අඞ්ගුත්තරනිකායො

චතුක්ක නිපාතය

3. තුන්වෙනි පණ්ණාසකය

(12) 2. කෙසී වර්‍ගය

3. පතොදසුත්තං

’’මහණෙනි, මේ යහපත් ආජානෙය අශ්වයන් සතර දෙනෙක් ලෝකයෙහි ඇත්තාහ. විද්‍යමාන වෙත්. කවර සතර දෙනෙක්ද යත්, මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් යහපත් ආජානෙය අශ්වයෙක් කෙවිටෙහි සෙවනැල්ල දැක, ’කිමෙක්ද, මට අද අශ්වදම්මසාරථී තෙම දඬුවම් කරන්නේද, ඊට මම කුමන ප්‍රතිකාරයක් කරම්දැ’ යි දනී. සංවේගයට පැමිණේ. මහණෙනි, මේ ලොකයෙහි ඇතැම් මෙබඳු යහපත් ආජානෙය්‍ය අශ්වයෙක් වේ. මහණෙනි, මේ පළමුවෙනි යහපත් ආජානෙය අශ්වයා ලොකයෙහි ඇත්තාහ, විද්‍යමාන වෙත්.

’’මහණෙනි, නැවතද අනිකක් කියමි. මේ ලෝකයෙහි ඇතැම් යහපත් ආජානෙය අශ්වයෙක් කෙවිටි සෙවනැල්ල දැක දනී. සංවේගයට පැමිණේ. වැලිදු රෝමකූපයෙහි කැවිටේ ඇනයෙන් විදින්නේ දනී. සංවේගයට පැමිණේ. ’කුමක් සඳහා මට අද අශ්වදම්මසාරථී තෙම දඬුවම් කරන්නේද, ඊටම කවර ප්‍රතිකර්මයක් කරම්ද?’ මහණෙනි, මෙහි මෙබඳුවූ ඇතැම් යහපත් ආජානෙය්‍ය අශ්වයෙක් වේ. මහණෙනි, මේ දෙවෙනි යහපත් ආජානෙය අශ්වයෙක් ලොකයෙහි ඇත්තාහ, විද්‍යමාන වේ.

’’ නැවතද මහණෙනි, මේ ලෝකයෙහි යහපත් ආජානෙය අශ්වයෙක් කැවිටි සෙවනැල්ල දැක ගණන් නොගනී. සංවේගයට නොපැමිණේ. රෝමකූපයෙහි කැවිටේ ඇනයෙන් විදුනේ ගනන් නොගනී. සංවේගයට නොපැමිණේ. එහෙත් සමෙහි ඇනයෙන් විදුනේ දනී. සංවේගයට පැමිණේ. ’කිමෙක්ද, මා අද අශ්වදම්මසාරථී තෙම දඬුවම් කරන්නේද, මම ඔහුට කවර ප්‍රතිකර්මයක් කරම්ද?’ මහණෙනි, මේ ලොකයෙහි මෙබඳුවූ යහපත් ආජානෙය අශ්වයෙක් වේ. මහණෙනි, මේ තුන්වෙනි යහපත් ආජානෙය අශ්වයෙක් ලොකයෙහි ඇත්තාහ, විද්‍යමාන වෙත්.

’’ මහණෙනි, නැවත මේ ලෝකයෙහි ඇතැම් යහපත් ආජානෙය අශ්වයෙක් කැවිටි සෙවනැල්ල දැක ගණන් නොගනී. සංවේගයට නොපැමිණේ. රෝමකූපයෙහි විදින ලද්දේ ගනන් නොගනී. සංවේගයට නොපැමිණේ. සම විදින ලද්දේ ගණන් නොගනී. එතකුදු වුවත් ඇට විදින ලද්දේ දනී. සංවේගයට පැමිණේ. ’කුමක් සඳහා, මා අද අශ්වදම්මසාරථී තෙම දඬුවම් කරන්නේද, මම ඔහුට කවර ප්‍රතිකර්මයක් කරන්නේදැ’ යි සංවෙගයට පැමිණේ. මහණෙනි, මේ ලොකයෙහි මෙබඳුවූද යහපත් ආජානෙය අශ්වයෙක් වේ. මහණෙනි, මේ සතරවෙනි යහපත් ආජානෙය අශ්වයෙක් ලොකයෙහි ඇත්තාහ, විද්‍යමාන වෙත්. මහණෙනි, මේ යහපත් සතර ආජානෙය අශ්වයෝ ලොකයෙහි ඇත්තාහ, විද්‍යමාන වෙත්.

’’මහණෙනි, එසේම මේ යහපත් අජානෙය පුරුෂයෝ සතර දෙනෙක් ලෝකයෙහි ඇත්තාහ. විද්‍යමාන වෙත්. කවර සතර දෙනෙක්ද යත්. මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් යහපත් ආජානෙය පුරුෂයෙක් අසවල් ගමෙහි හෝ නියම් ගමෙහි හෝ ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ දුක්ඛිතය කියා හෝ කළුරිය කළේයයි කියා හෝ අසයි. හෙතෙම එයින් තැවෙයි. සංවේගයට පැමිණෙයි. සංවේගයට පැමිණියේ නුවණින් වීර්‍ය්‍යකරයි. නිවණ කරා යොමු කළ ආත්ම ඇත්තේ නාම කයින්ද නිර්‍වාණය ප්‍රත්‍යක්‍ෂ කරයි. ප්‍රඥාවෙන්ද විනිවිද දකී. මහණෙනි, ඒ යහපත් ආජානෙය අශ්වයා කෙවිට දැක යම්සේ තැවෙයිද, සංවේගයට පැමිණේද, මහණෙනි, මම මේ යහපත් පුරුෂ ආජානෙයයා එබඳුයයි කියමි. මහණෙනි, මේ ලෝකයෙහි මෙබඳුවූ යහපත් ආජානෙය පුරුෂයෙක් වේ. මහණෙනි, මේ පළමුවෙනි යහපත් ආජානෙය පුරුෂ තෙම ලෝකයෙහි ඇත්තාහ. විද්‍යමාන වෙත්.

