අඞ්ගුත්තරනිකායො

චතුක්ක නිපාතය

4. හතරවෙනි පණ්ණාසකය

(17) 2. පටිපදා වර්‍ගය

2. විත්‍ථත පටිපදා සූත්‍රය

’’මහණෙනි, මේ සතර අභිඥාවෝය. කවර සතරක්ද යත්, දුක්වූ ප්‍රතිපදාවය, ප්‍රමාදවූ අභිඥාවය, (උසස් දැනීම) දුක්වූ ප්‍රතිපදාවය, වහා ලැබෙන අභිඥාවය, සුඛ ප්‍රතිපදාවය, ප්‍රමාද අභිඥාය, සුඛ ප්‍රතිපදාවය, වහා ලැබෙන අභිඥාය.

’’මහණෙනි, දුක්වූ ප්‍රතිපදාව හා ප්‍රමාද අභිඥාව කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි ඇතැමෙක් ප්‍රකෘතියෙන් තද රාග ස්වභාව ඇත්තේ වේද, වහා රාගයෙන් උපන් දුකක් දොම්නසක් විඳියි. ප්‍රකෘතියෙන් තද ද්වේෂ ස්වභාව ඇත්තේ වේද, වහා ද්වේෂයෙන් උපන් දුකත් දොම්නසත් විඳීද, ප්‍රකෘතියෙන් තද මුළාවූවෙක් වේද, වහා මෝහයෙන් උපන් දුකක් දොම්නසක් විඳිද, ඔහුට සද්‍ධින්‍ද්‍රිය (පැහැදීම), විරියින්‍ද්‍රිය (වීර්‍ය්‍යය), සතින්‍ද්‍රිය (සිහිය), සමාධින්‍ද්‍රිය (එකඟබව), පඤ්ඤින්‍ද්‍රිය (නුවණ) යන මේ ඉන්‍ද්‍රියයන් පස මෘදුව පහළ වෙත්.

’’හෙතෙම මේ ඉන්‍ද්‍රියයන් පස්දෙනාගේ මෘදු බැවින් ආශ්‍රවයන්ගේ ක්‍ෂයවීම පිණිස ප්‍රමාදව දෙවෙනි ආත්ම භාවයට පැමිණෙයි. මහණෙනි, මේ දුක්වූ ප්‍රතිපදාව හා ප්‍රමාදව ලැබෙන අභිඥා ඇත්තේ වේ.

’’මහණෙනි, දුක්වූ ප්‍රතිපදාව හා වහා ලබන අභිඥා ඇත්තේ කෙසේ වේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැමෙක් ප්‍රකෘතියෙන් තද රාගය ඇත්තෙක් වේද, වහා රාගයෙන් උපන් දුකක් දොම්නසක් විඳියි. ස්වභාවයෙන් තද ද්වේෂ ඇත්තෙක් වේද, වහා ද්වේෂයෙන් උපන් දුකක් දොම්නසක් විඳියි, ප්‍රකෘතියෙන් තියුණු මුළා ස්වභාව ඇත්තෙක් වේද, වහා මෝහයෙන් උපන් දුකක් දොම්නසක් විඳිද, ඔහුට සද්‍ධින්‍ද්‍රිය, විරියින්‍ද්‍රිය, සතින්‍ද්‍රිය, සමාධින්‍ද්‍රිය, පඤ්ඤින්‍ද්‍රිය යන මේ ඉන්‍ද්‍රියයන් පස අධිකව පහළ වෙත්ද, හෙතෙම මේ පඤ්චෙන්‍ද්‍රිය යන් වැඩි බැවින් වහා ආශ්‍රවයන් ක්‍ෂය කිරීම පිණිස දෙවෙනි ආත්ම භාවයට පැමිණේ. මහණෙනි, මේ දුක්වූ ප්‍රතිපදා හා වහා ලැබෙන අභිඥා ඇත්තේ වේ.

’’මහණෙනි, සැපවූ ප්‍රතිපදාව හා ප්‍රමාද අභිඥා ඇත්තේ කෙසේ වේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැමෙක් ප්‍රකෘතියෙන් තියුණු රාග ස්වභාව ඇත්තේ වේද, වහා රාගයෙන් උපන් දුකක් දොම්නසක් නොවිඳීද, ප්‍රකෘතියෙන් තද ද්වේෂ ස්වභාව ඇත්තේ නොවේද, වහා ද්වේෂයෙන් උපන් දුකක් දොම්නසක් නොවිඳීද, ප්‍රකෘතියෙන් තියුණු මොහ ස්වභාව ඇත්තෙක් නොවේද, වහා මොහයෙන් උපන් දුකක් දොම්නසක් නොවිඳීද, ඔහුට සද්‍ධින්‍ද්‍රිය, විරියින්‍ද්‍රිය, සතින්‍ද්‍රිය, සමාධින්‍ද්‍රිය , පඤ්ඤින්‍ද්‍රිය යන මේ ඉන්‍ද්‍රියයන් පස මෘදුව පහළ වෙත්ද, හෙතෙම මේ පඤ්චෙන්‍ද්‍රියයන්ගේ මෘදු බැවින් ආශ්‍රව ක්‍ෂයට ප්‍රමාදව දෙවෙනි ආත්ම භාවයට පැමිණෙයි. මහණෙනි, මේ සුවවූ ප්‍රතිපදාව හා ප්‍රමාදවූ අභිඥා ඇත්තේ වේ.

’’මහණෙනි, සැපවූ ප්‍රතිපදාව සහ වහා අභිඥා ලැබෙන ප්‍රකිපදාව කවරේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් ප්‍රකෘතියෙන්ද රාග ඇත්තේ නොවේද, වහා රාගයෙන් උපන් දුකක් දොම්නසක් නොවිඳියි. ප්‍රකෘතියෙන් තියුණු ද්වේෂ පුද්ගලයෙක් නොවේද, වහා ද්වේෂයෙන් උපන් දුකක් දොම්නසක් නොවිඳීද, ප්‍රකෘතියෙන් තියුණු මුළාවූවෙක් නොවේද, වහා මොහයෙන් උපන් දුකක් දොම්නසක් නොවිඳීද, ඕහට සද්‍ධින්‍ද්‍රිය, විරියින්‍ද්‍රිය, සතින්‍ද්‍රිය, සමාධින්‍ද්‍රිය , පඤ්ඤින්‍ද්‍රිය යන මේ පඤ්චෙන්‍ද්‍රියයෝ වැඩි වශයෙන් පහළ වෙත්. හෙතෙම මේ පඤ්චෙන්‍ද්‍රියයන්ගේ වැඩි බැවින් වහා ආශ්‍රව ක්‍ෂයට අනතුරු ආත්මයට පැමිණේ. මහණෙනි, මේ සුවවූ ප්‍රතිපදාව හා තියුණුූ අභිඥා ඇත්තේ වේ. මහණෙනි, මේ සතර ප්‍රතිපදාවෝයි.’’