අඞ්ගුත්තරනිකායො
චතුක්ක නිපාතය
1. පළමුවෙනි පණ්ණාසකය
4. චක්ක වර්‍ගය
7. අපරිහානීය ධම්ම සූත්‍රය
’’මහණෙනි, ධර්‍ම සතරකින් යුක්තවූ මහණතෙම පිරිහීමට නුසුදුසුය. නිවන සමීපයෙහිම වේ. කවර සතරකින්ද යත්.
’’මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම, සීලයෙන් යුක්තවේද, ඉන්‍ද්‍රියයන්හි වසන ලද දොරටු ඇත්තේ වේද, භොජනයෙහි පමණ දන්නේද, නිදි දුරු කිරීමෙහි යෙදුනේ වේද, මහණෙනි, මහණ තෙම කෙසේ සීලයෙන් යුක්ත වේද, මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම, සිල්වත් වේද, ප්‍රාතිමොක්‍ෂ සංවරයෙන් සංවරවූයේ වේද, ආචාරයෙන් හා ගෝචරයෙන් යුක්තවූයේ වේද, සුලු වරදෙහිද භය දක්නා සුළු වේද, ශික්‍ෂාපද දැඩිකොට ගෙන හික්මේද, මහණෙනි, භික්‍ෂුව මෙසේ සීල සම්පන්නයෙක් වේ.
’’මහණෙනි, භික්‍ෂු තෙම කෙසේ ඉන්‍ද්‍රියන්හි වසන ලද දොරටු ඇත්තේ වේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම, ඇසින් රූපයක් දැක, නිමිති නොගන්නේ වේද, අනුබ්‍යඤ්ජන නොගන්නේ වේද, යම් කාරණයකින් චක්‍ෂුරින්‍ද්‍රියයෙහි අසංවරව වාසය කරණ මොහු කරා ලෝභ, දෝස යන ලාමක අකුසල ධර්‍මයෝ ලුහුබඳනාහුද, ඔහුගේ සංවරය පිණිස පිළිපදීද, ඇස රකීද, ඇසෙහි සංවරයට පැමිණේද, ’’කණින් ශබ්දයක් අසා නිමිති නොගන්නේ වේද, අනුබ්‍යඤ්ජන නොගන්නේ වේද, යම් කාරණයකින් ශ්‍රොතෙන්‍ද්‍රියයෙහි අසංවරව වාසය කරණ මොහු කරා ලෝභ, දෝස යන ලාමක අකුසල ධර්‍මයෝ ලුහුබඳනාහුද, ඔහුගේ සංවරය පිණිස පිළිපදීද, කණ රකීද, කණෙහි සංවරයට පැමිණේද,
’’නාසයෙන් ගඳක් ආඝ්‍රාණය කොට නිමිති නොගන්නේ වේද, අනුබ්‍යඤ්ජන නොගන්නේ වේද, යම් කාරණයකින් ඝ්‍රානෙන්‍ද්‍රියයෙහි අසංවරව වාසය කරණ මොහු කරා ලෝභ, දෝස යන ලාමක අකුසල ධර්‍මයෝ ලුහුබඳනාහුද, ඔහුගේ සංවරය පිණිස පිළිපදීද, නාසය රකීද, නාසයෙහි සංවරයට පැමිණේද,
’’දිවෙන් රසයක් විඳ නිමිති නොගන්නේ වේද, අනුබ්‍යඤ්ජන නොගන්නේ වේද, යම් කාරණයකින් ජිව්හෙන්‍ද්‍රියයෙහි අසංවරව වාසය කරණ මොහු කරා ලෝභ, දෝස යන ලාමක අකුසල ධර්‍මයෝ ලුහුබඳනාහුද, ඔහුගේ සංවරය පිණිස පිළිපදීද, දිව රකීද, දිවෙහි සංවරයට පැමිණේද,
’’ශරීරයෙන් ස්පර්‍ශයක් ස්පර්‍ශකොට නිමිති නොගන්නේ වේද, අනුබ්‍යඤ්ජන නොගන්නේ වේද, යම් කාරණයකින් කායෙන්‍ද්‍රියයෙහි අසංවරව වාසය කරණ මොහු කරා ලෝභ, දෝස යන ලාමක අකුසල ධර්‍මයෝ ලුහුබඳනාහුද, ඔහුගේ සංවරය පිණිස පිළිපදීද, කය රකීද, කයෙහි සංවරයට පැමිණේද,
’’සිතින් ධර්‍මයක් දැන නිමිති නොගන්නේ වේද, අනුබ්‍යඤ්ජන නොගන්නේ වේද, යම් කාරණයකින් සිතෙහි අසංවරව වාසය කරන්නහු කරා ලෝභ, ද්වේෂ නම් ලාමක අකුසල ධර්‍මයෝ ලුහුබඳනාහුද, එය සංවරය පිණිස පිළිපදීද, මනින්‍ද්‍රියය රකීද, මනින්‍ද්‍රියයෙහි සංවරයට පැමිණෙයිද, මහණෙනි, මෙසේ වනාහි මහණතෙම ඉන්‍ද්‍රියයන්හි වසන ලද දොරටු ඇත්තේ වේ.
