අඞ්ගුත්තරනිකායො

චතුක්ක නිපාතය

4. හතරවෙනි පණ්ණාසකය

(20) 5. මහා වර්‍ගය

7. මල්ලිකොවාද සූත්‍රය

එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි, අනේපිඬු මහ සිටානන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එකල්හි, මල්ලිකාදේවී තොමෝ, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියාය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියාය. එකත්පසෙක සිටි මල්ලිකාදේවී තොමෝ, භාග්‍යවතුන් වහන්සේට,

’’ස්වාමීනි, යම් කරුණකින් මේ ලෝකයෙහි ඇතැම් ස්ත්‍රියක්,

’’දුර්‍වර්‍ණ වේද, නපුරු ස්වරූපද, දක්නට පවිටුද, දිළිඳු වේද, ස්වකීය ධන ධාන්‍ය නැද්ද, උපභොග පරිභොග වස්තු නැද්ද, ස්වල්ප පිරිවරද,

’’මීට හේතු කවරේද, මීට ප්‍රත්‍යය කවරේද?’’

’’ස්වාමීනි, යම් කාරණයකින් මේ ලෝකයෙහි ඇතැම් ස්ත්‍රියක්,

’’දුර්‍වර්‍ණ වේද, නපුරු ස්වරූපද, දක්නට පවිටුද, වස්තුවෙන් ආඪ්‍යද, ධන ධාන්‍ය ඇද්ද, උපභොග පරිභොග වස්තු ඇද්ද, මහත් පිරිවරද ඇත්තේ වේද,

’’මීට හේතු කවරේද, මීට ප්‍රත්‍යය කවරේද?’’

’’ස්වාමීනි, යම් කාරණයකින් මේ ලෝකයෙහි ඇතැම් ස්ත්‍රියක්,

’’මනා රූප ඇත්තේ වේද, දැකුමට ප්‍රියද, සතුට එලවයිද, ශ්‍රෙෂ්ඨ වර්‍ණයෙන්, සෞන්‍දර්‍ය්‍යයෙන් යුක්තද, දිළිඳු වේද, ධන ධාන්‍ය රහිතද, භොග නැත්තේද, මහා බලවන්තියක් නොවේද,

’’ඊට හේතු කවරේද, ඊට ප්‍රත්‍යය කවරේද? ස්වාමීනි, යම් කරුණකින් මේ ලෝකයෙහි ඇතැම් ස්ත්‍රියක්,

’’යහපත් රූප ඇත්තේ වේද, දැකුමට ප්‍රියද, සතුට එලවයිද, ශ්‍රෙෂ්ඨ වර්‍ණසෞන්‍දර්‍ය්‍යයෙන් යුක්තද, ධන ධාන්‍ය බොහෝ ඇත්තේද, මහත් ධන ඇත්තේද, මහත් භොග ඇත්තේද, බොහෝ පිරිවර ඇත්තේද,

’’මීට හේතු කවරේද, ප්‍රත්‍යය කවරේද?’’

’’මල්ලිකාව, මේ ලෝකයෙහි ඇතැම් ස්ත්‍රියක් ක්‍රොධ කරන්නී වේද, කිපීම බහුලකොට ඇත්තී වේද, ස්වල්පයක් කියන ලද්දීම ලැගෙයිද, කිපෙයිද, නීයමභාවය අත්හරියිද, තද බවට පැමිණෙයිද, කොපයද, ද්වේෂයද, නොසතුටද පහළ කරයිද,

’’ඕතොමෝ ශ්‍රමණයන්ට හෝ බ්‍රාහ්මණයන්ට හෝ ආහාරපාන, වස්ත්‍ර, යානා, මල්ගඳ, විලවුන්, සයන, ආවාස, ප්‍රදීප නොදෙන්නී වේද, ඊර්‍ෂ්‍යයාවෙන් යුත් සිත් ඇත්තී වේද, අනුන්ගේ ලාභ, සත්කාර, ගරුකාර, සැළකිලි, වැඳීම්, පූජාවන්හි ඊර්‍ෂ්‍යාකරයිද, තරහවේද, ඊර්‍ෂ්‍යාව බඳීද,

