අඞ්ගුත්තරනිකායො

චතුක්ක නිපාතය

4. හතරවෙනි පණ්ණාසකය

(17) 2. පටිපදා වර්‍ගය

4. පච්චක්කොසන සූත්‍රය

’’මහණෙනි, මේ ප්‍රතිපදා සතරක් වෙත්. කවර සතරක්ද යත්? නොඉවසන ප්‍රතිපදාවය, ඉවසන ප්‍රතිපදාවය, සන්සිඳුනු ප්‍රතිපදාවය, සම ප්‍රතිපදාවය යන සතරය.

’’මහණෙනි, නොඉවසන ප්‍රතිපදාව කවරේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් ආක්‍රොශ කරන්නාට ආපසු ආක්‍රොශ කරයිද, ක්‍රොධ කරන්නාට ආපසු ක්‍රොධ කෙරේද, කොලාහාල කරන්නාට ආපසු කෝලාහාල කරයිද, මේ අක්‍ෂමා ප්‍රතිපදායයි කියනු ලැබේ.

’’මහණෙනි, ඉවසන ප්‍රතිපදාව කවරේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් ආක්‍රොශ කරන්නාට ආපසු ආක්‍රොශ නොකෙරේද, ක්‍රොධ කරන්නාට ආපසු ක්‍රොධ නොකරයිද, කොලාහල කරන්නාට ආපසු කෝලාහල නොකරාද, මහණෙනි, මේ ක්‍ෂමා ප්‍රතිපදායයි කියනු ලැබේ.

’’මහණෙනි, සන්සිඳුනු ප්‍රතිපදාව කවරේද? මහණෙනි, මේ ලෝකයෙහි මහණ තෙම ඇසින් රූපයක් දැක නිමිති නොගන්නේද, ලක්‍ෂණ නොගන්නේද, යම් කාරණයකින් චක්‍ෂුරින්‍ද්‍රියය අසංවරව වාසය කරන්නාට ලෝභය, ද්වේෂය යන ලාමක අකශල ධර්‍මයෝ ලුහුබඳනාහුද, එය සංවරවීම පිණිස පිළිපදියි. චක්‍ෂුරින්‍ද්‍රියය රකියි. චක්‍ෂුරින්‍ද්‍රියයෙහි සංවරයට පැමිණේ. කණින් ශබ්දයක් අසා නිමිති නොගන්නේද, ලක්‍ෂණ නොගන්නේද, යම් කාරණයකින් සෝතේන්‍ද්‍රියය අසංවරව වාසය කරන්නාට ලෝභය, ද්වේෂය යන ලාමක අකුශල ධර්‍මයෝ ලුහුබඳනාහුද, එය සංවරවීම පිණිස පිළිපදියි. සෝතේන්‍ද්‍රියය රකියි. සෝතේන්‍ද්‍රියයෙහි සංවරයට පැමිණේ. නාසයෙන් ගඳ සුවඳත් ආඝ්‍රාණය කොට නිමිති නොගන්නේද, ලක්‍ෂණ නොගන්නේද, යම් කාරණයකින් ඝානේන්‍ද්‍රියය අසංවරව වාසය කරන්නාට ලෝභය, ද්වේෂය යන ලාමක අකුශල ධර්‍මයෝ ලුහුබඳනාහුද, එය සංවරවීම පිණිස පිළිපදියි. ඝානේන්‍ද්‍රියය රකියි. ඝානේන්‍ද්‍රියයෙහි සංවරයට පැමිණේ. දිවෙන් රසයක් විඳ, නිමිති නොගන්නේද, ලක්‍ෂණ නොගන්නේද, යම් කාරණයකින් ජිහ්වේන්‍ද්‍රියය අසංවරව වාසය කරන්නාට ලෝභය, ද්වේෂය යන ලාමක අකුශල ධර්‍මයෝ ලුහුබඳනාහුද, එය සංවරවීම පිණිස පිළිපදියි. ජිහ්වේන්‍ද්‍රියය රකියි. ජිහ්වේන්‍ද්‍රියයෙහි සංවරයට පැමිණේ. කයින් පහසක් දැනී, නිමිති නොගන්නේද, ලක්‍ෂණ නොගන්නේද, වේ. යම් කාරණයකින් කායේන්‍ද්‍රියය අසංවරව වාසය කරන්නාට ලෝභය, ෙව්ෂය යන ලාමක අකුශල ධර්‍මයෝ ලුහුබඳනාහුද, එය සංවරවීම පිණිස පිළිපදියි. කායේන්‍ද්‍රියය රකියි. කායේන්‍ද්‍රියයෙහි සංවරයට පැමිණේ. සිතින් ධර්‍මයක් දැන නිමිති නොගන්නේ වේ, අනුබ්‍යඤ්ජන නොගන්නේ වේ, යම් කාරණයකින් මනින්‍ද්‍රියයෙහි අසංවරව වාසය කරන්නාට ලෝභය, ෙව්ෂය යන ලාමක අකුශල ධර්මයෝ ලුහුබඳනාහුද, එය සංවරය පිණිස පිළිපදියි. මනින්‍ද්‍රියය රකියි. මනින්‍ද්‍රියයෙහි සංවරයට පැමිණේ. මහණෙනි, මේ සන්සිඳුනු ප්‍රතිපදාවයයි කියනු ලැබේ.

’’මහණෙනි, සම ප්‍රතිපදාව කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම උපන් කාම අදහස නොඉවසයි. අත්හරියි. දුරුකරයි. සමනය කරයි. කෙළවර කරයි. අභාවයට යවයි. උපන් ව්‍යාපාද විතර්‍කය, නොඉවසයි. අත්හරියි. දුරුකරයි. සමනය කරයි. කෙළවර කරයි. අභාවයට යවයි. උපන් විහිංසා විර්‍කය නොඉවසයි. අත්හරියි. දුරුකරයි. සමනය කරයි. කෙළවර කරයි. අභාවයට යවයි. උපනූපන් ලාමක අකුශල ධර්මයන් නොඉවසයි. දුරුකරයි. අත්හරියි. සමනය කරයි. අවසන් කරයි. අභාවයට යවයි. මහණෙනි, මේ සම ප්‍රතිපදාවයයි කියනු ලැබේ. මහණෙනි, මේ සතර ප්‍රතිපදාවෝයි.’’