අඞ්ගුත්තරනිකායො

චතුක්ක නිපාතය

1. පළමුවෙනි පණ්ණාසකය

5. රොහිතස්ස වර්‍ගය

2. පඤ්හව්‍යාකරණ සූත්‍රය

’’මහණෙනි, මේ ප්‍රශ්න විසඳීම් සතරක් වෙත්. කවර සතර දෙනෙක්ද යත්, මහණෙනි, ඒකාන්තයෙන් විසඳිය යුතු ප්‍රශ්නයක් ඇත්තේය. මහණෙනි, බෙදා විසඳියයුතු ප්‍රශ්නයක්ද ඇත්තේය. මහණෙනි, ප්‍රශ්නකොට විසඳියයුතු ප්‍රශ්නයක් ඇත්තේය. මහණෙනි, නොවිසඳා තැබියයුතු ප්‍රශ්නයක් ඇත්තේය. මහණෙනි, මේ ප්‍රශ්න ප්‍රකාශකිරීම් සතරය.

’’ඒකාන්තයෙන් කිවයුතු එකෙක. බෙදා කිවයුතු අනිකෙක. විචාරියයුතු තුන්වැන්නය. සතරවැන්න වනාහි තැබිය යුතුය. යමෙක් ඒ ඒ තන්හි ධර්‍මයට අනුව ඒ ප්‍රශ්නයන් දනීද, එබඳු භික්‍ෂුව ප්‍රශ්න සතරෙහි දක්‍ෂයයි කීහු. හෙතෙම නොගැටිය හැකි, මැඩපැවැත්විය නොහැකි, ගැඹුරු ගත් දේ වෙනස් නොකළ හැකි, අර්ත්‍ථයෙහිද, අනර්ත්‍ථයෙහිදැයි යන දෙක්හිම දක්‍ෂවෙයි. ඒ පණ්ඩිත තෙම අනර්‍ථය දුරුකරයි. අර්‍ථය ගනියි. අර්‍ථය අවබෝධ කළ හෙතෙම නැණවත්, පණ්ඩිත පුද්ගලයායයි කියනු ලැබේ.’’