අඞ්ගුත්තරනිකායො

චතුක්ක නිපාතය

1. පළමුවෙනි පණ්ණාසකය

4. චක්ක වර්‍ගය

5. වස්සකාර සූත්‍රය

’’එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර කලන්‍දක නිවාප නම් තන්හි වේළුවනාරාමයෙහි වාසය කරණ සේක. ඉක්බිති මගධ මහාමාත්‍යවූ, වස්සකාර බ්‍රාහ්මණ තෙම, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සතුටුවියයුතුවූ, සිහිකටයුතුවූ කථාව කොට නිමවා එකත් පසෙක සිටියේය.

එකත් පසෙක සිටි, මගධ මහාමාත්‍යවූ වස්සකාර බ්‍රාහ්මණ තෙම, භාග්‍යවතුන් වහන්සේට, ’’භවත් ගෞතමයන් වහන්ස, අපි කරුණු සතරකින් යුක්තවූ, මහත්වූ ප්‍රඥා ඇති මහා පුරුෂයෙකු පනවමු’ යි කීයේය. කවර සතරකින්ද යත්, භවත් ගෞතමයන් වහන්ස, මේ ලොකයෙහි ඇසූ ඒ ඒ දෙයින් බහුශ්‍රුතවූයේ වේද, මේ මේ භාෂිතයාගේ අර්ත්‍ථයය, මේ මේ භාෂිතයාගේ අර්ත්‍ථයයි. ඒ ඒ භාෂිතයාගේ අර්ත්‍ථය දනීද, කර බොහෝ කල් ගිය දේද, කියා බොහෝ කල් ගිය දේද සිහි කරන්නාවූ, නැවත නැවත සිහි කරන්නාවූ සිහි ඇත්තේ වේද, ගෘහස්තයන්ට අයත්වූ කටයුතුවූ යමක් වේද, එහි දක්‍ෂවේද, අලස නුවූයේ වේද, මෙය කළ යුතුය, සංවිධාන කළයුතුයයි ඒ ඒ කටයුත්තෙහි උපායභූත ප්‍රඥාවෙන් යුක්තවූයේ වේද, භවත් ගෞතමයන් වහන්ස, මේ කරුණු සතරින් යුක්තවූ, මහත්වූ ප්‍රඥා ඇති මහා පුරුෂයා පනවමි.’’

’’භවත් ගෞතමයන් වහන්ස, ඉදින් භවත් ගෞතමයන් වහන්සේ මෙය පිළිගතයුතු නම් පිළිගනිත්වා. භවත් ගෞතමයන් වහන්ස, ඉදින් භවත් ගෞතමයන් වහන්සේ මෙය ප්‍රතික්‍ෂෙප කටයුතු නම් ප්‍රතික්‍ෂෙප කෙරෙත්වා.’’

’’බ්‍රාහ්මණය, මම මෙය පිළිගැනීමද නොකරමි. ප්‍රතික්‍ෂෙපද නොකරමි. බ්‍රාහ්මණය, මම කරුණු සතරකින් යුක්තවූ, මහා ප්‍රාඥ, මහා පුරුෂයෙකු පනවමි. කවර කරුණු සතරකින්ද යත්.

’’බ්‍රාහ්මණය, මේ ලෝකයෙහි බොහෝ දෙනාගේ හිත පිණිස පිළිපන්නේ වේද, බොහෝ දෙනාගේ සැප පිණිස පිළිපන්නේ වේද, බොහෝ ජන සමූහයා යහපත් ස්වභාවය වූද, කුශල ස්වභාවය වූද, විදර්‍ශනා සහිත ආර්‍ය්‍ය මාර්ගයෙහි පිහිටුවන්නේ වේද, හෙතෙම යම් විතර්‍කයක් සිතන්නට කැමැති නම් ඒ විතර්‍කයයි සිතයිද, යම් විතර්‍කයක් සිතන්නට නොකැමැති නම් ඒ විතර්‍කය නොසිතයිද, යම් කල්පනාවක් සිතන්නට කැමති නම් එය කල්පනා කරයි. යම් කල්පනාවක් සිතන්නට නොහැකි නම් එය කල්පනා නොකරයි. මෙසේ විතර්‍කයන්හි සිත වසඟ කරගත හැකි බවට පැමිණියේ වේද,

’’ඉතා පිරිසිදු සිතින් උපන් මේ ආත්මයෙහිම සැප විහරණ ඇත්තාවූ, ධ්‍යාන සතර කැමති පරිදි ලබන්නේ, පහසුවෙන් ලබන්නේ, නිදුකින් ලබන්නේ වේද, ආශ්‍රවයන් ක්‍ෂය කිරීමෙන් ආශ්‍රව රහිත අර්‍හත් ඵල සමාධියද, අර්‍හත් ඵල ප්‍රඥාවද මෙලොවම තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂකොට පැමිණ වාසය කරයිද, බ්‍රාහ්මණය, මම ඔවුන් පිළිගැනීමද නොකරමි. ප්‍රතික්‍ෂෙපද නොකරමි. බ්‍රාහ්මණය, මම මේ ධර්ම සතරින් යුක්තවූ, මහත් ප්‍රඥා ඇති මහා පුරුෂයෙකු පනවමි.’’

