අඞ්ගුත්තරනිකායො

චතුක්ක නිපාතය

4. හතරවෙනි පණ්ණාසකය

(17) 2. පටිපදා වර්‍ගය

3. අසුභානු පස්සි සූත්‍රය

’’මහණෙනි, මේ සතර අභිඥාවෝය. කවර සතරක්ද යත්, දුක්වූ ප්‍රතිපදාවය, ප්‍රමාදවූ අභිඥාවය, (උසස් දැනීම) දුක්වූ ප්‍රතිපදාවය, වහා ලැබෙන අභිඥාවය, සුඛ ප්‍රතිපදාවය, ප්‍රමාද අභිඥාය, සුඛ ප්‍රතිපදාවය, වහා ලැබෙන අභිඥාය.

’’මහණෙනි, දුක්වූ ප්‍රතිපදාව හා ප්‍රමාදවූ අභිඥාව කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම ශරීරයෙහි අශුභය අනුව බලමින් වාසය කරයි. අහරෙහි පිළිකුල් සංඥා ඇත්තේ සියලු ලෝකයෙහි නොඇලෙන සංඥා ඇත්තේ, සියලු සංස්කාරයන්හි අනිත්‍යය අනුදක්නේ වාසය කරයිද, ඔහුට මරණ සංඥාව අධ්‍යාත්මයෙහි එළඹ සිටියේ වේද? හෙතෙම ශ්‍රද්‍ධා, ලජ්ජා, භය, වීර්‍ය්‍ය, ප්‍රඥා, බලයයි කියන ලද ශෛක්‍ෂ (හික්මෙන) බල පස ඇසුරු කොට වසයි. ඔහුට සද්‍ධින්‍ද්‍රිය, විරියින්‍ද්‍රිය, සතින්‍ද්‍රිය, සමාධින්‍ද්‍රිය , පඤ්ඤින්‍ද්‍රිය සංඛ්‍යාත මේ පඤ්ච ඉන්‍ද්‍රියයන් මෘදුව පහළ වෙත්. හෙතෙම මේ ඉන්‍ද්‍රියයන් පසේ මෘදු බැවින් ප්‍රමාදව ආශ්‍රව ක්‍ෂය පිණිස දෙවෙනි ආත්ම භාවයට පැමිණේ. මහණෙනි, මේ දුක්වූ ප්‍රතිපදාව හා ප්‍රමාදවූ අභිඥා ඇත්තේ වේ.

’’මහණෙනි, දුක්වූ ප්‍රතිපදාව සහ තියුණු (වහා ලැබෙන) අභිඥා කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම ශරීරයෙහි අසුභය අනුව බලන සුළුවූයේ ආහාරයෙහි පිළිකුල් සංඥාව ඇත්තේ සියලු ලෝකයෙහි නොඇලුනු සංඥාව ඇත්තේ, සියලු සංස්කාරයන් අනිත්‍යය අනුව දකිමින් වාසය කරයි. ඔහුගේ අභ්‍යන්තරයෙහි මරණ සංඥාව එළඹ සිටියේ වේ. හෙතෙම සද්‍ධා, හිරි, ඔත්තප්ප, විරිය, පඤ්ඤා බල නම් පඤ්ච බලයන් ඇසුරු කොට වාසය කරයි. ඔහුට ශ්‍රද්‍ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා නම් මේ පඤ්චෙන්‍ද්‍රියයන් අධිකව පහළ වෙත්. හෙතෙම මේ පඤ්චෙන්‍ද්‍රියයන්ගේ අධිකත්‍වයෙන් ආශ්‍රව ක්‍ෂයට වහා දෙවෙනි ආත්මයට පැමිණේ. මහණෙනි, මේ දුක්වූ ප්‍රතිපදාව හා වහා ලැබෙන අභිඥාවේ.

’’මහණෙනි, සැපවූ ප්‍රතිපදාව හා ලස්වූ (ප්‍රමාදවූ) අභිඥාව කවරේද?