’’මහණෙනි, කෙසේ නම් භික්‍ෂු තෙම භොජනයෙහි පමණ දන්නේ වේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම නුවණින් කල්පනාකොට ආහාර ගනියිද, ක්‍රීඩා පිණිස නොවේ, මද වැඩීම පිණිස නොවේ, සැරසීම පිණිස නොවේ, අලංකාරය පිණිස නොවේ, මේ ශරීරයාගේ පැවැත්ම පිණිසම, යැපීම පිණිසම, වෙහෙස දුරු කරගැනීම පිණිසම, බ්‍රහ්මචර්‍ය්‍යාවට අනුග්‍රහ පිණිසම වේ. මෙසේ පරණ වේදනා මැඩ පවත්වමි. අළුත් වේදනා නූපදවන්නෙමි. මාගේ ජීවිත යාත්‍රාවද වන්නේය. නිවරදද වන්නේය. සැප විහරණයද වන්නේයයි නුවණින් මෙනෙහිකොට ආහාර වළඳන්නේය. මහණෙනි, මෙසේ වනාහි මහණ තෙම භොජනයෙහි පමණ දන්නේ වෙයි.
’’මහණෙනි, කෙසේ නම් මහණ තෙම නිදි දුරු කිරීමෙහි යෙදුනේ වේද, මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම දවල් දවස සක්මන් කිරීමෙන් සහ හිඳීමෙන් වැළැක්විය යුතු ක්ලේශ ධර්‍මයන්ගෙන් සිත පිරිසිදු කරයි. රාත්‍රියෙහි ප්‍රථම යාමයෙහිද, සක්මන් කිරීමෙන් සහ හිඳීමෙන් වැළැක්විය යුතු ධර්‍මයන්ගෙන් සිත පිරිසිදු කරයි. රාත්‍රියෙහි මධ්‍යම යාමයෙහි දකුණැලයෙන්, දකුණු පය මත වම් පය මඳක් ඇද තබා, නැගිටින සංඥාව මෙනෙහිකොට, සිහි ඇතිව, සම්‍යක් ප්‍රඥාවෙන් යුක්තව සිංහසෙය්‍යාව කරයි. රාත්‍රියෙහි අවසන් යාමය නැගිට සක්මන් කිරීමෙන් සහ හ්ිඳීමෙන් වැළැක්වියයුතු ක්ලේශ ධර්‍මයන්ගෙන් සිත පිරිසිදු කරයි. මහණෙනි, මෙසේ වනාහි මහණ තෙම නිදි දුරු කිරීමෙහි යෙදුනේ වේ. මහණෙනි, මේ ධර්‍ම සතරින් යුක්තවූ මහණ තෙම පිරිහීමට නුසුදුසුය, නිවන සමීපයේම වේ
’’මහණතෙම ශීලයෙහි පිහිටියේද, ඉන්‍ද්‍රියයන්හි සංවරවූයේද, භොජනයෙහි පමණ දන්නේද, නිදි දුරු කිරීමෙහි යෙදෙයිද, රෑ දවල් දෙක්හි මෙසේ වාසය කරමින් යොගයන්ගෙන් මිදීමට පැමිණීම පිණිස කුශල ධර්‍ම වඩන්නාවූ, අප්‍රමාදයෙහි ඇලුණාවූ, ප්‍රමාදයෙහි භය දක්නා සුලු භික්‍ෂු තෙම පිරිහීමට යෝග්‍ය නොවේ. නිවන සමීපයෙහිම සිටියේ වෙයි.’’