’’ඕතොමෝ ඉදින් ඉන් චුතවූයේ, මේ ආත්ම භාවයට පැමිණේද, ඕ තොමෝ යම් යම් තැනෙක්හි උපදීද, දුර්‍වර්‍ණ වේද, නපුරු ස්වරූපද, දක්නට පවිටුද, දිළිඳු වේද, ස්වකීය ධන ධාන්‍ය නැද්ද, උපභොග පරිභොග වස්තු නැද්ද, ස්වල්ප පිරිවරද,

’’මල්ලිකාව, මේ ලෝකයෙහි ඇතැම් ස්ත්‍රියක් ක්‍රොධ කරන්නී වේද, කිපීම බහුලකොට ඇත්තී වේද, ස්වල්පයක් කියන ලද්දීම ලැගෙයිද, කිපෙයිද, නීයමභාවය අත්හරියිද, තද බවට පැමිණෙයිද, කොපයද, ද්වේෂයද, නොසතුටද පහළ කරයිද,

’ඕතොමෝ ශ්‍රමණයන්ට හෝ බ්‍රාහ්මණයන්ට හෝ ආහාරපාන, වස්ත්‍ර, යානා, මල්, ගඳවිලවුන්, සයන, ආවාස, ප්‍රදීප දෙන්නී වේද, ඊර්‍ෂ්‍යයාවෙන් යුත් සිත් නැත්තේ වේද, අනුන්ගේ ලාභ, සත්කාර, ගරුකාර, සැළකිලි, වැඳීම්, පූජාවන්හි ඊර්‍ෂ්‍යා නොකරයිද, ද්වේෂ නොවේද, ඊර්‍ෂ්‍යාව නොබඳීද,

’’ඕතොමෝ ඉදින් ඉන් චුතවූයේ, මේ ආත්ම භාවයට පැමිණේද, ඕ තොමෝ යම් යම් තැනෙක්හි උපදීද, දුර්‍වර්‍ණ වේද, නපුරු ස්වරූපද, දක්නට පවිටුද, වස්තුවෙන් ආඪ්‍යද, ධන ධාන්‍ය ඇද්ද, උපභොග පරිභොග වස්තු ඇද්ද, මහත් පිරිවරද ඇත්තේ වේද,

’’මල්ලිකාව, මේ ලෝකයෙහි ඇතැම් ස්ත්‍රියක් ක්‍රොධ නොකරන්නී වේද, ක්‍රොධ බහුලකොට නැත්තේ, බොහෝ කීවත් නොලැගෙයිද, නොකිපෙයිද, ප්‍රකෘතිභාවය අත් නොහරියිද, තද බවට නොපැමිණෙයිද, කොපයද, ද්වේෂයද, නොසතුටද ප්‍රකාශ කරයිද,

’ඕතොමෝ ශ්‍රමණයෙකුට හෝ බ්‍රාහ්මණයෙකුට හෝ ආහාරපාන, වස්ත්‍ර, යානා, මල්, ගඳවිලවුන්, සයන, ආවාස, ප්‍රදීප නොදෙන්නී වේද, ඊර්‍ෂ්‍යයාවෙන් යුත් සිත් ඇත්තේ වේද, අනුන්ගේ ලාභ, සත්කාර, ගරුකාර, සැළකිලි, වැඳීම්, පූජාවන්හි ඊර්‍ෂ්‍යා කරයිද, ප්‍රදූශ්‍ය වෙයිද, ඊර්‍ෂ්‍යාව බඳියිද,

’’ඕතොමෝ ඉදින් ඉන් චුතවූවා, මේ ආත්ම භාවයට පැමිණේද, ඕ තොමෝ යම් යම් තැනෙක්හි උපදීද, මනා රූ ඇත්තේ වෙයි. දැකුමට ප්‍රියය. ප්‍රසාද එළවයි, ශ්‍රෙෂ්ඨ වර්‍ණ සෞන්‍දර්‍ය්‍යයෙන් යුක්ත වෙයි. දිළිඳු වෙයි. තමාගේයයි කියා යමක් නැත්තේ, භොග නැත්තේ, පිරිවර නැත්තේ වෙයි.

