අඞ්ගුත්තරනිකායො

චතුක්ක නිපාතය

1. පළමුවෙනි පණ්ණාසකය

3. උරුවෙල වර්‍ගය

4. කාලකාරාම සූත්‍රය

’’එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සාකේත නුවර කාලකාරාමයෙහි වාසය කරණ සේක. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ , ’’මහණෙනි’’ යි කියා භික්‍ෂූන් ඇමතූ සේක. ඒ භික්‍ෂූහු, ’’පිනවතුන් වහන්සැ’’ යි භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

’’මහණෙනි, මරුන් සහිත, බඹුන් සහිත, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත, දිව්‍ය මනුෂ්‍යයන් සහිත ප්‍රජාවෙහි, දෙවියන් සහිත ලෝකයෙහි යම් රූපායතනයක් ඇද්ද, යම් ශබ්දායතනයක් ඇද්ද, ගන්‍ධරස ඵොට්ඨබ්බායතනයක් ඇද්ද, සැප දුක් ආදී ධර්‍මාරම්මණයක් වේද, සොයා හෝ නොසොයා පැමිණෙන ලද්දක් ඇද්ද, සොයන ලද්දක් වේද, සිතින් හසුරුවන ලද්දක් වේද,

’’ඒ සියල්ල මම මනාව අවබෝධ කෙළෙමි. එය තථාගතයන් විසින් ප්‍රකටව දැන ගන්නා ලදී. ඒ ෂඩ්ද්වාරික අරමුණු කරා තථාගත තෙමේ තෘෂ්ණා දෘෂ්ටි දෙකින් මහණෙනි, මරුන් සහිත, බඹුන් සහිත, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත, දිව්‍ය මනුෂ්‍යයන් සහිත ප්‍රජාවෙහි, දෙවියන් සහිත ලෝකයෙහි යම් රූපායතනයක් ඇද්ද, යම් ශබ්දායතනයක් ඇද්ද, ගන්‍ධරස ඵොට්ඨබ්බායතනයක් ඇද්ද, සැප දුක් ආදී ධර්‍මාරම්මණයක් වේද, සොයා හෝ නොසොයා පැමිණෙන ලද්දක් ඇද්ද, සොයන ලද්දක් වේද, සිතින් හසුරුවන ලද්දක් වේද, එය මම දනිමියි කියන්නෙම් නම් එය මගේ මුසාවක් වන්නේය.

’’මහණෙනි, මරුන් සහිත, බඹුන් සහිත, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත, දිව්‍ය මනුෂ්‍යයන් සහිත ප්‍රජාවෙහි, දෙවියන් සහිත ලෝකයෙහි යම් රූපායතනයක් ඇද්ද, යම් ශබ්දායතනයක් ඇද්ද, ගන්‍ධරස ඵොට්ඨබ්බායතනයක් ඇද්ද, සැප දුක් ආදී ධර්‍මාරම්මණයක් වේද, සොයා හෝ නොසොයා පැමිණෙන ලද්දක් ඇද්ද, සොයන ලද්දක් වේද, සිතින් හසුරුවන ලද්දක් වේද, එය මම දනිමියිද, නොදනිමියිද කියන්නේ නම් එයද එවැනිම මුසාවකි. එය මම නොම දනිමි. නොද දනිමියි කියන්නේ නම් එය මගේ දෝෂයකි.

’’මහණෙනි, මෙසේ තථාගත තෙම දැක්ක යුත්ත දැක, දක්නා ලද්ද තෘෂ්ණාදී වශයෙන් නොහඟියි. නොදක්නා ලද්ද දක්නෙමියි නොහඟියි. දක්නා ලද්දද, නොදක්නා ලද්දද, නොහඟියි. දක්නෙකු නොහඟියි. ඇසිය යුත්ත අසා, අසනලද්ද නොහඟියි. නොඇසිය යුත්ත නොහඟියි. ඇසිය යුත්තද, නොඇසිය යුත්තද, නොහඟියි. අසන්නෙකු නොහඟියි. නාසය, දිව, කය යන තුනෙන් දැනගතයුත්ත දැන නොහඟියි. නාසය, දිව, කන යන තුනෙන් නොදැක ගත යුත්ත නොහඟියි. නාසය, දිව, කය යන තුනෙන් දැනගත යුත්තද, නොදැන ගතයුත්තද නොහඟියි. දැනගන්නා නොහඟියි. දතයුත්ත දැන, දතයුත්තෙහි නොහඟියි. නොදතයුත්තෙහි නොහඟියි. දත යුත්තද, නොදතයුත්තද නොහඟියි. දන්නා නොහඟියි. මහණෙනි, මෙසේ වනාහි තථාගතයන් වහන්සේ දිට්ඨ, සුත, මුත, විඤ්ඤා.වූ ධර්‍මයන්හි එක සමානමය. එනිසා තාදීය. ඒ තාදීභාවයෙන් අතිශයින් උතුම්වූ හෝ ප්‍රණීතවූ හෝ අනික් තාදී පුද්ගලයෙක් නැතැයි කියමි.

’’අනුන් ඇදහීමෙන් සත්‍යයයි නිෂ්ටාවට පැමිණ ගන්නා ලද යම්කිසි දක්නා ලද්දක් හෝ අසන ලද්දක් හෝ දන්නා ලද්දක් හෝ තමාම සිහි කොට ගත් ග්‍රහණ ඇති දෘෂ්ටි ගතිකයන් කෙරෙහි ඇත්තක් හෝ බොරුවක් හෝ අනිකක් උතුම්කොට නොඅදහන්නේය. ඔවුන් අතරෙහි තාදී නොවේ. මේ දෘෂ්ටිය නමැති හුල බොධි මූලයෙහිම දැක, යම් තැනෙක්හි ලැගුනාවූ සත්ත්‍වයෝ නිමාවට ගියාහුද, එය එසේ දනිමි. දකිමි. තථාගතයන්ට එසේ තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් බැසගැන්මක් නැත.’’