අඞ්ගුත්තරනිකායො

චතුක්ක නිපාතය

4. හතරවෙනි පණ්ණාසකය

(20) 5. මහා වර්‍ගය

9. තණ්හා ජාල සූත්‍රය

’’මහණෙනි, තොපට යමකින් මේ ලෝකය මත්තෙහි නසන ලදද, හාත්පසින් වෙලන ලද්දේද, නූලක් මෙන් අවුල්වූයේද, පෙශකාරයන්ගේ නූල් සූත්‍රයක් මෙන් වූයේද, මුදුතණ, බබුස්තණ සමානවූයේ, අයසංඛ්‍යාත සැප නැති, නපුරු ගති ඇති, විවසව පතිතවන, සංසාරය නොයික්මවත්ද, ඒ දැල, හැසිරීම, පැතිරිම, ලැගීම දේශනා කරන්නෙමි.

’’එය අසව්. මනාකොට මෙනෙහි කරව්. කියන්නෙමි’’ යි වදාල සේක.

’’මහණෙනි, තොපට යමකින් මේ ලෝකය මත්තෙහි නසන ලදද, හාත්පසින් වෙලන ලද්දේද, නූලක් මෙන් අවුල්වූයේද, පෙශකාරයන්ගේ නූල් සූත්‍රයක් මෙන් වූයේද, මුදුතණ, බබුස්තණ සමානවූයේ, අයසංඛ්‍යාත සැප නැති, නපුරු ගති ඇති, විවසව පතිතවන, සංසාරය නොයික්මවත්ද, ඒ දැල, හැසිරීම, පැතිරිම, ලැගීම දේශනා කරන්නෙමි.

’’මහණෙනි, මේ තෘෂ්ණා හැසිරවීම් දහඅටක් වෙත්. මහණෙනි, මේ තෘෂ්ණා හැසිරවීම් දහඅටක් බාහිරය අරමුණුකොට ඇතිවේද, මේ තෘෂ්ණා හැසිරවීම් දහඅටක් තමා අරමුණුකොට ඇතිවේද, මහණෙනි, තමාගේ ස්කන්‍ධ පඤ්චකය තෘෂ්ණා, මාන, දෘෂ්ටි වශයෙන් ගැනීම් ඇති කල්හි,

’’මම වෙමි’’ යි අදහසක් වෙයි. මේ ආකාරයෙන්, ’මම වෙමි’ යි වේ. මෙසේ, ’මම වෙමි’ යි වෙයි. අන් ප්‍රකාරයකින් ’මම වෙමි’ යි වේ. අසවලා වෙමි. සත්පුරුෂයා වෙයි වේ. ඇත්තේ වේ. මේ ආකාරයෙන් ඇත්තේ වේ. මෙසේ ඇත්තේ වේ. අන් ප්‍රකාරයකින් ඇත්තේ වේ. මම ඇත්තේද වේ. මේ ප්‍රකාරයෙන් ඇත්තේ වේ. මෙසේ ඇත්තේද වේ. අන් ප්‍රකාරයකින් ඇත්තේද වේ. වන්නේ වේ. මේ ප්‍රකාරයෙන් වන්නේ වේ. මෙසේ වන්නේ වේ. අන් පරිද්දෙකින් වන්නේ වේ. මේ අටලොස් තෘෂ්ණා හැසිරීම් තමා ඇසුරුකොට ඇතිවේ.

’’කවර අටලොස් තෘෂ්ණා විචරිතයක් බාහිර පඤ්චස්කන්‍ධය අරමුණුකොට ඇතිවේද? මේ රූපයෙන් වෙමියි ඇති කල්හි මේ රූපයෙන් මේ ප්‍රකාරයෙන් වෙමියි වෙයි. මේ රූපයෙන් මෙසේ වෙමියි වේ. මේ රූපයෙන් අන් ප්‍රකාරයකින් වෙමියි වෙයි. මේ රූපයෙන් අසවලා වන්නේයයි වේ. මේ රූපයෙන් සත්පුරුෂයා වෙයි වේ. මේ රූපයෙන් ඇත්තේ වේ. මේ රූපයෙන් මේ ප්‍රකාරයෙන් ඇත්තේ වේ. මේ රූපයෙන් මෙසේ ඇත්තේ වේ. මේ රූපයෙන් අන් පරිද්දෙකින් ඇත්තේ වේ. මේ රූපයෙන්ද මෙහි ඇත්තේ වේ. මේ රූපයෙන්ද මේ ප්‍රකාරයෙන් ඇත්තේ වේ. මේ ප්‍රකාරයෙන්ද මෙසේ ඇත්තේ වේ. මේ රූපයෙන්ද අන් පරිද්දෙකින් ඇත්තේ වේ. මේ රූපයෙන් වන්නේ වේ. මේ රූපයෙන් මේ ප්‍රකාරයෙන් වන්නේ වේ. මේ රූපයෙන් මෙසේ වන්නේ වේ. මේ රුපයෙන් අන් පරිද්දෙකින් වන්නේ වේ. මේ අටලොස් තෘෂ්ණා හැසිරවීම් කෙනෙක් අධ්‍යාත්මික ස්කන්‍ධ පඤ්චකය අරභයා ඇතිවේ. මෙසේ අටලොස් තෘෂ්ණා විචරිත කෙනෙක් බාහිර ස්කන්‍ධ පඤ්චකය අරමුණුකොට ඇතිවේ.

’’මහණෙනි, මේ සතිස් තෘෂ්ණා හැසිරවීම් යයි කියනු ලැබෙත්. මෙසේ මෙබඳු අතීත තෘෂ්ණා විචරිත සතිසද, අනාගත තෘෂ්ණා සතිසද, වර්‍තමාන තෘෂ්ණා හැසිරවීම් සතිස් දෙනද, තෘෂ්ණා හැසිරවීම් එක්සිය අටක් වේ. මහණෙනි, යමකින් මේ ලෝකය මත්තෙහි නසන ලදද, හාත්පසින් වෙලන ලද්දේද, නූලක් මෙන් අවුල් වූයේද, පේෂකාරයන්ගේ නූල් සූත්‍රයක් මෙන් වූයේද, මුදුතණ, බබුස්තණ හා සමාන වූයේ, අයසංඛ්‍යාත සැප නැති, නපුරු ගති ඇති, විවසව පතිතවන, සංසාරය නොයික්මවත්ද, ඒ තෘෂ්ණා දැල, හැසිරීම, පැතිරීම, ලැගීම නම් මේය’’ යි වදාළ සේක.