අඞ්ගුත්තරනිකායො

චතුක්ක නිපාතය

1. පළමුවෙනි පණ්ණාසකය

4. චක්ක වර්‍ගය

6. දොණ (බ්‍රාහ්මණ) සූත්‍රය

’’එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ උක්කට්ඨා නුවරටත්, සෙතව්‍ය නුවරටත් අතරෙහිවූ දීර්‍ඝ මාර්‍ගයට පිළිපන් සේක. දොණ බ්‍රාහ්මණ තෙමේද, උක්කට්ඨා නුවරටත්, සෙතව්‍ය නුවරටත් අතරෙහිවූ දීර්‍ඝ මාර්‍ගයට පිළිපන්නේ වේ. දොණ බ්‍රාහ්මණ තෙම භාග්‍යවතුන් වහන්සේගේ පාදයන්හි දහසක් අර ඇති, නිම් වළලු සහිත, නාභිය සහිත, සියලු ආකාරයෙන් පිරුණාවූ චක්‍රයන් දැක්කේය. දැක, ’’පින්වත්නි, ඒකාන්තයෙන් ආශ්චර්‍ය්‍යයි, පින්වත්නි, ඒකාන්තයෙන් පුදුමයි. ඒකාන්තයෙන් මේ මිනිස් වූවෙකුගේ පා නොවන්නාහුය.’’

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මාර්‍ගයෙන් ඉවත්ව, පලක් බැඳ, ශරීරය ඎජුව තබා, සිහිය ඉදිරියෙහි පිහිටුවා, එක්තරා වෘක්‍ෂ මූලයෙක්හි වැඩ සිටි සේක. ඉක්බිති, දොණ බ්‍රාහ්මණ තෙම, භාග්‍යවතුන් වහන්සේගේ පිය අනුව යන්නේ, එක්තරා වෘක්‍ෂ මූලයක වැඩ සිටි ප්‍රසාද ජනකවූ, පැහැදිය යුතු ශාන්ත ඉඳුරන් ඇති, සන්සුන් සිත් ඇති, උතුම්වූ අර්‍හත් මාර්‍ග නම් දමථයටත්, මාර්‍ග සමාධි නම් සමථයටත් පැමිණි භාග්‍යවතුන් වහන්සේ දුටුයේය. දාන්තවූ, රක්නා ලද සන්සුන් ඉඳුරන් ඇති, භාග්‍යවතුන් වහන්සේ දැක, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට

’’පින්වතුන් වහන්සේ දෙවියෙක් නොවන්නේදැ?’’ යි ඇසීය.

’’බ්‍රාහ්මණය, මම දෙවියෙක් නොවන්නෙමි.’’

’’පින්වතුන් වහන්සේ ගාන්‍ධර්‍වයෙක් නොවන්නේද?’’ - ’’බ්‍රාහ්මණය, මම ගාන්‍ධර්‍වයෙක්ද නොවන්නෙමි.’’ ’’පින්වතුන් වහන්සේ යක්‍ෂයෙක් නොවන්නේද?’’ - ’’බ්‍රාහ්මණය, මම යක්‍ෂයෙක්ද නොවන්නෙමි.’’

’’පින්වත් තෙමේ මනුෂ්‍යයෙක් නොවන්නේද?’’ - ’’බ්‍රාහ්මණය, මම මනුෂ්‍යයෙක්ද නොවන්නෙමි.’’

’’පින්වතුන් වහන්සේ දෙවියෙක් නොවන්නේදැ’’ යි මෙසේ විචාරණ ලද්දේම, ’’බමුණ, මම දෙවියෙක්ද නොවන්නෙමි.’’ යි වදාළෙහිය. ’’පින්වතුන් වහන්සේ ගාන්‍ධර්‍වයෙක් නොවන්නේදැ?’’ යි මෙසේ විචාරණ ලද්දේම ’’බමුණ, මම ගාන්‍ධර්‍වයෙක් නොවන්නේය’’ යි වදාළෙහිය. ’’පින්වතුන් වහන්සේ යක්‍ෂයෙක් නොවන්නෙහිදැ?’’ යි මෙසේ විචාරණ ලද්දේම, ’’බමුණ, මම යක්‍ෂයෙක් නොවේය’’ යි මෙසේ වදාළෙහිය. ’’පින්වතුන් වහන්සේ මනුෂ්‍යයෙක් නොවේදැ?’’ යි මෙසේ විචාරණ ලද්දේම, ’’බමුණ, මම මනුෂ්‍යයෙක් නොවේය’’ යි මෙසේ වදාළෙහිය. වැලිදු දැන් පින්වතුන් වහන්සේ කවරෙක් වන්නෙහිද?’’

