අඞ්ගුත්තරනිකායො

චතුක්ක නිපාතය

4. හතරවෙනි පණ්ණාසකය

(20) 5. මහා වර්‍ගය

8. අත්තන්තපාදි සූත්‍රය

’’මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි ඇත්තාහ. විද්‍යමාන වෙත්. කවර සතර දෙනෙක්ද යත්. මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් තමා තවයි. තමා තවන යෝගයන්හි යෙදුනේ වෙයි. මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් අනුන් තවන්නේ වේ. අනුන් තවන යෝගයන්හි යෙදුනේ වෙයි. මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් තමා, තවන්නේද වේ. තමා තවන යෝගයන්හි යෙදුනේද. අනුන් තවන්නේද, අනුන් තවන යෝගයන්හි යෙදුනේද වේ. මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් තමා,නොතවන්නේද වේ, තමා තවන ප්‍රතිපදාවෙන් යුක්ත නොවූයේ වෙයි. අනුන් නොතවන්නේද වේ. අනුන් තවන යෝගයන්හි නොයෙදුනේ, හෙතෙම තමා නොතවන්නේ, අනුන් නොපෙලන්නේ. මෙලොවම තණ්හාවෙන් යුක්තවූයේ, නිවුනේ, සිහිල්වූයේ, සැප විඳින්නේ, තමා බ්‍රහ්මයකු කොට වාසය කරයි.

’’මහණෙනි, කෙසේ නම් පුද්ගල තෙම තමා තවන්නේ වේද, තමා තැවීමෙහි යෙදුන යෝගයෙන් යුකතවූ පුද්ගලයා කෙසේ වේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් (මෙහි දීඝ නිකායේ 8 සූත්‍රයේ 17 ඡේදයේ ’’නිර්වස්ත්‍ර වේද, කෑමෙහි යෙදෙමින් වාසය කෙරේද’’ යන කොටස යොදාගත යුතුයි. - පිට

එසේම ’’ඉදින් නොපිසූ පලා කෑමෙන් යැපෙයි.’’ - පිට

’’ඉදින් හත් පට්ටා රෙදි දිරාද දියේ ගැලීමෙහි යෙදී වාසය කෙරේද’’ පිට 375 යන කොටස් මෙහි යෙදිය යුතුයි.)

මෙසේ අනෙකප්‍රකාර, මෙබඳු අනෙකප්‍රකාර සිරුර තැවීම්, විශෙෂයෙන් තැවීම්, වීර්‍ය්‍යයෙන් යුතුව වාසය කරයි. මහණෙනි, මෙසේ වනාහි පුද්ගල තෙම ආත්මය තවන වීර්‍ය්‍යයෙහි යෙදී ආත්මය තවන්නේ වේ.

’’මහණෙනි, කෙසේ නම් පුද්ගල තෙම අනුන් තවන වීර්‍ය්‍යයෙහි යෙදී, අනුන් තවන්නේ වේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් එළුවන් මරන්නේ වේ. හූරන් මරන්නේ වේ. පක්‍ෂීන් මරන්නේ වේ. මුවන් මරන්නේ වේ. කර්‍කශද, මසුන් නසන්නේද, චෞරද, චෞරඝාතකද, හිරගෙවල් ආරක්‍ෂා කරන්නේද, යම්බඳු අන්‍යවූ, කෲරවූ කර්‍මාන්ත ඇත්තේද, මහණෙනි, මෙසේ වනාහි පුද්ගල තෙම අනුන් තවන වීර්‍ය්‍යයෙන් යුක්තවූයේ, අනුන් තවන්නේ වේ.