’’මහණෙනි, නැවතද අනිකක් කියමි. මේ ලෝකයෙහි යහපත් ආජානෙය පුරුෂයෙක් අසවල් ගමෙහි හෝ නියම් ගමෙහි හෝ ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ දුකින් පෙළෙයි. කළුරිය කෙළේයයි නොඅසයි. නමුත්, දුකට පත්, කළුරිය කළ ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ තමාම දකී. හෙතෙම එයින් තැවෙයි. සංවේගයට පැමිණෙයි. සංවේගවූයේ නුවණින් සලකයි. නිවණට මෙහෙයවූ සිත් ඇත්තේ නාම කයින්ද ශ්‍රෙෂ්ට සත්‍යය ප්‍රත්‍යක්‍ෂ කරයි. ප්‍රඥාවෙන්ද විනිවිද දකී. මහණෙනි, යම්සේ යහපත් ආජානෙය අශ්වයෙක් රෝම කූපයෙහි විදුම් කැවේ, තැවෙයිද, සංවේගයට පැමිණෙයිද, මහණෙනි, මේ යහපත් ආජානෙය පුරුෂයා එබඳුයයි කියමි. මහණෙනි, මේ මෙබඳුවූද මේ ලෝකයෙහි ඇතැම් ආජානෙය පුරුෂයෙක් වේ. මහණෙනි, මේ දෙවෙනි යහපත් පුරුෂාජානෙයයා ලෝකයෙහි ඇත්තාහ. විද්‍යමාන වෙත්.

’’මහණෙනි, නැවතද අනිකක් කියමි. මේ ලෝකයෙහි ඇතැම් යහපත් ආජානෙය පුරුෂයෙක් අසවල් ගමෙහි හෝ නියම් ගමෙහි හෝ ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ දුකට පත්වූයේ කළුරිය කළේයයි නොඅසයි. දුකට පත්, කළුරිය කළ ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ හෙතෙමේ දකී. නැවතද ඔහුගේ නෑයෙක් හෝ සහලේ නෑයෙක් හෝ දුකට පත්වූයේ හෝ කළුරියකළේ හෝ වේද, හෙතෙම ඉන් තැවෙයි. සංවේගයට පැමිණේ. සංවේගවූයේ නුවණින් බලයි. නිවන් කරා යැවූ සිත් ඇත්තේ නාම කයින් පරම සත්‍යය ප්‍රත්‍යක්‍ෂ කරයි. ප්‍රඥාවෙන්ද විනිවිද බලයි. මහණෙනි, ඒ යහපත් ආජානෙය අශ්වයා යම්සේ සම් විදීමෙන් මිදුනේ තැවෙයිද, සංවේගයට පැමිණෙයිද, මහණෙනි, මම මේ යහපත් ආජානෙය පුරුෂයා එබඳුයයි කියමි. මහණෙනි, මෙබඳුවූද මේ ලෝකයෙහි ඇතැම් යහපත් ආජානෙය පුරුෂයෙක් වේ. මහණෙනි, මේ තුන්වෙනි ආජානෙය පුරුෂයා ලෝකයෙහි ඇත්තාහ. විද්‍යමාන වෙත්.

’’මහණෙනි, නැවතද අනිකක් කියමි. මෙහි ඇතැම් යහපත් ආජානෙය පුරුෂයෙක් අසවල් ගමෙහි හෝ නියම් ගමෙහි හෝ ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ දුකට පත්වූයේයයි හෝ කළුරිය කළේයයි හෝ නොඅසයි. දුකට පත්, කළුරිය කළ ස්ත්‍රියකු හෝ පුරුෂයෙකු හෝ තමන් නොදකී. ඔහුගේ නෑයෙක් හෝ සහලේ නෑයෙක් හෝ දුකට පත් වූයේ හෝ කළුරිය කළේ හෝ නොවේ. එතකුදු වුවත් දුක්වූ, තියුණුවූ, ක්‍රූරවූ, කටුකවූ, යහපත් නොවූ, මන නොවඩන්නාවූ, ප්‍රාණය ගන්නාවූ ශාරීරික වේදනාවන්ගෙන් ස්පර්‍ශවූයේ වේ. හෙතෙම ඉන් තැවුනේ වේ. සංවේගයට පැමුණුනේ වේ. සංවේගවූයේ නුවණින් සලකයි. නිවන් කරා යැවූ සිත් ඇත්තේ නාම කයින් පරම සත්‍යය ප්‍රත්‍යක්‍ෂ කරයි. ප්‍රඥාවෙන්ද විනිවිද දකියි. මහණෙනි, යම්සේ යහපත් ආජානෙය අශ්වයෙක් ඇට විදීමෙන් විදුනේ තැවුනේ, සංවේගයට පැමුණුනේ වේද, මහණෙනි, මේ යහපත් පුරුෂ ආජානෙයා එබඳුයයි කියමි. මහණෙනි, මෙබඳු ඇතැම් යහපත් ආජානෙය පුරුෂයෙක් වේ. මහණෙනි, මේ සතරවෙනි පුරුෂ ආජානෙයයා ලෝකයෙහි ඇත්තාහ. විද්‍යමාන වෙත්. මහණෙනි, මේ යහපත්වූ ආජානෙය පුරුෂයෝ ලෝකයෙහි ඇත්තාහ. විද්‍යමාන වෙත්.