෙසේයි. මනො දුෂ්චරිතය මෙසේයි. මනො දුශ්චරිතයාගේ විපාකය මෙසේයි. නිරය මෙසේයි. තිරිසන් යොනිය මෙසේය. ප්‍රේත නිකාය මෙසේය. කෙසීය, මෙය එහි මෘදුකම හා ඵරුෂ කමය.

’’කාය සුචරිතය මෙසේය.කාය සුචරිතයාගේ විපාකය මෙසේය. කාය දුෂ්චරිතය මෙසේය. කාය දුශ්චරිතයාගේ විපාකය මෙසේය. වාග් සුචරිතය මෙසේය. වාග් සුචරිතයා ගේ විපාකය මෙසේය. වාග් දුෂ්චරිතය මෙසේය. වාග් දුශ්චරිතයාගේ විපාකය මෙසේය. මනො සුචරිතය මෙසේය. මනො සුචරිතයාගේ විපාකය මෙසේය. මනො දුෂ්චරිතය මෙසේය. මනො දුශ්චරිතයාගේ විපාකය මෙසේය.

’’දෙවියෝ මෙසේය, මනුෂ්‍යයෝ මෙසේය, නරකය මෙසේය, තිරිසන් යෝනිය මෙසේය, ප්‍රෙත යෝනිය මෙසේය.’’

’’ස්වාමීනි, නුඹ වහන්සේ ගේ දමනය කළ යුතු පුරුෂයා මෘදුකමින් හික්මීමට නොයාද, භාග්‍යවතුන් වහන්සේ ඔහුට කුමක් කරන්නේද?’’

’’කෙසිය, ඉදින් මගේ දමනය කළ යුතු පුරුෂයා මෘදු කමින් හික්මීමට නොයයිද, ඵරුෂකමින් හික්මීමට නොයයිද, මෘදුකමින් හා ඵරුෂකමින් හික්මීමට නොයයිද, කෙසිය, ඔහු නසමි.’’

’’ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේට සතුන් මැරීම නොකැප නොවේද?’’

’’ඉක්බිති, භාග්‍යයවතුන් වහන්සේ, ’’කෙසිය, මම ඔහු නසමි’’ යි වදාළ සේක. ’’කෙසිය, සත්‍යය. භාග්‍යවත්හට සතුන් මැරීම අකැපය. එසේ නමුදු දමනය කළ යුතු ඒ පුරුෂ තෙම මෘදුකමින් හික්මීමට නොයයිද, ඵරුෂකමින් හික්මීමට නොයයිද, මෘදුකමින් හා ඵරුෂකමින් හික්මීමට නොයයිද, තථාගතයන් වහන්සේ ඔහු කිවයුතුකොට, අනුශාසනා කළ යුතු කොට හඟියි. නුවණැති සබ්‍රම්සරුන් නොකිවයුතු කොට, අනුශාසනා නොකළ යුතු කොට සිතත්ද, යමෙක් තථාගතයන් වහන්සේ නොකිවයුතු කොට, අනුශාසනා නොකළ යුතු කොට සිතයිද, නුවණැති සබ්‍රම්සරුන් කිවයුතු කොට, අනුශාසනා කළ යුතු කොට සිතත්ද, කේසිය, මෝ තොමෝ ආර්‍ය්‍ය විනයෙහි වධය.’’

’’යමෙකු තථාගතයන් වහන්සේ කිවයුතු කොට, අනුශාසනා කළ යුතු කොට නොසිතත්ද, නුවණැති සබ්‍රහ්මචාරීහු කිවයුතු කොට, අනුශාසනා කළ යුතු කොට නොසිතත්ද, ස්වාමීනි, හෙතෙම ඒකාන්තයෙන් වධයට පැමිණියෙක් වේ.’’

’’ භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපති. භවත් ගෞතමයන් වහන්ස, යම් සේ යටිකුරු කරණ ලද්දක් උඩුකුරු කරන්නේද, වැසුණු දෙයක් විවෘත කරන්නේද, මංමුලා වූවෙකුට මාර්ගය කියන්නේද, ඇස් ඇත්තෝ රූප දකිත්වායි අඳුරෙහි තෙල් පහනක් දරන්නේද, එසේම භවත් ගෞතමයන් වහන්සේ විසින් අනේක ප්‍රකාරයෙන් ධර්මය ප්‍රකාශ කරණ ලදී. ඒ මම භවත් ගෞතමයන් වහන්සේ සරණ යමි. ධර්මයද, භික්‍ෂු සංඝයාද සරණ යමි. අද සිට දිවි හිම් කොට සරණ ගිය උපාසකයකු කොට භවත් ගෞතමයන් වහන්සේ මා දරාවා.’’