අඞ්ගුත්තරනිකායො

චතුක්ක නිපාතය

2. දුතිය පණ්ණාසකය

(10) 5. අසුර වර්‍ගය

5. ජවාලාත සූත්‍රය

’’මහණෙනි, මේ පුද්ගලයන් සතර දෙනෙක් ලෝකයෙහි ඇත්තාහ, විද්‍යමාන වෙත්. කවර සතර දෙනෙක්ද යත්?

’’තමාගේ යහපත පිණිස නොපිළිපන්, අනුන්ගේ යහපත පිණිස නොපිළිපන් පුද්ගලයාය, අනුන්ගේ යහපත පිණිස පිළිපන්, තමන්ගේ යහපත පිණිස නොපිළිපන් පුද්ගලයාය, තමන්ගේ යහපත පිණිස පිළිපන්, අනුන්ගේ යහපත පිණිස නොපිළිපන් පුද්ගලයාය, තමන්ගේ යහපත පිණිසද, අනුන්ගේ යහපත පිණිසද පිළිපන් පුද්ගලයාය යන සතර දෙනයි.

’’මහණෙනි, දෙපැත්තෙන් දැවුණු, මැද අශූචි වැගුරුණු සොහොන් පෙනෙල්ලක් යම් සේද, ගමෙහි දර දඬු පිණිස නොපවතීද, වනයෙහි දර දඬු පිණිස නොපවතීද, යම් මේ පුද්ගලයෙක් තමාගේ හිත පිණිසත්, අනුන්ගේ හිත පිණිසත් නොපිළිපන්නේද, මහණෙනි, මම මේ පුද්ගලයා බඳුයයි කියමි. මහණෙනි, යම් මේ පුද්ගලයෙක් අනුන්ගේ හිත පිණිස පිළිපන්නේද, තමන්ගේ යහපත පිණිස නොපිළිපන්නේද, මේ පුද්ගලයින් දෙදෙනා අතුරෙන් අතිශයින් ශ්‍රෙෂ්ඨද, ප්‍රණීතද වේ.

’’මහණෙනි, එහි යම් මේ පුද්ගලයෙක් තමන්ගේ හිත පිණිස පිළිපන්නේද, පරහිත පිණිස නොපිළිපන්නේද, මේ ත්‍රිවිධ පුද්ගලයන් අතුරෙන් අතිශයින් යහපත්යයිද, ප්‍රණීතයයිද කියනු ලැබේ.

’’මහණෙනි, එහි යම් මේ පුද්ගලයෙක් තමාගේ යහපත පිණිස පිළිපන්නේද, අනුන්ගේ යහපත පිණිස පිළිපන්නේද, මෙතෙමේ මේ සතර පුද්ගලයන්ගෙන් අග්‍රය. ශ්‍රෙෂ්ටය, ප්‍රමුඛය, උත්තමය, ප්‍රවරද වෙයි.

’’මහණෙනි, යම්සේ දෙනගෙන් කිරිද, කිරෙන් දීද, දීවලින් වෙඬරුද, වෙඬරුවෙන් ගිතෙල්ද, ගිතෙලින් ගිතෙල් මණ්ඩිද, එහි අග්‍රයයි කියනු ලැබේ. මහණෙනි, එසේම යම් ඒ පුද්ගලයෙක් තමන්ගේ අභිවෘද්ධිය පිණිසද, අනුන්ගේ හිත පිණිසද, පිළිපන්නේ වේද, මෙතෙමේ මේ සතර පුද්ගලයන්ගෙන් අග්‍රද, ශ්‍රෙෂ්ටද, ප්‍රමුඛද, උතුම්ද, ප්‍රවරද වේ. මහණෙනි, මේ සතර පුද්ගලයෝ ලෝකයෙහි ඇත්තාහ. විද්‍යමාන වෙත්.’’