අඞ්ගුත්තරනිකායො

චතුක්ක නිපාතය

4. හතරවෙනි පණ්ණාසකය

(19) 4. යොධාජීව වර්‍ගය (බ්‍රාහ්මණ වර්‍ගය)

6. ලොකනීයන සූත්‍රය

ඉක්බිති එක්තරා භික්‍ෂුවක් භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටි ඒ භික්‍ෂුව, භාග්‍යවතුන් වහන්සේට, ’’ස්වාමීනි, කවරකින් ලෝකයා ගෙනයනු ලැබේද, කවරකින් ලෝකයා අදීද, උපන්නාවූ කවරෙකුගේ වසඟයට යයිදැ? ’’ යි ඇසීය.

’’මහණ, යහපත, යහපත, තොපගේ නුවණ යහපත්ය. වැටහීම යහපති. ප්‍රශ්නකිරීම යහපත්ය.

’’මහණ, තොප, ’’ස්වාමීනි, කවරකින් ලෝකයා ගෙනයනු ලබයිද? කවරකින් ලෝකයා අදීද, උපන් කවරෙකුගේ වසඟයට යාදැ’’ යි මෙසේ විචාරන්නෙහිය. - ’’ස්වාමීනි, එසේය.’’

’’මහණ, සිතින් වනාහි ලෝකය ගෙනයයි. සිතින් අදියි. උපන් සිතේ වසඟයට යයි.’’

’’ස්වාමීනි, යහපතැ’’ යි ඒ මහණතෙම භාග්‍යවතුන් වහන්සේගේ වචනයට සතුටුව, අනුමෝදන්ව, භාග්‍යවතුන් වහන්සේගෙන් මත්තෙහි මෙසේ ප්‍රශ්න විචාළේය.

’’ස්වාමීනි, බහුශ්‍රුතයාය, ධර්‍මධරයාය, බහුශ්‍රුතයාය, ධර්මධරයා යයි කියයි. ස්වාමීනි, කොපමණකින් බහුශ්‍රුත වේද, ධර්‍මධර වේදැයි විචාළේය.

’’මහණ, යහපත, යහපත, තොපගේ නුවණ යහපත්ය. වැටහීම යහපති. ප්‍රශ්නකිරීම යහපත්ය. මහණ, නුඹ ’’ස්වාමීනි, බහුශ්‍රුතයාය, ධර්‍මධරයාය, බහුශ්‍රුතයාය, ධර්මධරයා යයි කියයි. ස්වාමීනි, කොපමණකින් බහුශ්‍රුත වේද, ධර්‍මධර වේදැයි විචාළේය. ’’මහණ, මා විසින් දේශනා කරණ ලද සූත්‍ර, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූතධම්ම, වෙදල්ල බොහෝය. මහණතෙම ඉදින් සතරපද ගාථාවක වුවත් අර්ත්‍ථය දැන, ධර්මය දැන, ධර්මානු ධර්ම ප්‍රතිපන්න වේද, බහුශ්‍රුතයයි, ධර්මධරයයි කීමට සුදුසුය.

’’ස්වාමීනි, බහුශ්‍රුතයාය, ධර්‍මධරයාය, බහුශ්‍රුතයාය, ධර්මධරයා යයි කියයි. ස්වාමීනි, කොපමණකින් බහුශ්‍රුත වේද, ධර්‍මධර වේදැයි විචාළේය.

’’ස්වාමීනි, ශ්‍රුතවත්ය. කලකිරෙන ප්‍රඥා ඇත්තේය. ශ්‍රුතවත්ය. කලකිරෙන ස්වභාවය ඇත්තේයයි කියයි. ස්වාමීනි, කොපමණකින් ශ්‍රුතවත්ද? කලකිරුණ ප්‍රඥා ඇත්තේද?

’’මහණ, යහපත, යහපත, තොපගේ නුවණ යහපත්ය. වැටහීම යහපති. ප්‍රශ්නකිරීම යහපත්ය.

මහණ, තොප ’’ස්වාමීනි, ශ්‍රුතවත්ය. කලකිරෙන ප්‍රඥා ඇත්තේය. ශ්‍රුතවත්ය. කලකිරෙන ස්වභාවය ඇත්තේයයි කියයි. ස්වාමීනි, කොපමණකින් ශ්‍රුතවත්ද? කලකිරුණ ප්‍රඥා ඇත්තේද?

’’මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම මේ දුකයයි අසන ලද්දේ වේද, ඔහුගේ නුවණින් අර්ත්‍ථය විනිවිද දකී. මේ දුක් ඉපදීමට හේතුවයයි අසන ලද්දේ වේ. ඔහුගේ නුවණින් අර්ත්‍ථය විනිවිද දකී. මේ දුක්ඛ නිරෝධයයයි අසන ලද්දේ වේ. ඔහුගේ නුවණින් අර්ත්‍ථය විනිවිද දකී. මේ දුක්ඛ නිරෝධ ගාමිණි ප්‍රතිපදාවයයි අසන ලද්දේ වේ. ඔහුගේ නුවණින් අර්ත්‍ථය විනිවිද දකී. මෙසේ වනාහි මහණ, ශ්‍රුතවත් වේ. කළකිරුණු නුවණින් යුක්තවූයේ වේ.

’’ස්වාමීනි, යහපතැ’’ යි ඒ මහණතෙම භාග්‍යවතුන් වහන්සේගේ වචනයට සතුටුව, අනුමෝදන්ව, භාග්‍යවතුන් වහන්සේගෙන් මත්තෙහි මෙසේ ප්‍රශ්න විචාළේය.

’’ස්වාමීනි, පණ්ඩිතය, මහා ප්‍රාඥය. පණ්ඩිතය, මහා ප්‍රාඥයයි කියති. ස්වාමීනි, කොපමණකින් පණ්ඩිතද, මහා ප්‍රාඥවේදැ’’ යි විචාළේය..

’’මහණ, යහපත, යහපත, තොපගේ නුවණ යහපත්ය. වැටහීම යහපති. ප්‍රශ්නකිරීම යහපත්ය. මහණ, නුඹ, ’’ස්වාමීනි, පණ්ඩිතය, මහා ප්‍රාඥය. පණ්ඩිතය, මහා ප්‍රාඥයයි කියති. ස්වාමීනි, කොපමණකින් පණ්ඩිතද, මහා ප්‍රාඥවේදැ’’ යි විචාළේය.. මෙසේ අසන්නෙහිය. ’’එසේය, ස්වාමීනි.’’

’’මහණ, මේ ශාසනයෙහි පණ්ඩිත තෙමේ, මහා ප්‍රාඥ තෙමේ, තමාගේ පෙළීම පිණිස නොසිතයි. අනුන්ගේ පෙළීම පිණිස නොසිතයි. දෙපක්‍ෂයේම පෙළීම පිණිස නොසිතයි. තමාගේ යහපත, අනුන්ගේ යහපත, දෙපක්‍ෂයේම යහපත, සියලු ලෝකයාගේ යහපතම සිතමින් සිතයි. මහණ, මෙසේ වනාහි පණ්ඩිතද, මහා ප්‍රාඥද වේ.’’