’’මහණෙනි, තමා තැවීමෙහි යෙදුන වීර්‍ය්‍යයෙන් යුක්ත, තමා තවන, අනුන් තැවීමෙහි යෙදුන වීර්‍ය්‍යයෙන් යුත්, අනුන් තවන පුද්ගලයා කෙසේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක්, ඔටුණු පැළඳි රජෙක් හෝ වේද, බ්‍රාහ්මණ මහාසාර පුද්ගලයෙක් හෝ වේද, හෙතෙම නුවර පෙරදිගින් අළුත් රැස්වීම් ශාලාවක් කරවා , හිසකෙස් රැවුල් බහා, කුර සහිත අඳුන් දිවි සමක් පොරවා, ගිතෙල් හා තලතෙල් සිරුරෙහි ගා, මුව අඟකින් පිට කසමින්, මෙහෙසිය සමගද, පුරෝහිත බ්‍රාහ්මණයා සමගද. රැසවීම් ශාලාවට පිවිසෙයි. හෙතෙම එහි ගොම ඉසින ලද, නොඅතුරණ ලද භූමියෙහි සයනය කරයි. සමාන පාට වසු පැටියෙක් ඇති එක් එළදෙනෙකුගේ එක් තනයෙක්හි යම් කිරක් වේද, එයින් යැපෙයි. දෙවෙනි තනයෙහි යම් කිරක් වේද, එයින් මෙහෙසිය යැපෙයි. තුන්වෙනි තනයෙහි යම් කිරක් වේද, ඉන් පුරෝහිත බ්‍රාහ්මණයා යැපෙයි. සතරවෙනි තනයෙහි යම් කිරක් වේද, ඉන් ගිනි දෙවියා පුදයි. ඉතිරි හරියෙන් වසු පැටවා යැපෙයි. හෙතෙම, ’යාගය පිණිස මෙතෙක් ශ්‍රේෂ්ඨ ගවයන් මරත්වා, යාගය පිණිස මෙතෙක් ගොනුන් මරත්වා, යාගය පිණිස මෙතෙක් එළදෙනුන් මරත්වා. යාගය පිණිස මෙතෙක් එළුවන් මරත්වා, යාගය පිණිස මෙතෙක් බැටළුවන් මරත්වා. කණු පිණිස මෙතෙක් ගස් කපත්වා. ඇහිරීමට හා යාග භූමියෙහි ඇතිරීමට, මෙතෙක් දැව කපත්වා’ යි මෙසේ කියයි. ඔවුන්ගේ යම් දාස කෙනෙක් හෝ, පණිවුඩ ගෙන යන්නෙක් හෝ, වැඩකරුවෙක් හෝ වෙත්ද, ඔවුහුද දණ්ඩණයෙන් තැති ගත්තාහු, බියෙන් තැතිගත්තාහු, කඳුළු පිරුණු මුහුණු ඇත්තාාහු, අඬමින් වැඩපල කරත්. මහණෙනි, මෙසේ වනාහි පුද්ගල තෙම, ආත්මය තවන වීර්‍ය්‍යයෙන් යුක්තවූ, ආත්මය තවන්නෙක් වේ. අනුන් තවන වීර්‍ය්‍යයෙහි යෙදුන අනුන් තවන පුද්ගලයෙක් වේ.

’’මහණෙනි, කෙසේ වනාහි ආත්මය තවන වීර්‍ය්‍යයෙහි නොයෙදුන, ආත්මය තවන්නේ නැති, අනුන් තවන වීර්‍ය්‍යයෙහි නොයෙදුන, අනුන්ද තවන්නේ නැති පුද්ගලයා කවරේද? තමා නොතවන, අනුන්ද නොතවන හෙතෙම, මෙලොවම බඩසය නැත්තේ, නිවුනේ, සිහිල් වූයේ, සැප විඳිමින්, බ්‍රහ්මයා වැනි ආත්මයෙන් වාසය කරයි. මහණෙනි, ( මෙහි දීඝ නිකායේ 7 සූත්‍රයේ 18 ඡේදයේ ’’අර්‍හත්වූ ...... දක්වන.....’’ පිට 337 යන කොටසද, එම සූත්‍රයේ 3 ඡේදයද, 4 ඡේදයේ ’’මේ සස්නෙහිවූ භික්‍ෂුවක් .......කියන්නේ වේද’’ යන කොටසද, එම ඡේදයේ ’’තණගස් ...... යන මෙයින්ද සම්පූර්‍ණයෙන් වැළැක්කේය’’ යන කොටසද යෙදිය යුතුයි.)

( මේ ඡේදය දීඝ නිකායේ 7 සූත්‍රයේ 21 ඡේදයේ ’’භික්‍ෂු තෙම ..... බැහැර යයි’’ යන කොටස වේ. )

