අඞ්ගුත්තරනිකායො

චතුක්ක නිපාතය

5. පඤ්චම පණ්ණාසකය

(21) 1. සප්පුරිස වර්‍ගය

4. දසකම්ම සූත්‍රය

’’මහණෙනි, තොපට අසත්පුරුෂයාද, අසත්පුරුෂයන්ගෙන් අතිශයින් අසත්පුරුෂයාද, සත්පුරුෂයාද, සත්පුරුෂයන්ගෙන් අතිශයින් සත්පුරුෂයාද, දේශනා කරන්නෙමි. එය අසව්. මනාකොට මෙනෙහි කරව්. කියන්නෙමි.’’ වදාළ සේක. ’’ස්වාමීනි, එසේය’’ යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.

’’මහණෙනි, අසත්පුරුෂයා කවරේද?

’’සතුන් මරන්නේ වේද, නුදුන් දේ ගන්නේ වේද, කාමයන්හි වරදවා හැසිරෙන්නේ වේද, බොරු කියන්නේ වේද, රහමෙර බොන්නේ වේද, බහුලවූයේ වේද, විපන්න සිත් ඇත්තේ වේද, මිත්‍යාදෘෂ්ටික වේද,

’’මහණෙනි, මේ අසත්පුරුෂයායයි කියනු ලැබේ.

’’මහණෙනි, අසත්පුරුෂයාටත් වඩා අතිශයින් අසත්පුරුෂයා කවරේද?

’’මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් තමන් සතුන් මැරීමෙන් වෙන් නොවූයේ වේද, අන්‍යයන් සතුන් මැරීමෙන් වෙන්වීමෙහි සමාදන් නොකරවයි. තමන් නුදුන් දේ ගැනීමෙන් වෙන් නොවූයේ වේ, අනුන් නුදුන් දේ ගැනීමෙන් වෙන්වීමෙහි සමාදන් නොකරවයි. තමන් කාමමිත්‍යාචාරයෙන් වෙන් නොවූයේ වේ, අනුන් කාමමිත්‍යාචාරයෙන් වෙන්වීමෙහි සමාදන් නොකරවයි. තමන් බොරුකීමෙන් වෙන් නොවූයේ වේ, අනුන් බොරුකීමෙන් වෙන්වීමෙහි සමාදන් නොකරවයි. තමන් මදයට හා ප්‍රමාදයට කාරණවූ රහමෙර පීමෙන් වෙන් නොවූයේ වේ, අනුන් මදයට හා ප්‍රමාදයට කාරණවූ රහමෙර පීමෙන් වෙන්වීමෙහි සමාදන් නොකරවයි. තමාද තෘෂ්ණා බහුලකොට ඇත්තේ වේද, අනුන් තෘෂ්ණා බහුල භාවයෙහි සමාදන් කරවයිද, තමාද විපන්න සිත් ඇත්තේ වේද, අනුන් විපන්න සිත් සමාදන් කරවයිද, තමාද මිත්‍යාදෘෂ්ටික වේද, අනුන්ද මිත්‍යාදෘෂ්ටියෙහි සමාදන් කරවයිද,

’’මහණෙනි, මේ අසත්පුරුෂයාටත් වඩා අතිශයින් අසත්පුරුෂයායයි කියනු ලැබේ.

’’මහණෙනි, සත්පුරුෂයා කවරේද? ප්‍රාණඝාත නොකරන්නේ වේද, නුදුන් දේ ගැනීමෙන් වැළකුණේ වේද, කාමයන්හි වරදවා හැසිරීමෙන් දුරුවූයේ වේද, බොරුකීමෙන් වැළකුනේ වේද, රහමෙර බීමෙන් වැළැකුණේද, සිල්වත්ද, යහපත් ස්වභාව ඇත්තේද, පහවූ මසුරු මලින් යුත් සිතින් ගෙයි වසයිද, ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට ආක්‍රොශ පරිභව නොකරයිද, තෘෂ්ණා බහුලකොට නැත්තේ වේද, විපන්න සිත් නැත්තේ වේද, සම්‍යක් දෘෂ්ටිකද,

’’මහණෙනි, මේ සත්පුරුෂයායයි කියනු ලැබේ.

’’මහණෙනි, සත්පුරුෂයාටත් වඩා අතිශයින් සත්පුරුෂයා කවරේද?

’’ මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් .තමන්ද සතුන් මැරීමෙන් වෙන් වූයේ අනුන්ද සතුන් මැරීමෙන් වෙන්වීමෙහි සමාදන් කරවයි. තමන් නුදුන් දෙය ගැනීමෙන් වෙන් වූයේ වේ. අනුන් නුදුන් දේ ගැනීමෙන් වෙන්වීමෙහි සමාදන් කරවයි. තමන් කාමමිත්‍යාචාරයෙන් වෙන් වූයේ වේ. අනුන් කාමයෙහි වරදවා හැසිරීමෙන් වෙන්වීමෙහි සමාදන් කරවයි. තමන් බොරු කීමෙන් වෙන් වූයේ වේ. අන්‍යයන් බොරු කීමෙන් වෙන්වීමෙහි සමාදන් කරවයි. තමන්ද මදයට හා ප්‍රමාදයට කාරණවූ රහමෙර පීමෙන් වෙන් වූයේ වේ. අනුන්ද මදයට හා ප්‍රමාදයට කාරණවූ රහමෙර පීමෙන් වෙන්වීමෙහි සමාදන් කරවයි. තමාද තෘෂ්ණා බහුලකොට නැත්තේ වේද, අනුන්ද තෘෂ්ණා බහුලභාවයෙහි සමාදන් නොකරයිද, තමාද විපන්න සිත් නැත්තේ වේද, අනුන්ද අව්‍යාපාදයෙහි සමාදන් කරවයිද, තමන් සම්‍යක් දෘෂ්ටිකද, අනුන් සම්‍යක් දෘෂ්ටියෙහි සමාදන් කරවයිද,

’’මහණෙනි, මේ සත්පුරුෂයාටත් වඩා අතිශයින් සත්පුරුෂයායයි කියනු ලැබේ.’’