අඞ්ගුත්තරනිකායො
චතුක්ක නිපාතය
1. පළමුවෙනි පණ්ණාසකය
1. භණ්ඩගාම වර්‍ගය
9. තණ්හුප්පාද සූත්‍රය
’’මහණෙනි, භික්‍ෂුවට තණ්හාව උපදිනුයේ යම් තැනෙක්හි උපදීද, මේ තෘෂ්ණාව උපදින කරුණු සතරකි. කිනම් කරුණු සතරක්ද යත්?
’’මහණෙනි, භික්‍ෂුවට තෘෂ්ණාව උපදිනුයේ චීවර හේතුකොටගෙන හෝ උපදී. මහණෙනි, භික්‍ෂුවට තෘෂ්ණාව උපදිනුයේ පිණ්ඩපාතය හේතුකොටගෙන හෝ උපදී. මහණෙනි, භික්‍ෂුවට තෘෂ්ණාව උපදිනුයේ සේනාසන හේතුකොටගෙන හෝ උපදී. මහණෙනි, භික්‍ෂුවට තෘෂ්ණාව උපදිනුයේ ගිලන්පස හේතුකොටගෙන හෝ උපදී.
’’මහණෙනි, භික්‍ෂුවට තෘෂ්ණාව උපදිනුයේ යම් තැනෙක්හි උපදීද, මේ තෘෂ්ණාව උපදවන කරුණු සතරයි.
’’තෘෂ්ණාව දෙවෙනිකොට ඇති පුරුෂතෙම දීර්‍ඝ කාලයක් මුළුල්ලෙහි සැරිසරන්නේ, සංසාරය මේ ආත්මභාවයට හෝ අනාගතතාත්මභාවය යන සංසාරය නොඉක්මවත්. තෘෂ්ණාව දුක්ඛයාගේ හේතුවයයි මේ ආදීනවය දැක මහණතෙම පහවූ තෘෂ්ණා ඇත්තේ, තණ්හාවෙන් නොගන්නේ, සිහි ඇත්තේ පිරිනිවෙන්නේය.’’