’’මල්ලිකාව, මේ ලෝකයෙහි ඇතැම් ස්ත්‍රියක් ක්‍රොධ නොකරන්නී වේද, ක්‍රොධ බහුලකොට නැත්තේ, බොහෝ කීවත් නොලැගෙයිද, නොකිපෙයිද, ප්‍රකෘතිභාවය අත් නොහරියිද, තද බවට නොපැමිණෙයිද, කොපයද, ද්වේෂයද, නොසතුටද ප්‍රකාශ කරයිද,

’’ඕතොමෝ ශ්‍රමණයෙකුට හෝ බ්‍රාහ්මණයෙකුට හෝ ආහාරපාන, වස්ත්‍ර, යානා, මල්, ගඳවිලවුන්, සයන, ආවාස, ප්‍රදීප දෙන්නී වේද, ඊර්‍ෂ්‍යයාවෙන් යුත් සිත් නැත්තේ වේද, අනුන්ගේ ලාභ, සත්කාර, ගරුකාර, සැළකිලි, වැඳීම්, පූජාවන්හි ඊර්‍ෂ්‍යා නොකරයිද, කෝප නොවෙයිද, ඊර්‍ෂ්‍යාව නොබඳියිද,

’’ඕතොමෝ ඉදින් ඉන් චුතවූවා, මේ ආත්ම භාවයට පැමිණේද, ඕ තොමෝ යම් යම් තැනෙක්හි උපදීද, මනා රූ ඇත්තේ වෙයි. දැකුමට ප්‍රියය. ප්‍රසාද එළවයි, ශ්‍රෙෂ්ඨ වර්‍ණ සෞන්‍දර්‍ය්‍යයෙන් යුක්ත වෙයි. ධන ධාණ්‍යයෙන් ආඪ්‍යවේ. මහත් ධන ඇත්තේද, මහත් භෝග ඇත්තේද, බොහෝ පිරිවර ඇත්තේද වේ.

’’මල්ලිකාව, යම් කරුණකින් මේ ලෝකයෙහි ඇතැම් ස්ත්‍රියක්, දුර්‍වර්‍ණ වේද, නපුරු ස්වරූපද, දක්නට පවිටුද, දිළිඳු වේද, ස්වකීය ධන ධාන්‍ය නැද්ද, උපභොග පරිභොග වස්තු නැද්ද, ස්වල්ප පිරිවරද, මේ ඊට හේතුය, මේ ඊට ප්‍රත්‍යය.

’’මල්ලිකාව, යම් කාරණයකින් මේ ලෝකයෙහි ඇතැම් ස්ත්‍රියක්, දුර්‍වර්‍ණ වේද, නපුරු ස්වරූපද, දක්නට පවිටුද, වස්තුවෙන් ආඪ්‍යද, ධන ධාන්‍ය ඇද්ද, උපභොග පරිභොග වස්තු ඇද්ද, මහත් පිරිවරද ඇත්තේ වේද, මේ ඊට හේතුය, මේ ඊට ප්‍රත්‍යය.

’’මල්ලිකාව, යම් කාරණයකින් මේ ලෝකයෙහි ඇතැම් ස්ත්‍රියක්, ’මනා රූප ඇත්තේ වේද, දැකුමට ප්‍රියද, සතුට එලවයිද, ශ්‍රෙෂ්ඨ වර්‍ණයෙන්, සෞන්‍දර්‍ය්‍යයෙන් යුක්තද, දිළිඳු වේද, ධන ධාන්‍ය රහිතද, භොග නැත්තේද, මහා බලවන්තියක් නොවේද, මේ ඊට හේතුය, මේ ඊට ප්‍රත්‍යය.

’’මල්ලිකාව, මේ ලෝකයෙහි ඇතැම් ස්ත්‍රියක් යහපත් රූප ඇත්තේ වේද, දැකුමට ප්‍රියද, සතුට එලවයිද, ශ්‍රෙෂ්ඨ වර්‍ණසෞන්‍දර්‍ය්‍යයෙන් යුක්තද, ධන ධාන්‍ය බොහෝ ඇත්තේද, මහත් ධන ඇත්තේද, මහත් භොග ඇත්තේද, බොහෝ පිරිවර ඇත්තේද, මේ ඊට හේතුය. මේ ඊට ප්‍රත්‍යය.