’’මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම කාමයන්ගෙන් වෙන්ව, අකුශල ධර්‍මයන්ගෙන් වෙන්ව, විතර්‍ක සහිත, විචාර සහිත, විවේකයෙන් උපන් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයි. විතර්‍ක විචාරයන්ගේ සන්සිඳීමෙන් අධ්‍යාත්මයෙහි පැහැදීම ඇති, සිත හා එකට පහළවන, විතර්‍ක නැති, විචාර නැති, සමාධියෙන් උපන් ප්‍රීතිය හා සැප ඇති, විතීයධ්‍යානයට පැමිණ වාසය කරයි. ප්‍රීතියගේ වෙන්වීමෙන් උපෙක්‍ෂා ඇතිව වාසය කරයි. සිහි ඇත්තේද, සම්‍යක් ප්‍රඥා ඇත්තේ, සැපය කයින් විඳියි. ආර්‍ය්‍යයෝ උපේක්‍ෂා ඇත්තේ, සිහි ඇත්තේ, සැප විහාරීයයි යමක් කියත්ද, ඒ තෘතීය ධ්‍යානයට පැමිණ වාසය කරයි. සැපය ප්‍රහාණයෙන්ද, දුක ප්‍රහාණයෙන්ද, සොම්නස්, දොම්නස් දෙදෙනා නොපෙනී යාමට පූර්‍වයෙහිම, දුක් නැති, සැප නැති, උපෙක්‍ෂා ස්මෘති දෙදෙනාගේ පිරිසිදු බව ඇති සතරවෙනි ධ්‍යානයට පැමිණ වාසය කරයි.

’’ හෙතෙම සද්‍ධා, හිරි, ඔත්තප්ප, විරිය, පඤ්ඤා යන මේ බල පස ඇසුරු කොට වසයි. ඔහුට ශ්‍රද්‍ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා ඉන්‍ද්‍රියන් යන මේ ඉන්‍ද්‍රියයන් පස මෘදුව පහළ වෙත්. හෙතෙම මේ පඤ්චෙන්‍ද්‍රියයන්ගේ මෘදුත්‍වයෙන් ආශ්‍රවයන්ගේ ක්‍ෂය පිණිස ප්‍රමාදව දෙවෙනි ආත්මයට පැමිණේ. මහණෙනි, මේ සුව ප්‍රතිපදාව හා ප්‍රමාදවූ අභිඥාවයි.

’’මහණෙනි, සැප ප්‍රතිපදාව වහා ලැබෙන අභිඥා කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම කාමයන්ගෙන් වෙන්ව, අකුශල ධර්‍මයන්ගෙන් වෙන්ව, විතර්‍ක සහිත, විචාර සහිත, විවේකයෙන් උපන් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයි. විතර්‍ක විචාරයන්ගේ සන්සිඳීමෙන් අධ්‍යාත්මයෙහි පැහැදීම ඇති, සිත හා එකට පහළවන, විතර්‍ක නැති, විචාර නැති, සමාධියෙන් උපන් ප්‍රීතිය හා සැප ඇති, විතීයධ්‍යානයට පැමිණ වාසය කරයි. ප්‍රීතියගේ වෙන්වීමෙන් උපෙක්‍ෂා ඇතිව වාසය කරයි. සිහි ඇත්තේද, සම්‍යක් ප්‍රඥා ඇත්තේ, සැපය කයින් විඳියි. ආර්‍ය්‍යයෝ උපේක්‍ෂා ඇත්තේ, සිහි ඇත්තේ, සැප විහාරීයයි යමක් කියත්ද, ඒ තෘතීය ධ්‍යානයට පැමිණ වාසය කරයි. සැපය ප්‍රහාණයෙන්ද, දුක ප්‍රහාණයෙන්ද, සොම්නස්, දොම්නස් දෙදෙනා නොපෙනී යාමට පූර්‍වයෙහිම, දුක් නැති, සැප නැති, උපෙක්‍ෂා ස්මෘති දෙදෙනාගේ පිරිසිදු බව ඇති සතරවෙනි ධ්‍යානයට පැමිණ වාසය කරයි.

හෙතෙම සද්‍ධා, හිරි, ඔත්තප්ප, විරිය, ප්‍රඥා බල සංඛ්‍යාත මේ පඤ්ච ශෛක්‍ෂ බලයන් ඇසුරු කොට වාසය කරයි. ඔහුට සද්‍ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා යන ඉන්‍ද්‍රියයන් පස වැඩිව පහළ වෙත්. හෙතෙම මේ පඤ්චෙන්‍ද්‍රියයන්ගේ අධික මාත්‍රත්‍වයෙන් ආශ්‍රවයන් ක්‍ෂය කිරීම පිණිස වහා අනතුරු ආත්මයට පැමිණේ. මහණෙනි, මේ සැප ප්‍රතිපදාව හා වහා ලැබෙන අභිඥාය. මහණෙනි, මේ සතර ප්‍රතිපදාවෝයි.