අඞ්ගුත්තරනිකායො

චතුක්ක නිපාතය

1. පළමුවෙනි පණ්ණාසකය

3. උරුවෙල වර්‍ගය

3. ලොකවිජානන සූත්‍රය

’’මහණෙනි, තථාගතයන් වහන්සේ විසින් ලොකය (දුකඛ සත්‍යය) මනාව අවබොධ කරණ ලදී. තථාගතයන් වහන්සේ ලොකයෙන් වෙන්වූහ. මහණෙනි, ලොකයට හේතුව තථාගතයන් වහන්සේ විසින් මනාව අවබෝධ කරණ ලදී. ලොකයට හේතුව තථාගතයන් වහන්සේ විසින් ප්‍රහීණ කරණ ලදී. මහණෙනි, ලොක නිරෝධය තථාගතයන් වහන්සේ විසින් ප්‍රතිවේධ කරණ ලදී. ලොක නිරෝධය තථාගතයන් වහන්සේ විසින් ප්‍රත්‍යක්‍ෂ කරණ ලදී. මහණෙනි, ලොක නිරෝධගාමිනී ප්‍රතිපදාව තථාගතයන් වහන්සේ විසින් මනාව අවබෝධ කරණ ලදී. ලොක නිරෝධගාමිනී ප්‍රතිපදාව තථාගතයන් වහන්සේ විසින් වඩන ලදී.

’’මහණෙනි, මරුන් සහිත, බඹුන් සහිත, දෙවි මිනිසුන් සහිත, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත ප්‍රජාවෙහි දෙවියන් සහිත ලෝකයාගේ යම් රූපායතනයක් වේද, ශබ්දායතනයක් වේද, ගන්‍ධ රස පොට්ඨබ්බායතනයක් වේද, සැප දුක් ආදී ධර්‍මාරම්මණයක් වේද, සොයා හෝ නොසොයා පැමිණි, යමක් වේද, සොයන ලද්දක් වේද, සිතින් හැසිරෙන ලද්දක් වේද, ඒ සියල්ල තථාගතයන් වහන්සේ විසින් මනාව අවබෝධ කරණ ලදී. එසේ හෙයින් තථාගතයයි කියනු ලැබේ.

’’මහණෙනි, යම් රාත්‍රියක තථාගත තෙම අවබෝධ කරයිද, යම් රාත්‍රියක පිරිනිවෙයිද, මේ අතරෙහි යමක් වදාරයිද, කථාකරයිද, දක්වයිද, ඒ සියල්ල එසේම වේ. අනික් විධියකින් නොවේ. එසේ හෙයින් තථාගතයයි කියනු ලැබේ. මහණෙනි, තථාගත තෙම යම්සේ කියන්නේද, එසේම කරන්නේ වෙයි. යම්සේ කරන්නේද, එසේම කියන්නේ වෙයි. මෙසේ යම්සේ කියන්නේද, එසේ කරන්නේද, යම්සේ කරන්නේද, එසේ කියන්නේද. එහෙයින් තථාගතයයි කියනු ලැබේ.

’’මහණෙනි, මරුන් සහිත, බඹුන් සහිත, දෙවි මිනිසුන් සහිත, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත ප්‍රජාවෙහි දෙවි මිනිසුන් සහිත ලොකයන් තථාගත තෙම සියල්ලන් මැඩ පවත්වන්නේය. කවරකු විසිනුත් මැඩ පැවැත්විය නොහැක. ඒකාන්තයෙන් දක්නේය. වශඟයෙහි පවත්වන්නේය. එහෙයින් තථාගතයයි කියනු ලැබේ.

’’සියලු ලෝකය දැන, ත්‍රිවිධ ලෝකය යම්සේද, එසේ අවිපරීතකොට දැන, සියලු ලෝකයෙහි නොඇලුනේ, සියලු ලෝකයෙහි තෘෂ්ණා දෘෂ්ටි දෙකින් තොරවූයේ, සියලු ගැට මුදන්නාවූ, සියල්ල මැඩ පවත්වන්නාවූ, ප්‍රඥාවත්වූ, උන්වහන්සේ කිසිවකින් බිය නැති, පරම ශාන්ත නිවන ස්පර්‍ශ කෙළේ වේ.

’’ආශ්‍රවයන් ක්‍ෂය කළාවූ, දුක් නැත්තාවූ, සිඳිනලද සැක ඇත්තාවූ, සියලු කර්‍මයන් ක්‍ෂය කළාවූ, බුදුරජ තෙම, නිවන අරමුණුකොට ඇත්තාවූ ඵල විමුක්තියෙන් මිදුනේ වෙයි. ඒ භාග්‍යවත් තෙම බුද්‍ධය. උන්වහන්සේ අනුත්තරවූ සිංහ නම්. දෙවියන් සහිත ලෝකයාට ශ්‍රෙෂ්ඨ ධර්‍ම චක්‍රය පැවැත්වූයේය.

’’එහෙයින් යම් දෙවියෝද, මනුෂ්‍යයෝද, බුදුන් සරණ ගියාහුද, ඔවුහු එක්ව පහවූ දැවීම් ඇති උන්වහන්සේ නමස්කාර කරත්. දැමුණේය. දමනය කරන්නවුන්ට ශ්‍රේෂ්ඨය. සංසිඳුනේය. සංසිඳෙන්නවුන්ට ඎෂිය. මිදුනේය. මිදෙන්නවුන්ට අග්‍රය. එතෙර විය. එතෙර වන්නවුන්ට උතුමි. දෙවියන් සහිත ලෝකයෙහි නුඹ වහන්සේට සමාන පුද්ගලයෙක් නැතැයි මෙසේ මහත්වූ වීතසාරදයන් වහන්සේ වඳිත්.’’