මෙසේ වදාළ කල්හි මල්ලිකා දේවී තොමෝ භාග්‍යවතුන් වහන්සේට, ’’ස්වාමීනි, ඒකාන්තයෙන් මම අන් ජාතියක ක්‍රොධ ඇත්තියක් වූයෙම්ද, දැඩි ආයාස බහුතකොට ඇත්තී, ස්වල්පයක් කියන ලද්දීම හැපුනෙම්ද, කිපුනෙම්ද, ප්‍රකෘතිභාවය අත්හළෙම්ද, තද බවට පැමිණියෙම්ද, කොපයද, ද්වේෂයද, නොසතුටද, ප්‍රකාශ කෙළෙම්ද වෙමි. ස්වාමීනි, ඒ මම දැන් නපුරු වර්‍ණ ඇත්තී, නපුරු රූප ඇත්තී, දැකීමට නපුරු වූයෙම්ද වෙමි. ස්වාමීනි, ඒ මම ඒකාන්තයෙන් අන් ජාතියෙක්හි, ශ්‍රමණයෙකුට හෝ බ්‍රාහ්මණයෙකුට හෝ ආහාරපාන, වස්ත්‍ර, යානා, මල්, ගඳවිලවුන්, සයන, ආවාස, ප්‍රදීප දුන්නෙමි. ස්වාමීනි, ඒ මම දැන් ධන ධාන්‍යයෙන් ආඪ්‍යවූයේ, මහත් ධන ඇත්තේ, මහත් භෝග ඇත්තේ වෙමි.

’’ස්වාමීනි, ඒකාන්තයෙන් මම අනික් ජාතියෙක්හි ඊර්‍ෂ්‍යාවෙන් යුත් සිත් නැත්තේ වීමි. අනුන්ගේ ලාභ, සත්කාර, ගරුකාර, සැළකිලි, වැඳීම්, පූජාවන්හි ඊර්‍ෂ්‍යා නොකෙළෙමි. ප්‍රදුෂ්‍ය නොවීමි. ඊර්‍ෂ්‍යාව නොබැන්දෙමි. ස්වාමීනි, ඒ මම දැන් මහත් පිරිවර ඇත්තෙමි. ස්වාමීනි, මේ රජගෙදර ක්‍ෂත්‍රිය කන්‍යාවෝද, බ්‍රාහ්මණ කන්‍යාවෝද, ගෘහපති කන්‍යාවෝද ඇත්තාහ. මම ඔවුන්ට අධිපතිකම් කරමි.

’’ස්වාමීනි, ඒ මම අද සිට ක්‍රෝධ නොකරන්නේ වන්නෙමි. දැඩි කෝප බහුලකොට නැත්තේ, බොහෝ කියන ලද්දේද නොලැඟෙන්නෙමි. නොකිපෙන්නමේ. ප්‍රකෘතිභාවය නොහරින්නෙමි. තද බවට නොපැමිණෙන්නෙමි. කෝපයද, ද්වේෂයද, නොසතුටද පහළ නොකරන්නෙමි ශ්‍රමණයන්ට, බ්‍රාහ්මණයන්ට ආහාරපාන, වස්ත්‍ර, යානා, මල්, ගඳ විලවුන්, සයන, ආවාස, ප්‍රදීප දෙන්නෙමි. ඊර්‍ෂ්‍යාවෙන් යුත් සිත් නැත්තේ වන්නෙමි. අනුන්ගේ ලාභ සත්කාර, ගරුකාර, සැලකිලි, වැඳීම්, පූජාවන්හි ඊර්‍ෂ්‍යා නොකරන්නෙමි. ප්‍රදුෂ්‍ය නොවෙමි. ඊර්‍ෂ්‍යාව නොබඳිමි.

’’භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපති. භවත් ගෞතමයන් වහන්ස, යම් සේ යටිකුරු කරණ ලද්දක් උඩුකුරු කරන්නේද, වැසුණු දෙයක් විවෘත කරන්නේද, මංමුලා වූවෙකුට මාර්ගය කියන්නේද, ඇස් ඇත්තෝ රූප දකිත්වායි අඳුරෙහි තෙල් පහනක් දරන්නේද, එසේම භවත් ගෞතමයන් වහන්සේ විසින් අනේක ප්‍රකාරයෙන් ධර්මය ප්‍රකාශ කරණ ලදී. ඒ මම භවත් ගෞතමයන් වහන්සේ සරණ යමි. ධර්මයද, භික්‍ෂු සංඝයාද සරණ යමි. අද සිට දිවි හිම් කොට සරණ ගිය උපාසිකාවක් කොට භවත් ගෞතමයන් වහන්සේ මා දරාවා.’’