’’ආර්‍ය්‍ය ශීල රාශියෙන් යුක්තවූ හෙතෙම ආර්‍ය්‍ය ශිලස්ඛන්‍ධයෙන් යුක්තවූයේ, අධ්‍යාත්මයෙහි නිවරද සැපය විඳියි. මහණ තෙම ඇසින් රූපයක් දැක නිමිති නොගන්නේද, ලක්‍ෂණ නොගන්නේද, යම් කාරණයකින් චක්‍ෂුරින්‍ද්‍රියය අසංවරව වාසය කරන්නාට ලෝභය, ද්වේෂය යන ලාමක අකශල ධර්‍මයෝ ලුහුබඳනාහුද, එය සංවරවීම පිණිස පිළිපදියි. චක්‍ෂුරින්‍ද්‍රියය රකියි. චක්‍ෂුරින්‍ද්‍රියයෙහි සංවරයට පැමිණේ. කණින් ශබ්දයක් අසා නිමිති නොගන්නේද, ලක්‍ෂණ නොගන්නේද, යම් කාරණයකින් සෝතේන්‍ද්‍රියය අසංවරව වාසය කරන්නාට ලෝභය, ද්වේෂය යන ලාමක අකුශල ධර්‍මයෝ ලුහුබඳනාහුද, එය සංවරවීම පිණිස පිළිපදියි. සෝතේන්‍ද්‍රියය රකියි. සෝතේන්‍ද්‍රියයෙහි සංවරයට පැමිණේ. නාසයෙන් ගඳ සුවඳත් ආඝ්‍රාණය කොට නිමිති නොගන්නේද, ලක්‍ෂණ නොගන්නේද, යම් කාරණයකින් ඝානේන්‍ද්‍රියය අසංවරව වාසය කරන්නාට ලෝභය, ද්වේෂය යන ලාමක අකුශල ධර්‍මයෝ ලුහුබඳනාහුද, එය සංවරවීම පිණිස පිළිපදියි. ඝානේන්‍ද්‍රියය රකියි. ඝානේන්‍ද්‍රියයෙහි සංවරයට පැමිණේ. දිවෙන් රසයක් විඳ, නිමිති නොගන්නේද, ලක්‍ෂණ නොගන්නේද, යම් කාරණයකින් ජිහ්වේන්‍ද්‍රියය අසංවරව වාසය කරන්නාට ලෝභය, ද්වේෂය යන ලාමක අකුශල ධර්‍මයෝ ලුහුබඳනාහුද, එය සංවරවීම පිණිස පිළිපදියි. ජිහ්වේන්‍ද්‍රියය රකියි. ජිහ්වේන්‍ද්‍රියයෙහි සංවරයට පැමිණේ. කයින් පහසක් දැනී, නිමිති නොගන්නේද, ලක්‍ෂණ නොගන්නේද, වේ. යම් කාරණයකින් කායේන්‍ද්‍රියය අසංවරව වාසය කරන්නාට ලෝභය, ෙව්ෂය යන ලාමක අකුශල ධර්‍මයෝ ලුහුබඳනාහුද, එය සංවරවීම පිණිස පිළිපදියි. කායේන්‍ද්‍රියය රකියි. කායේන්‍ද්‍රියයෙහි සංවරයට පැමිණේ. සිතින් ධර්‍මයක් දැන නිමිති නොගන්නේ වේ, අනුබ්‍යඤ්ජන නොගන්නේ වේ, යම් කාරණයකින් මනින්‍ද්‍රියයෙහි අසංවරව වාසය කරන්නාට ලෝභය, ෙව්ෂය යන ලාමක අකුශල ධර්මයෝ ලුහුබඳනාහුද, එය සංවරය පිණිස පිළිපදියි. මනින්‍ද්‍රියය රකියි. මනින්‍ද්‍රියයෙහි සංවරයට පැමිණේ.

’’හෙතෙම ආර්‍ය්‍ය ඉන්‍ද්‍රිය සංවරයෙන් යුක්තවූයේ අධ්‍යාත්මයෙහි කෙලෙසුන් නොගැවසුණු සැපය විඳියි. ( මේ ඡේදය දීඝ නිකායේ 7 සූත්‍රයේ 20 ඡේදයේ ’’භික්‍ෂු තෙම මේ මේ දේ මනා නුවණින් දැන කරන්නේය’’ යන කොටස යෙදිය යුතුයි.)

9 - 10 ( මෙහි දීඝ නිකායේ 7 සූත්‍රයේ 22, 23 ඡේද මෙන් වෙත්.)

( මේ ඡේද දීඝ නිකායේ 8 සූත්‍රයේ 47, 48, 49, 50 ඡේද මෙන් වෙත්. පිට 398 ’’මෙයද ඒ භික්‍ෂුහුගේ සමාධි සම්පත්තියයි’’ යන වාක්‍යය අත්හැරිය යුතුයි.)

( මේ ඡේද දීඝ නිකායේ 8 සූත්‍රයේ 61, 63, 65 ඡේද මෙන් වෙත්.) ’’මහණෙනි, මෙසේ වනාහි පුද්ගල තෙම තමා තවන වීර්‍ය්‍යයෙහි නොඇලුනේ, ආත්මය තවන්නෙක් නොවේ. අනුන් තවන වීර්‍ය්‍යයෙහි නොඇලුනේ අනුන් තවන්නෙක් නොවේ. හෙතෙම තමා නොතවන්නේ, අනුන් නොතවන්නේ, මෙලොව බඩගින්නෙන් මිදුනේ, නිවුනේ, සිහිල්වූයේ, සැප විඳින්නේ තමා බ්‍රහ්ම භූතව වාසය කරයි. මහණෙනි, මේ පුද්ගලයන් සතර දෙන ලෝකයෙහි ඇත්තාහ. විද්‍යමාන වේ.’’