අඞ්ගුත්තරනිකායො

චතුක්ක නිපාතය

1. පළමුවෙනි පණ්ණාසකය

2. චර වර්‍ගය

2. සම්පන්න සීල සූත්‍රය

’’මහණෙනි, සම්පූර්‍ණ සිල් ඇත්තෝව, සම්පූර්‍ණ ප්‍රාතිමොක්‍ෂ ඇත්තෝව වාසය කරව්. ප්‍රාතිමොක්‍ෂ සංවර සීලයෙන් යුක්තව වාසය කරව්. ආචාරයෙන් හා ගෝචරයෙන් යුක්තවූවාහු, ස්වල්ප මාත්‍ර වරදෙහි භය දක්නා සුළුව, සියලු ශික්‍ෂා පදයන් දැඩිව සමාදන්ව හික්මෙව්. මහණෙනි, සම්පූර්‍ණ සිල් ඇත්තෝව වාසය කරන්නාවූ, සම්පූර්‍ණ ප්‍රාතිමොක්‍ෂ ඇති, ප්‍රාතිමොක්‍ෂ සංවරයෙන් සංවරණයවී වාසය කරන්නාවූ, ආචාරයෙන් හා ගෝචරයෙන් යුක්තවූ, ස්වල්ප මාත්‍ර වරදෙහි භය දක්නා සුළුව, ශික්‍ෂා පදයන් දැඩිව ගෙන හික්මෙන්නාවූ තොප විසින් මත්තෙහි කුමක් කටයුතු වන්නේද?

’’මහණෙනි, ඉදින් සක්මන් කරන්නාවූ භික්‍ෂුවට,

’’අභිධ්‍යාව හා ව්‍යාපාදය පහවූයේ වේද, ථීනම්ද්‍ධය, උද්‍ධච්ච කුක්කුච්චය, විචිකිච්ඡාව ප්‍රහීණවූවාහු වෙත්ද, වීර්‍ය්‍ය පටන්ගන්නා ලද්දේද, නොහැකුළුණේද, සිහිය එළඹ සිටියාද, නොමුළාවූවාද, කය සංසිඳුණේද, දාහ නැත්තේද, සිත සමාහිත වූයේද, එකඟ වූයේද,

’’මහණෙනි, සක්මන් කරන්නාවූ භික්‍ෂුව කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇත්තේ,

’’උපවාදයට භය ඇත්තේ, නිතර නිරන්තරයෙන් පටන්ගන්නාලද වීර්‍ය්‍යය ඇත්තේ, නිවන කරා යවන ලද ආත්මභාවය ඇත්තේයයි කියයි.

’’මහණෙනි, ඉදින් සිටි භික්‍ෂුවට, අභිධ්‍යාව හා ව්‍යාපාදය පහවූයේ වේද, ථීනම්ද්‍ධය, උද්‍ධච්ච කුක්කුච්චය, විචිකිච්ඡාව ප්‍රහීණවූවාහු වෙත්ද, වීර්‍ය්‍ය පටන්ගන්නා ලද්දේද, නොහැකුළුණේද, සිහිය එළඹ සිටියාද, නොමුළාවූවාද, කය සංසිඳුණේද, දාහ නැත්තේද, සිත සමාහිත වූයේද, එකඟ වූයේද,

’’මහණෙනි, මෙබඳුවූ සිටි භික්‍ෂුව කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇත්තේ, උපවාදයට භය ඇත්තේ, නිතර නිරන්තරයෙන් පටන්ගන්නාලද වීර්‍ය්‍යය ඇත්තේ, නිවන කරා යවන ලද ආත්මභාවය ඇත්තේයයි කියයි.

’’මහණෙනි, හිඳගත් භික්‍ෂුවට, අභිධ්‍යාව හා ව්‍යාපාදය පහවූයේ වේද, ථීනම්ද්‍ධය, උද්‍ධච්ච කුක්කුච්චය, විචිකිච්ඡාව ප්‍රහීණවූවාහු වෙත්ද, වීර්‍ය්‍ය පටන්ගන්නා ලද්දේද, නොහැකුළුණේද, සිහිය එළඹ සිටියාද, නොමුළාවූවාද, කය සංසිඳුණේද, දාහ නැත්තේද, සිත සමාහිත වූයේද, එකඟ වූයේද,

’’මහණෙනි, මෙසේවූ හිඳගත් භික්‍ෂුව, කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇත්තේ,

’’උපවාදයට භය ඇත්තේ, නිතර නිරන්තරයෙන් පටන්ගන්නාලද වීර්‍ය්‍යය ඇත්තේ, නිවන කරා යවන ලද ආත්මභාවය ඇත්තේයයි කියයි.

’’මහණෙනි, සයනය කරමින් නොනිඳා සිටින භික්‍ෂුවට,

’’අභිධ්‍යාව හා ව්‍යාපාදය පහවූයේ වේද, ථීනම්ද්‍ධය, උද්‍ධච්ච කුක්කුච්චය, විචිකිච්ඡාව ප්‍රහීණවූවාහු වෙත්ද, වීර්‍ය්‍ය පටන්ගන්නා ලද්දේද, නොහැකුළුණේද, සිහිය එළඹ සිටියාද, නොමුළාවූවාද, කය සංසිඳුණේද, දාහ නැත්තේද, සිත සමාහිත වූයේද, එකඟ වූයේද,

’’මහණෙනි, මෙසේවූ සයනය කරමින් නිදි දුරු කරන්නාවූ භික්‍ෂුව, කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇත්තේ, උපවාදයට භය ඇත්තේ, නිතර නිරන්තරයෙන් පටන්ගන්නාලද වීර්‍ය්‍යය ඇත්තේ, නිවන කරා යවන ලද ආත්මභාවය ඇත්තේයයි කියයි.

’’භික්‍ෂුව යම් විධියකින් හැසිරෙන්නේද, යම් විධියකින් සිටින්නේද, යම් විධියකින් හිඳින්නේද, යම් විධියකින් සයනය කරන්නේද, යම් විධියකින් අත් පා හකුළුවන්නේද, යම් විධියකින් අත් පා දිග හරින්නේද, ලෝකයාගේ ඉපදීම යම්තාක්ද, ඒතාක් උඩ, මැද, යට පඤ්ච සම්බන්‍ධ කර්‍මයන්ගේ උදයව්‍යය බලන හැම කල්හි, සිහි චිත්ත සමථයට ගැලපෙන ප්‍රතිපදාවට අනුව හික්මෙන එබඳු භික්‍ෂුව නිරන්තරයෙන් බැහැර කළ ආත්මය ඇත්තේයයි කීහු.’’