’’බමුණ, මම යම් ආශ්‍රව කෙනෙකුන් ප්‍රහීණ නොවූ බැවින් දෙවියෙක් වන්නෙම්ද, මා විසින් ඒ ආශ්‍රවයෝ ප්‍රහීණ කරණ ලදහ. සිඳින ලද මුල් ඇත්තාහ. සිඳින ලද තල් ගසක් මෙන් කරණ ලද්දාහ. අභාවයට යවන ලද්දාහ. මතු නූපදින තත්ත්‍වයට පමුණුවන ලද්දාහ. බමුණ, මම යම් ආශ්‍රව කෙනෙකුන් ප්‍රහීණ නොකළ බැවින් ගාන්ධර්‍වයෙක් වන්නෙම්ද, මා විසින් ඒ ආශ්‍රවයෝ ප්‍රහීණ කරණ ලදහ. සිඳින ලද මුල් ඇත්තාහ. සිඳින ලද තල් ගසක් මෙන් කරණ ලද්දාහ. අභාවයට යවන ලද්දාහ. මතු නූපදින තත්ත්‍වයට පමුණුවන ලද්දාහ. බමුණ, මම යම් ආශ්‍රව කෙනෙකුන් ප්‍රහීණ නොකළ බැවින් යක්‍ෂයෙක් වන්නෙම්ද, මා විසින් ඒ ආශ්‍රවයෝ ප්‍රහීණ කරණ ලදහ. සිඳින ලද මුල් ඇත්තාහ. සිඳින ලද තල් ගසක් මෙන් කරණ ලද්දාහ. අභාවයට යවන ලද්දාහ. මතු නූපදින තත්ත්‍වයට පමුණුවන ලද්දාහ. බමුණ, මම යම් ආශ්‍රව කෙනෙකුන් ප්‍රහීණ නොකළ බැවින් මනුෂ්‍යයෙක් වන්නෙම්ද, මා විසින් ඒ ආශ්‍රවයෝ ප්‍රහීණ කරණ ලදහ. සිඳින ලද මුල් ඇත්තාහ. සිඳින ලද තල් ගසක් මෙන් කරණ ලද්දාහ. අභාවයට යවන ලද්දාහ. මතු නූපදින තත්ත්‍වයට පමුණුවන ලද්දාහ. මනුෂ්‍ය දීනත්‍වයට පමුණුවන ලද්දාහ.

’’බමුණ, උපුලක් හෝ පියුමක් හෝ සුදු පියුමක් හෝ ජලයෙහි හට ගන්නේ, ජලයෙහි වැඩුනේ, ජලයෙන් උඩට නැංඟේ. ජලය හා නොගැටුනේ යම්සේ සිටීද, බමුණ, එසේම මම ලෝකයෙහි උපන්නේ, ලෝකයෙහි වැඩුණේ, ලෝකය හා නොගැටුනේ, ලෝකය අභිබවා වාසය කරමි. බමුණ, මා බුද්‍ධයයි දරව.’’

’’යම් ආශ්‍රවයක් හේතුකොටගෙන දෙවියන් අතර උත්පත්තියක් වන්නේද, අහසින් යන ගාන්ධර්‍වයෙක් හෝ වන්නේද, යමකින් යක්‍ෂත්‍වයට යන්නේද, මනුෂ්‍යත්‍වයට යන්නේද, අණ්ඩජ යෝනියෙහි උපදින්නේද, මට ඒ ආශ්‍රවයෝ ක්‍ෂය වූවාහුය. පිඹ හරින ලද්දාහ. පහකළ බැඳුම් ඇත්තාහ. යහපත්වූ උපුලක් යම්සේ ජලයෙන් නොමැකේද, එමෙන් ලෝකයා හා නොඇලෙමි. බමුණ, එසේ හෙයින් මම බුද්‍ධ වෙමි.’’