අඞ්ගුත්තරනිකායො

චතුක්ක නිපාතය

4. හතරවෙනි පණ්ණාසකය

(18) 3. සඤ්චෙතනිය වර්‍ගය

8. ජම්බාලියොපම සූත්‍රය

’’මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි ඇත්තාහ. විද්‍යමාන වෙත්. කවර සතර දෙනෙක්ද යත්?

’’මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම එක්තරා ශාන්ත චිත්ත විමුක්තියකට පැමිණ වාසය කෙර්ද, හෙතෙම ශරීරයේ නොපැවැත්ම මෙනෙහි කරයි. සක්කාය නිරෝධය මෙනෙහි කරණ ඔහුට සක්කාය නිරෝධයෙහි සිත ලුහු නොබඳියිද, නොපහදියිද, නොසිටියිද, බැස නොගනියිද, මහණෙනි, ඒ භික්‍ෂුව විසින් සක්කාය නිරෝධය කැමති නොවිය යුත්තේය.

’’මහණෙනි, පුරුෂයෙක් යම්සේ ලාටු සහිතවූ අතින් අත්තක් ගන්නේද, ඔහුගේ ඒ අත ඇලෙන්නේද, ගන්නේද, කැඩෙන්නේද වේ. එසේම මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම එක්තරා ශාන්ත චිත්ත විමුක්තියකට පැමිණ වාසය කෙර්ද, හෙතෙම ශරීරයේ නොපැවැත්ම මෙනෙහි කරයි. සක්කාය නිරෝධය මෙනෙහි කරණ ඔහුට සක්කාය නිරෝධයෙහි සිත ලුහු නොබඳියිද, නොපහදියිද, නොසිටියිද, බැස නොගනියිද, මහණෙනි, ඒ භික්‍ෂුව විසින් සක්කාය නිරෝධය කැමති නොවිය යුත්තේය.

’’මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම එක්තරා ශාන්ත චිත්ත විමුක්තියකට පැමිණ වාසය කරයිද, හෙතෙම සක්කාය නිරෝ්ධය මෙනෙහි කරයිද, සක්කාය නිරෝධය මෙනෙහි කරණ ඔහුට සක්කාය නිරෝධයෙහි සිත ලුහු බඳියිද, පහදියිද, සිටීද, බැසගනීද, මහණෙනි, ඒ භික්‍ෂුව විසින් සක්කාය නිරෝධය කැමති විය යුතුය.

’’මහණෙනි, යම් සේ පුරුෂයෙක් පිරිසිදු අතින් අත්තක් ගන්නේද, ඔහුගේ ඒ අත නොඇලෙන්නේද, නොගන්නේද, නොකැඩෙන්නේද වේ. මහණෙනි, එසේම ’’මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම එක්තරා ශාන්ත චිත්ත විමුක්තියකට පැමිණ වාසය කරයිද, හෙතෙම සක්කාය නිරෝ්ධය මෙනෙහි කරයිද, සක්කාය නිරෝධය මෙනෙහි කරණ ඔහුට සක්කාය නිරෝධයෙහි සිත ලුහු බඳියිද, පහදියිද, සිටීද, බැසගනීද, මහණෙනි, ඒ භික්‍ෂුව විසින් සක්කාය නිරෝධය කැමති විය යුතුය.

’’මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම එක්තරා ශාන්ත චිත්ත විමුක්තියකට පැමිණ වාසය කරයිද, හෙතෙම අවිද්‍යා කොටස් මෙනෙහි කරත්ද, අවිද්‍යා කොටස් මෙනෙහි කරණ ඔහුට අවිද්‍යා ප්‍රභෙදයෙහි සිත ලුහු නොබඳියිද, නොපහදියිද, නොසිටීද, බැස නොගනීද, මහණෙනි, ඒ භික්‍ෂුව විසින් අවිද්‍යා ප්‍රභෙදය කැමති නොවිය යුතුයි.

’’මහණෙනි, නොයෙක් වර්‍ෂ ගනන් පැරණි ගවර විලක් යම් සේද, පුරුෂයෙක් තෙම ඒ ගවර විලෙහි යම් ප්‍රවේශ මාර්ගයක් වේද, එය වසන්නේය. යම් පිටව යන සිදුරු වේද, එය විවෘත කරන්නේද, වර්‍ෂාවද මනාකොට ධාරා ප්‍රවේශ කරවන්නේය. මහණෙනි, එසේ ඒ ගවර විලෙහි ඉවුරු කැඩීම කැමති නොවිය යුත්තාහ. එසේම මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම එක්තරා ශාන්ත චිත්ත විමුක්තියකට පැමිණ වාසය කරයිද, හෙතෙම අවිද්‍යා කොටස් මෙනෙහි කරත්ද, අවිද්‍යා කොටස් මෙනෙහි කරණ ඔහුට අවිද්‍යා ප්‍රභෙදයෙහි සිත ලුහු නොබඳියිද, නොපහදියිද, නොසිටීද, බැස නොගනීද, මහණෙනි, ඒ භික්‍ෂුව විසින් අවිද්‍යා ප්‍රභෙදය කැමති නොවිය යුතුයි.

’’මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම එක්තරා ශාන්ත චිත්ත විමුක්තියකට පැමිණ වාසය කරයිද, හෙතෙම අවිද්‍යා ප්‍රභෙදය මෙනෙහි කරයිද. අවිද්‍යා ප්‍රභෙදය මෙනෙහි කරණ ඔහුට අවිද්‍යා ප්‍රභෙදයෙහි සිත ලුහු බඳියිද, පහදියිද, සිටීද, බැස ගනීද, මහණෙනි, ඒ භික්‍ෂුව විසින් අවිද්‍යා කොටස් කැමති විය යුතුයි.

’’මහණෙනි, නොයෙක් වර්‍ෂ ගනන් ගිය ගවර විලක් යම් සේද, පුරුෂයෙක් තෙම ඒ ගවර විලෙහි යම් වැඩෙන මාර්ගයක් වේද, එය විවෘත කරන්නේය. යම් පිරිහෙන මාර්ගයක් වේද, එය වසන්නේය, වර්‍ෂාවද මනාකොට ධාරා හෙලන්නේය. මහණෙනි, එසේ ඒ ගවර විලෙහි ඉවුරු කැඩීම කැමති විය යුත්තාහ. මහණෙනි, එසේම මේ ශාසනයෙහි මහණ තෙම එක්තරා ශාන්ත චිත්ත විමුක්තියකට පැමිණ වාසය කරයිද, හෙතෙම අවිද්‍යා ප්‍රභෙදය මෙනෙහි කරයිද. අවිද්‍යා ප්‍රභෙදය මෙනෙහි කරණ ඔහුට අවිද්‍යා ප්‍රභෙදයෙහි සිත ලුහු බඳියිද, පහදියිද, සිටීද, බැස ගනීද, මහණෙනි, ඒ භික්‍ෂුව විසින් අවිද්‍යා කොටස් කැමති විය යුතුයි. මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙන ලෝකයෙහි ඇත්තාහ. විද්‍යමාන වෙත්.’’