’’භවත් ගෞතමයන් වහන්ස, ආශ්චර්‍ය්‍යය. භවත් ගෞතමයන් වහන්ස, අද්භූතය. භවත් ගෞතමයන් වහන්සේ විසින් එපමණම යහපත් වචනයක් වදාරණ ලදී. අපි මේ ධර්ම සතරින් යුක්තවූ භාග්‍යවතුන් වහන්සේ දරමු. භවත් ගෞතමයන් වහන්සේ බොහෝ දෙනාගේ හිත පිණිස, බොහෝ දෙනාගේ සැප පිණිස, පිළිපන්නාහු වෙත්. යහපත් ස්වභාවය වූද, කුසල ස්වභාවය වූද, ආර්‍ය්‍ය මාර්‍ගයෙහි බොහෝ ජනයා පිහිටුවන්නාහුද වෙත්. භවත් ගෞතමයන් වහන්සේ යම් විතර්‍කයක් සිතන්ට කැමති නම් ඒ විතර්‍කය සිතන්නාහ. යම් විතර්‍කයක් සිතන්ට නොකැමැති නම් ඒ විතර්‍කය නොසිතන්නාහ. යම් කල්පනාවක් කල්පනා කරන්ට කැමැති නම් ඒ කල්පනාව කල්පනා කරන්නාහ. යම් කල්පනාවක් කල්පනා කරන්ට නොකැමැති නම් ඒ කල්පනාව කල්පනා නොකරන්නාහ. භවත් ගෞතමයන් වහන්සේ විතර්‍කයන්හි සිත වසඟ කළ හැකි බවට පැමිණි සේක.

’’භවත් ගෞතමයන් වහන්සේ, ඉතා පිරිසිදු සිතින් උපන් මේ ආත්මයෙහිම සැප විහරණ ඇත්තාවූ, ධ්‍යාන සතර කැමති පරිදි ලබන්නාහුද, නිදුකින් ලබන්නාහුද, පහසුවෙන් ලබන්නාහුද වෙත්. භවත් ගෞතමයන් වහන්සේ, ආශ්‍රවයන් ක්‍ෂය කිරීමෙන් ආශ්‍රව රහිතවූ අර්‍හත් ඵල සමාධියද, අර්‍හත් ඵල ප්‍රඥාවද මෙලොවම තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන පැමිණ වාසය කරණ සේක.’’

’’බ්‍රාහ්මණය, තොප විසින් ඒකාන්තයෙන් උසස්කර කියන වචනයක් කියන ලද්දේ වෙමි. එතකුදු වුවත් මම තොපට ප්‍රකාශ කරමි. බ්‍රාහ්මණය, මම වනාහි බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සැප පිණිස පිළිපන්නේ වෙමි. මා විසින් බොහෝ ජන සමූහයා යහපත් ස්වභාවයවූ, කුශල ධර්ම ස්වභාවයවූ, ආර්‍ය්‍ය මාර්‍ගයෙහි පිහිටුවන ලදහ. බ්‍රාහ්මණය, මම වනාහි යම් විතර්‍කයක් සිතන්නට කැමැත්තෙම්ද, ඒ විතර්‍කය සිතන්නෙමි. යම් විතර්‍කයක් සිතන්නට නොකැමැත්තෙම්ද ඒ විතර්‍කය නොසිතමි. යම් කල්පනාවක් කල්පනා කරන්නට කැමැත්තෙම්ද, ඒ කල්පනාව කල්පනා කරමි. යම් කල්පනාවක් කල්පනා කිරීමට නොකැමැත්තෙම් නම් ඒ කල්පනාව කල්පනා නොකරමි. බ්‍රාහ්මණය, මම විතර්‍කයන්හි සිත වසඟ කළ හැකි බවට පැමිණියෙමි. බ්‍රාහ්මණය, මම වනාහි ඉතා පිරිසිදු සිතින් උපන්, මෙලොවම සැප විහරණ ඇති ධ්‍යාන සතර කැමති පරිදි ලබන්නේද, පහසුවෙන් ලබන්නේද, නිදුකින් ලබන්නේද වෙමි. බ්‍රාහ්මණය, මම ආශ්‍රවයන් ක්‍ෂය කිරීමෙන් ආශ්‍රව රහිතවූ අර්‍හත්ඵල සමාධියද, අර්‍හත් ඵල ප්‍රඥාවද මෙලොවම තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන පැමිණ වාසය කරමි.

’’බොහෝ දෙනා යමක් ඒකාන්තයෙන් දැකද, අසාද පහදිත්. සියලු සත්ත්‍වයන් මාරපාසයෙන් මිදීම යමෙක් දැන ගත්තේද? උන්වහන්සේ දෙව් මිනිසුන්ට හිතවත්වූ න්‍යාය ධර්මය ප්‍රකාශ කළ සේක්ද? මග නොමග දක්‍ෂවූ, කළ කටයුතු ඇති, ආශ්‍රව රහිත, අන්තිම සිරුර දරන, මහා ප්‍රාඥා බුදුරජානන් වහන්සේ මහා පුරුෂයයි කියනු ලැබේ.’’